කෝටි තුනහමාරක් වටිනා කසළ තේ නැවත ජාවාරම්කරුට දුන් රෙජිස්ට‍්‍රාර්ට මාරුවක්

233

මීගමුව සමූහ – විමල් කීර්ති

අධිකරණයෙන් විනාශ කිරීමට නියෝග කළ රුපියල් කෝටි 3 1/2 ක කසළ තේ තොගය විනාශ නොකර කසළ තේ ජාවාරම්කරු අතට යළි පත් කිරීම සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි මහෙස්ත‍්‍රාත් අධිකරණයේ රෙජිස්ට‍්‍රාර්වරයා අධිකරණ සේවා කොමිසම මගින් අවිස්සාවේල්ල අධිකරණයට මාරුකර යවා ඇත.

මෙම කසළ තේ වංචාව පිළිබඳව මීගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමන් සිගේරා මහතාගේ අධීක්‍ෂණය මත එහි අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක සම්පත් දිසානායක මහතා විසින් පුළුල් විමර්ශනයක ආරම්භ කරන ලදී. එහිදී අනාවරණය වී ඇත්තේ අධිකරණ රෙජිස්ට‍්‍රාර්වරයා කසළ තේ විනාශ කිරීමේ රාජකාරියේදී තම රජකාරී පැහැර හැර තේ ජාවාරම්කරුට එම කසළ තේ තොගය රැගෙන යෑමට සහය ලබාදී ඇති බවය. රෙජිස්ට‍්‍රාර්වරයා කසළ තේ විනාශ කිරීමට කොච්චිකඬේ ඕවිටියාවත්ත කසළ අංගණය වෙත එම තේ තොගය රැගෙන යද්දී පොලිස් ආරක්‍ෂාව ලබා ගැනීම ප‍්‍රතික්‍ෂේප කර ඇත.

එදින කසළ තේ තොගය විනාශ නොකළ රෙජිස්ට‍්‍රාර්වරයා එය පසුදිනට කල්දමා තේ තොගය ආපසු යවා ඇත. එහිදී එම තේ තොගය ලබාගත් කසළ තේ ජාවාරම්කරු එම තේ තොගය රැුගෙන ගොස් වත්තල සහ පමුණුගම තේ ගබඩාවල ස`ගවා ඇත. මෙම කසළ තේ තොගය පළමුවරට අත්අඩංගුවට ගත් පොලිස් විශේෂ කාර්ය බළකායට තේ තොග විනාශ නොකර තේ ජාවාරම්කරු රැගෙන ගිය බවට ලත් තොරතුරු අනුව විශේෂ කාර්ය බළකාය වහා කසළ තේ තොගය සහ ජාවාරම්කරු දෙවන වරටත් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම කසළ තේ තොගය දෙවැනිවරට පොලිස් විශේෂ කාර්ය බළකායට අත්අඩංගුවට ගැනීමට නොහැකි වූයේ නම් මෙම කසළ තේ වංචාව සඳහට ම රහසක් වනු ඇතැයි අධිකරණ ක්‍ෂේත‍්‍රය පවසයි. මෙම කසළ තේ වංචාව සම්බන්ධයෙන් විමර්ශන සිදු කළ මීගමුව අපරාධ කොට්ඨාසය කසළ තේ තොගය සොරකම් කළ සැකකරුවන්ට සහ ඊට සහය ලබා දුන් සැකකරුවන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට පරීක්‍ෂණ ගොනුව නීතිපතිවරයා වෙත යොමුකොට ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment