ආසියානු රග්බී ශූරතා පළමු කොටසේ පිළිමළුන් පිටුදැකීමේ තරගාවලිය – ශ්‍රී ලංකාව අද ඉන්දියාව සමග පිටියට

70

ප්‍රධාන අනුග්‍රාහකත්වය නිපෝන් පේන්ට්

ආසියානු රග්බී පාපන්දු ශූරතා පළමු කොටසේ පිළිමළුන් පිටුදැකීමේ තරගාවලිය අද (30 වැනිදා) ප.ව. 04.00 ට කසකස්තානය සහ කටාර් රාජ්‍යය අතර පැවැත්වෙන තරගයෙන් ආරම්භ කෙරේ.

ආරම්භක දිනය වන අද (30) දෙවන තරගය ලෙස සත්කාරක ශ්‍රී ලංකාව සහ අසල්වැසි ඉන්දියාව අතර තරගය රාත්‍රී 07.00 ට පැවැත්වේ.

ඉන්දියාව, කසකස්තානය, කටාර් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර ක්‍රියාත්මක කෙරෙන මෙවර ආසියානු ශූරතා තරග මාලාවේ සියලුම තරග කොළඹ හතේ රීඩ් මාවතේ පිහිටි පැරණි තුරඟ තරග පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

තරගාවලිය සඳහා ප්‍රධාන අනුග්‍රහකත්වය නිපෝන් පේන්ට් ආයතනය විසින් දරනු ලබයි. සීමා සහිත නිපෝන් පේන්ට් ලංකා පෞද්ගලික ආයතනයේ අධ්‍යක්ෂ/සාමාන්‍යාධිකාරී නේමන්ත අබේසිංහ මහතා ඊයේ (29 වැනිදා) කොළඹදී පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් සඳහන් කළේ, මෙවැනි ජාත්‍යන්තර රග්බී තරගාවලියක් සඳහා අනුග්‍රාහකත්වය දැක්වීමට හැකි වීම සතුටට කරුණක් බවයි. රගර් ක්‍රීඩාව වටා ක්‍රීඩකයන් සහ ප්‍රේක්ෂකයන් විශාල ප්‍රමාණයක් දැන් එක්රොක් වෙමින් පවතින බවද දේශීය රග්බී තරග දේශීය ක්‍රිකට් තරගවලට වඩා ද ජනප්‍රිය වෙමින් පවතින බවද නේමන්ත අබේසිංහ මහතා සඳහන් කළේය. ශ්‍රී ලංකාවේ රග්බී ක්‍රීඩාව නගාසිටුවීම සඳහා මෙසේ අත්වැල් බැඳ ගැනීමට හැකිවීම අගය කළ යුතු බවද ඒ මහතා පැවසීය.

අද (30) පැවැත්වෙන පළමු සහ දෙවන තරග වලින් ජය ගන්නා දෙපිල එළැඹෙන මැයි මස 04 දින රාත්‍රී 07.00 ට ආරම්භ කිරීමට කෙරෙන අවසාන මහා තරගය සඳහා සුදුසුකම් ලබයි.

අද තරග ආශ්‍රිතව පරාජයට පත් වන දෙපිලට තෙවන ස්ථානය තහවුරු කර ගැනීම වෙනුවෙන් 04 දින ප.ව. 04.00 ට තරගය පැවැත්වේ.

ඉදිරියේ දී ක්‍රියාත්මක කිරීමට නියමිත ආසියානු කුසලාන තරගාවලිය සඳහා දක්ෂතම කණ්ඩායම තෝරා ගැනීම ද මෙම තරගාවලිය ආශ්‍රිතව සිදු කෙරෙන බව ආසියානු රග්බී පාපන්දු සම්මේලනය නිවේදනය කර සිටී.

සුහිරු ඇන්තනිගේ නායකත්වයෙන් සහ තරින්ඳ රත්වත්තේගේ උප නායකත්වයෙන් යුතුව ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර තරගාවලියේ ශූරතාව තහවුරු කර ගැනීම උදෙසා සටන් වදින අතර ඒ සඳහා දක්ෂතම ක්‍රීඩකයින් නම් කර ඇති බව ශ්‍රී ලංකා රග්බි පාපන්දු සම්මේලනය නිවේදනය කර සිටී.

ආසියානු රග්බී පාපන්දු ශ්‍රේණිගත කිරීම්වලට අනුව 05 වැනි ස්ථානය තහවුරු කර ගැනීමට ශ්‍රී ලංකාව සමත් වන අතර වාරයේදී 09 වැනි ස්ථානයේ කසකස්තානය ද 14 වැනි ස්ථානයේ ඉන්දියාව ද රැඳී සිටී.

මෙවර තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් මාටීස් මහතා කටයුතු කරයි. නිල්ෆර් ඊබ්‍රහීම් මහතා සහ දුෂාන්ත ලෙව්කේ මහතා සහාය පුහුණුකරුවන් ලෙස කණ්ඩායමට තම දායකත්වය සපයති.

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම

සුහිරු ඇන්තනී (නායක), තරින්ද රත්වත්තේ (උප නායක), තෙනුක නානායක්කාර, සුබයිර් දොරේ, වෙනුර කෝදාගොඩ, අදීෂ වීරතුංග, ලසිඳු කරුණාතිලක, රවීන් ද සිල්වා, මනිල්ක රුබේරූ, ජනිදු ප්‍රනාන්දු, ෆායිස් අබ්දුල්ලා, අස්මීර් ෆාජුඩින්, මොහොමඩ් රිෆාන්, ළහිරු තිලකරත්න, ආකාෂ් මදුශංක, හිරන්ත පෙරේරා, සචිත් සිල්වා, චරිත් සිල්වා, දුෂ්මන්ත පියදර්ශන, පුලස්ති දිසානායක, ජනිත් ලකසර, හිරූෂ සම්පත්, තරිඳු චතුරංග, හේෂාන් ජැන්සන්, කවිඳු ද කොස්තා, ඩිනාල් ඒකනායක, නාලක මධුරංග, සුධාරක දික්කුඹුර, ස්ටෙෆාන් ගෙගරි සහ ශෂික ප්‍රනාන්දු.

අනුරුද්ධ හේරත් බණ්ඩාර
ඡායාරූපය- නිශාන් එස්. ප්‍රියන්ත

advertistmentadvertistment
advertistmentadvertistment