පොදු ජනතාව අතරින් බිහිවූ උත්තම මිනිසකුගේ සැමරුම හෙටයි

303

සැබෑ ජනනායකයන් උපදින්නේ පොදු ජනතාව අතරෙනි. මේ රටේ සාමාන්‍ය පන්තියෙන් බිහිවී ජාත්‍යන්තරයට පවා තම මතය නොබියව පවසමින් ජගත් නිවාස වර්ෂය පවා ලබාගත් රාජ්‍ය නායකයකු වී නම් ඒ දිවංගත රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමන්ය.

ප්‍රභූ පවුල් කිහිපයක උරුමයක්ව පැවති රාජ්‍ය බලය පොදු ජනතාව අතරින්ම බිහි වූ නායකයකුට හිමි වී නම් ඒ ඔහුට මිස අන් කවරෙක්ද?

හිසට සෙවණක් අහිමි ජනතාවගේ දුක් කඳුළු පිස දමන්නට උදාගම් වැඩපිළිවෙළ දියත් කළ එතුමන් මඩ වගුරක්ව පැවති එදා කොළඹ මාලිගාවත්ත ජනාවාසයක් බවට පත් කරන්නට කළ කැපවීම අප්‍රමාණය. ඒ සඳහා මේ රටේ අගමැති පදවිය හෙබ වූ ඩඩ්ලි සේනානායක මැතිඳුන්ගේ රජයේ නියෝජ්‍ය අමාත්‍යවරයකු හා ඇමතිවරයකු ලෙස එතුමන් ඇරඹි ගමන රටේ නිවාස විප්ලවයකද ඇරඹුමක් වූයේය.

පාන්දර ජාමයේ අවදිව රටේ ජනතාවගේ ප්‍රශ්න විමසූ එතුමන් එම ගැටලු විසඳීමට ප්‍රායෝගිකවද විසඳුම් දෙමින් රට පුරා කරවූ පිබිදීම ඓතිහාසික වන්නේය. නොයෙක් දෙනා අවලාද නඟද්දී ඇඟලුම් කම්හල් රට පුරා අරඹමින් තරුණ විරැකියාවට විසඳුම් මෙන්ම මේ රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න එතුමා ඉදිරියට තැබූ පය ආපසු නොගත්තේය.

මඩ වගුරක්ව තිබූ කොළඹ පුරවරයේ ඛෙත්තාරාම ජාත්‍යන්තර ක්‍රීඩා පිටිය තනමින් අනාගත පරපුරට මහඟු දායාදයක් උදාකර දුන් එතුමන් උතුර – දකුණ දෙකොන ගිනි ගනිත්දී රට භාරගෙන දකුණේ ත්‍රස්තවාදයටත් උතුරේ ත්‍රස්තවාදයටත් මුහුණ දෙමින් අසීරු රාජ්‍ය පාලනයකට උරදුන්නේ අවලාද මඩ විඳ දරා ගනිමිනි. කලාකරුවන්ගේ දුක දෙස ඔහු තරම් සංවේදී වූ හදවතක් තිබූ රාජ්‍ය නායකයකු නොවීය. එපමණක්ද නොව මරදාන ටවර් හා එල්ෆින්ස්ටන් ප්‍රතිසංස්කරණය පැරණි කලාකරුවන්ගේ ජීවිත සුබ සාධනයද මිය යන තුරුම එතුමා තම දෛනික ජීවිතයේම කොටසක් කර ගත්තේය. පොදු ජන දුකට පිහිට වූ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමන් මැයි 01 වෙනිදාවක ත්‍රස්තවාදයේ ගොදුරක් බවට පත්ව දැයෙන් සමුගත්තද එතුමන්ගේ නාමය සදා අමරණීය වන්නේය.

  • ඉන්දික පීරිස්
advertistmentadvertistment
advertistmentadvertistment