නව විදුලි බල පනතේ ප්‍රමුඛතාව මන්නාරම මෙගාවොට් 100 බලාගාරය විකිණීමටයි

203

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අජිත් පී. පෙරේරා

නව විදුලි බල පනතින් ප්‍රමුඛතාවය ලබාදී ඇත්තේ මන්නාරම මෙගාවොට් 100 බලාගාරය විකිණීමට බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අජිත් පී. පෙරේරා මහතා පැවැසීය.

කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ 21දා පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අජිත් පී. පෙරේරා මහතා මේ බව සඳහන් කළේය. වැඩිදුරටත් අදහස් දැක්වූ නීතිඥ පෙරේරා මහතා මෙසේද පැවැසීය.

අලු‍ත් විදුලිබල පනත් කෙටුම්පතට අප්‍රේල් මාසයේ කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදුන්නා. මෙම පනත සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබාදීම ප්‍රශ්න සහගත කාරණයක්. අප්‍රේල් මාසයේ 8 වැනිදා පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේ න්‍යාය පත්‍රයට අලු‍ත් විදුලිබල පනත් කෙටුම්පතට ඇතුළත් වෙලා තිබුණේ නෑ. කැබිනට් ඇමැතිවරු රටේ නොමැති අවස්ථාවක, විදුලිබල පනත් කෙටුම්පත න්‍යාය පත්‍රයෙත් නොමැති අවස්ථාවක අලු‍ත් විදුලිබල පනත් කෙටුම්පතට සම්මත කරගත් බව ඇමැතිවරයා ප්‍රකාශ කරනවා.

කැබිනට් මණ්ඩලය විශ්ලේෂණය නොකිරීම නිසා ඉල්ලා අස් කරගත්ත අලු‍ත් විදුලිබල පනත් කෙටුම්පතට නැවත ඉදිරිපත් කරනවා නම් කැබිනට් මණ්ඩලය පුර්ණ අනුමැතියට ලක්වන පරිදි න්‍යාය පත්‍රයට ඇතුලත් කරලා විෂය පිළිබඳ දැනුම තිබෙන ඇමැතිවරුන්ට සාකච්ඡා කිරීමට ඉඩ සැලසෙන පරිදි අලු‍ත් විදුලිබල පනත් කෙටුම්පතට ඉදිරිපත් නොකිරීම පිළිබඳව බරපතල සැකයක් තිබෙනවා. අලු‍ත් විදුලිබල පනත් කෙටුම්පතට අප්‍රේල් මාසයේ 8 වැනිදා සම්මත කරගත් බව විෂ්‍ය භාර ඇමැතිවරයා කිව්වත් ඒ සම්මත කරගැනීම සැකකටයුතුයි.

අලු‍ත් විදුලිබල පනත් කෙටුම්පතෙන් සිදුකරන්නේ විදුලි බල මණ්ඩලය අහෝසි කිරීමක්. ඒ වගේම විදුලි බල මණ්ඩලය අහෝසි කිරීම සුදුසුයි කියන පිරිසක් සිටිනවා. විදුලි බල මණ්ඩලය වසර ගණානවක සිට ලංකාවේ සෑම නිවසකටම විදුලි ලබාදීම සනාථ කරලා තිබෙන ආයතනයක් තමයි විදුලි බල මණ්ඩලය. බොහෝ දෙනෙකුගේ කැපවීම් මත ගොඩනැගුණ ආයතනයක් තමයි විදුලි බල මණ්ඩලය. විදුලි බල මණ්ඩලයේ අඩුපාඩු ද තිබෙනවා. ඒ නිසා විදුලි බල මණ්ඩලය ප්‍රතිසංස්කරණයට ලක් කළයුතුයි. විදුලි බල මණ්ඩලයේ වාර්තමාන ආකෘතියේ වෙනස් කම් සිදුවිය යුතුයි. නමුත් ආණ්ඩුව ඉදිරිපත් කරලා තිබෙන ආකෘතියෙන් සිදුවන්නේ විදුලි බල මණ්ඩලය කොටස් 12 කට කැඩීමක්. ඒ හරහා විකිණීමට හැකි අංශ සමාගම් බවට පත් කිරීම අලු‍ත් විදුලිබල පනත් කෙටුම්පතෙන් සිදුකරලා තිබෙනවා.

මේ බලාගාර විදුලිබල මණ්ඩලයට පාලනය කිරීමට අපහසු බලාගාර නෙවෙයි. මේ සියලු‍ බලාගාර නිසි ලෙස පාලනය වන රජයට අයත් බලාගාර. මෙම පනතින් රජයට අයත් බලාගාර පෞද්ගලික අංශයට විකිණීමයි සිදු වෙන්නේ. එසේ සිදුකරලා මුදල් ලබාගන්න පුලු‍වන්. නමුත් අපට එම ආයතවලින් විදුලි ඒකකයක් ලබාගන්න වෙන්නේ වැඩි මිලකට. ඩීසල් බලාගාර, ගල් අඟුරු බලාගාර, සුලං බලාගාර මිලදී ගන්න පෞද්ගලික ආයතනවලට ලාභය සනාථ කිරීම මේ පනතේ ලිඛිතව සඳහන් කරලා තිබෙනවා. ආණ්ඩුවට ඉතිරිවන්නේ බලාගාර විකුණලා ලබාගන්න මුදල පමණයි.

මේ පනත කඩිමුඩියේ සකස් කරලා ජනාධිපතිවරණයට පෙර ක්‍රියාත්මක කරලා විකුණන්න පුලු‍වන් බලාගාර විකුණන්න ආණ්ඩුවේ යම් පිරිසක් සූදානමින් සිටිනවා. ඒ බලාගාර තරගකාරිත්වයකින් තොරව මිලදී ගන්න ජාවාරම්කරුවන් සූදානමින් සිටිනවා. ආණ්ඩුව මේ පනත සම්මත කළොත් රටේ විදුලි පද්ධතිය දේශීය විදේශීය ජාවාරම්කාරයින්ට සම්පුර්ණ වශයෙන් විකිණීමට අවස්ථාව ලැබෙනවා. මේ පනතින් සිදුකරන්නේ විදුලි බල මණ්ඩලයේ වටිනා සම්පත් විකිණීමට නීතිමය පසුබිම සකස් කිරීමක්. මේ පනත මගින් රටේ විදුලි පද්ධතියට කිසිදු ප්‍රතිසංස්කරණයක් සිදුවෙන්නේ නෑ. මේ පනත මගින් සිදුකරන්නේ හොරකම් වෙනුවෙන් ප්‍රතිසංස්කරණක්. ඉදිරි මාස කිහිපය ඇතුළත මන්නාරම සුළං බලාගාරය විකුණන්නයි ආණ්ඩුව උත්සහ කරන්නේ. ඒ සඳහා තමයි මේ අලු‍ත් පනත ගෙන එන්නේ.

advertistmentadvertistment
advertistmentadvertistment