උතුරේ ඉඩම් ඔප්පුවල අයිතිය මාරු කිරීම තහනම් කරයි

2177

අවතැන්වූවන් යළි පදිංචි කිරීමේදී ගැටලු ගොඩක්

උතුරු පළාත තුළ යුද අනාථයන් යළි පදිංචි කරවීමේදී ඉඩම් සම්බන්ධයෙන් විවිධ ගැටලු පැනනැගී ඇති නිසා වහාම ක්‍රියාත්මක වන පරිදි ඉඩම් ඔප්පුවල අයිතිය මාරු කිරීම උතුරු පළාත් ආණ්ඩුකාරිණී පී.එම්.එස්. චර්ල්ස් මහත්මිය විසින් තහනම් කොට තිබේ.

ආණ්ඩුකාරවරිය පවසන්නේ ඉඩම් සඳහා ස්ථිර බලපත්‍ර නිකුත් කෙරෙන ‘උරුමය’ වැඩසටහන උතුරු පළාත තුළ ඉතා ඉක්මනින්ම අවසන් වන විට මේ ඉඩම් සම්බන්ධයෙන් පැනනැගී ඇති ගැටලු අවම වන බවයි. මැයි මාසය අවසන් වන විට උතුරු පළාතේ ඉඩම් හිමියන් 60,000කට උරුමය ඔප්පු ලබාදීමට පියවර ගෙන ඇති බවද ඇය සඳහන් කළාය.

යාපනය දිස්ත්‍රික්කයේ පවුල් 1500ක් හිතවතුන්ගේ සහ ඥාතීන්ගේ නිවෙස්වල රැඳී සිටින අතර ඔවුන්ද ඉතා ඉක්මනින් යළි පදිංචි කොට අවසන් කරන බව කී උතුරු පළාත් ආණ්ඩුකාරවරිය උතුරු පළාතේ සිදුකිරීමට නියමිත නිවාස ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සාකච්ඡා සහ සැලසුම් අවසන් අදියරට පැමිණ ඇති බවත් කීවාය. ඩෙල්ෆ් ප්‍රදේශයේ ජනතාව සඳහා නිවාස 76ක් මෙම ව්‍යාපෘතියට ඇතුළත් කර ඇති බවත් යාපනය දිස්ත්‍රික්කයේ නළ ළිං ඉදිකිරීම වහා නතර කරන ලෙස දන්වා ඇති බවත් ආණ්ඩුකාරවරිය පැවසුවාය.

නිසි භූගත ජල සමීක්ෂණයකින් තොරව ඇතැම් පෞද්ගලික ආයතන නළ ළිං සකස් කරන බවට දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී චෝදනා එල්ල විය. ආණ්ඩුකාරවරිය මේ සම්බන්ධයෙන් අදාළ රජයේ දෙපාර්තමේන්තු වෙත උපදෙස් ලබා දුන් අතර නීති කඩ කරන සමාගම්වලට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස පොලිසියට ද උපදෙස් දුන්නාය.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment