රූපවාහිනියේ වියදම් වැඩි සංස්කෘතිය අවසන් කරනවා – සභාපති සොනාල ගුණවර්ධන

378

ජාතික රූපවාහිනිය මෙරට ජාතික නාලිකාව වශයෙන් 1982 අංක 6 දරන පාර්ලිමේන්තු පනත මගින් ස්ථාපනය කරන ලදුව 1982 පෙබරවාරි 15 වැනිදා නිල වශයෙන් සිය සේවාව ආරම්භ කොට පුරා වසර 40කි. ජපන් ජනතාවගෙන් ශ‍්‍රී ලංකා ජනතාවට ත්‍යාගයක් ලෙස ලැබුණු මෙය හුදෙක් අධ්‍යාපන, තොරතුරු සහ විනෝදාත්මක සේවා සැපයුම් ආයතනයකි. ශ‍්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව සිංහල, දෙමළ හා ඉංග‍්‍රිසි භාෂා ත‍්‍රිත්වයෙන් ම සිය සේවා පවත්වාගෙන යන අතර රාජ්‍ය අනුග‍්‍රහය මත භෞතික මෙන් ම මානව සම්පතින් ද අනූන ය. ඒ කෙසේ වෙතත් ගත වූ වසර හතළිහේ මැද භාගය වන විට ජාතික රූපවාහිනිය ක‍්‍රම ක‍්‍රමයෙන් ජන ප‍්‍රසාදයෙන් ඈත් වන්නට වූයෙන් මේ වනවිට එය මූල්‍ය ප‍්‍රපාතයකට ඇද වැටී තිබේ. මෙම වසරේ ජනවාරි මාසයේ එහි වත්මන් සභාපති ලෙස සොනාල ගුණවර්ධන මහතා පත්වන්නේ එවැනි පසුබිමක ය.

  • ශ‍්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව ජාතික නාලිකාව වශයෙන් ගත වූ වසර 40 පුරාවට ඉටු කළ සේවාව පිළිබඳව ඔබට සෑහීමකට පත්විය හැකි අවධි මොනවාද…?

”අපේ ළමා කාලය අපේ අතීත කාමය තිබුණේ ජාතික රූපවාහිනියත් එක්කයි. ඒ කාලේ රොබින් හුඞ් බලලා, ටිංටිං බලලා, කුංෆු බලලා ළමා කාලය ගෙවලා තාරුණ්‍යයට පැමිණෙද්දී අපේ මනසේ, හදවතේ නිතැතින් ම ජාතික රූපවාහිනියේ සන්නාමය බැඳිලා තිබුණා. විවිධ අවධි පසු කරමින් පැමිණෙද්දි සෑම ආණ්ඩුවක් යටතේ ම මෙයට දේශපාලන මුහුණුවරක් ලැබීම නිසා මෙය දේශපාලන පක්ෂයක් විසින් මෙහෙයවන නාලිකාවක් බවට මිනිසුන්ගේ මනසේ තැන්පත් වුණා. ඒ වගේ ම බොහෝ තැන්වලදි ජාතික රූපවාහිනිය නවීන තාක්ෂණයත් සමග වෙනස් වුණේ නැහැ; මෙහි පිරිස ආකල්පමය වශයෙන් වෙනස් වුණෙත් නැහැ. ආයතනය තුළ සේවක අභිවෘද්ධිය සිදු වුණෙත් නැහැ. ළමා කාලයේ ආදරය කළ ජාතික රූපවාහිනියේ නිලතලයක් දරන්න ලැබුණා ම මෙයට සිදු වී තිබෙන පරිහානිය මේ කෙරෙහි තිබුණු අතීත කාමයත් එක්ක මනසට තදින් දැනෙන්න ගන්නවා. ආයතනයක් ලෙස ගත් කල ආයතනික සංස්කෘතිය තව ම මෙහි හැදිලා නැහැ කියා මට හිතනවා. මේ තත්ත්වය මම දකින්නේ දියුණු වෙන්න තියෙන අවස්ථාවක් හැටියට මිස විවේචනයක් ලෙස නොවෙයි. විවිධ අවස්ථාවලදී හදවත් රෝගීන්ගේ හෘද ස්පන්දනය වගේ මෙය ඉහළ පහළ ගිය අවස්ථා තිබුණත් කාලාන්තරයක් තිස්සේ ආයතනික ව්‍යුහයේ තිබුණු ප‍්‍රශ්නත්, මූල්‍යමය කටයුතුවලදී දැක්වූ අසමත්භාවයත් නිසා මේ ආයතනය වර්තමානයේ දරුණු ප‍්‍රපාතයකට ඇද දමා තිබෙනවා. ඒ තත්ත්වයෙන් ගොඩ එන අතරේ අපේ නරඹන්නන්ට ගුණාත්මක, රසවත් වැඩසටහන් ඉදිරිපත් කරමින් නැවත ජාතික රූපවාහිනිය අතීත ශ‍්‍රී විභූතියට ගෙනයන්න පුළුවන් නාලිකාවක් බවට පත් කළ යුතුයි. අභියෝගයක් වුවත් එය ක‍්‍රමානුකූල ව කළ හැකියි.”

  • බිඳ වැටුණු මූල්‍ය ප‍්‍රතිලාභ යළි අත්පත් කරගත හැකි ද…?

”අනිවාර්යයෙන් ම හැකියි. නමුත් සිදුරු වෙච්ච වහලක් නිසි ලෙස පිළිසකර නොකළොත් වහින වෙලාවට තෙමෙනවා වාගේ මූල්‍ය ප‍්‍රතිලාභ අත්පත් කරගත හැකි වුවත් මේ ආයතනය තුළ සංස්කෘතිය නිර්මාණය වී තිබෙන්නේ වියදම වැඩි වන ආකාරයට යි. ආයතනය ගැන සිතන පිරිසට වඩා තමන් ගැන සිතන පිරිස මෙහි වැඩියි. අලූත් දේවල් නිර්මාණය කරන්නා සේ ම මෙහි වියදම් පාලනය කිරීමකුත් කළයුතු වෙනවා. ආදායම සහ වියදම සමපාත වන තැනදී අපට අලූත් දේවල් කරන්නත්, ආදායම් උත්පාදනය කිරීමේ තත්ත්වයටත් යා හැකි වෙනවා. මූල්‍යමය වශයෙන් පාඩු ලබද්දී අලූත් දේවල් කරන්න බැහැ. කාලාන්තරයක් තිස්සේ නිසි මග පෙන්වීම නොලැබීමෙන් එම තත්ත්වය ඕනෑ ම ආයතනයක සිදුවිය හැකියි. පළමුව ආකල්පමය වෙනසත්, එමගින් සංස්කෘතික වෙනසත් ඇති කිරීමෙන් මූල්‍ය හා ගුණාත්මක ඉලක්ක ජය ගත හැකියි.”

  • ආදායම් උත්පාදනයට යොමුවීමෙන් ජාතික වගකීම හා ගුණාත්මක බවට හානි සිදුවිය හැකියි නේද…?

”මේ වෙලාවේ ජාතික රූපවාහිනිය මාධ්‍ය නාලිකාවක් හැටියට පමණක් බැලූවොත් අපි අසාර්ථක වෙනවා. මේ අවස්ථාවේ මෙය දැකිය යුත්තේ වෙළෙඳ මොඩලයක් හැටියට යි. මාධ්‍ය නාලිකාවක් හැටියට මෙය සාර්ථක ව පවත්වා ගත හැකි වන්නේත් එවිට යි. අපි පෞද්ගලික නාලිකාවල තත්ත්වයට වැටෙන්න අවශ්‍යයි කියා එයින් මම අදහස් කරන්නේ නැහැ. නමුත් මේ තරගකාරී රටාව ඇතුළේ කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් ඒ තරගයට වැටෙන්න අපටත් සිදු වෙනවා. එතැනදී ආයතනයක් හැටියට තිබෙන බරපතල ගැටලූවක් වන්නේ විවිධ කාලවලදී දේශපාලනඥයින් තමන්ගේ ආධාරකරුවන්ව මේ ආයතනයට ඇතුළත් කිරීම නිසා මෙහි අනවශ්‍ය ප‍්‍රමාණයක මානව සම්පතක් සිටිනවා. ඔවුන් අපට ඉවත් කරන්න බැරි නිසා මොනයම් ක‍්‍රමයකින් හෝ ඔවුන්ට රැකවරණය දියයුතු වෙනවා. ඒ සඳහා අපගේ වියදම ඉක්මවූ ආදායමක් ඉපයිය යුතුයි. එසේ කිරීමට නම් සභාපති ඇතුළු සමස්ත සේවක මණ්ඩලය ම දැනට වඩා දෙගුණයක්වත් මහන්සි වී වැඩ කළ යුතුයි. අපි මේ වෙලාවේ සිටින්නේ දරුණු පරිහානියක බවට සෑම කෙනෙක් ම ස්වයං විවේචනයකට පැමිණ, දේශපාලන පටු අරමුණුවලින් තොර ව ආයතනික වශයෙන් එකට එක් ව මහන්සියෙන් දියුණු වීමට කටයුතු කළ යුතුයි. ඒ සිතුවිල්ල සියලූ දෙනා තුළ ඇති කරවීමෙන් මෙම ආයතනය ආදායම් උත්පාදනය අතිනුත්, ගුණාත්මක අතිනුත් යථා තත්ත්වයට පත් කළ හැකියි. ඒ නිසා මේ කියන ආකල්පමය වෙනස සමග වැඩ කළ හැකි පිරිසත් සමග මෙය ඉදිරියට සාර්ථකත්වය කරා ගෙනයෑම මගේ අපේක්ෂාව යි.”

  • අධ්‍යාපනික මෙවලමක් ලෙස ජපන් රජයෙන් ශ‍්‍රී ලංකාවට ලැබුණු රූපවාහිනිය මගින් අධ්‍යාපන අරමුණු ඉටුකර ගැනීම අසාර්ථක වීමට හේතු ඔබ හඳුනාගෙන තිබෙනවා ද…?

”ඔව්. අධ්‍යාපනය සඳහා රූපවාහිනිය සුදුසු මාධ්‍යයක් නෙවෙයි. අධ්‍යාපනය සාර්ථක වීමට නම් ගුරුවරයා සහ ළමයා යන දෙපාර්ශ්වය ම සම්බන්ධ විය යුතුයි. අතීතයේ යම් සහායක් අධ්‍යාපනයට මෙමගින් ලැබුණත් වර්තමානයේ දියුණු තාක්ෂණයත් එක්ක රූපවාහිනී මාධ්‍ය අධ්‍යාපනය සඳහා භාවිත කිරීම සාර්ථක නැහැ. තාක්ෂණික පහසුකම් නැති ප‍්‍රදේශවල වුණත් දරුවන්ට රූපවාහිනිය බලන්න තරම් හේතුවක් වර්තමානයේ ඇති කරලා නැහැ. පොඩි කාලේ අපි සමහර වැඩසටහන් බලන්න ඇබ්බැහි වෙලා හිටියා. වර්තමානයේ එවැනි ඇබ්බැහියක් ඇති කෙරෙන දේවල් රූපවාහිනියේ දකින්න නැහැ. වර්තමාන මාධ්‍ය තරගකාරීත්වය හා වෙනත් තාක්ෂණික මෙවලම් නිසා දරුවන් ව රූපවාහිනිය ඉදිරියට ගෙන ඒමේ හැකියාව ඉතා ම අඩුයි. රූපවාහිනිය මාධ්‍ය මෙවලමක් ලෙස ආකර්ෂණීය කළොත් අධ්‍යාපනය වගේ ම වෙනත් ඕනෑ ම දෙයක් සමාජගත කළ හැකියි. මූලික ආකර්ෂණය ගොඩ නගන්නේ නැතුව කිසිවක් කළ නොහැකියි. ඒ නිසා අතීතයේ ජාතික නාලිකාව කෙරෙහි තිබුණු ආකර්ෂණය යළි ගොඩනගා ගත යුතුයි.”

  • ”රජයේ හොරණෑව” යන ලේබලයෙන් ජාතික රූපවාහිනිය මුදා ගැනීමට ඔබගේ විසඳුම් මොනවාද…?

”ආණ්ඩුවේ හොරණෑව කිව්වාට පත් වෙච්ච හැම ආණ්ඩුවක් ම එපා කරවන්න සහ පිළිකුල් කරවන්න මේ රාජ්‍ය මාධ්‍ය දායක වුණා කියා මම විශ්වාස කරනවා. රාජ්‍ය මාධ්‍යවල ප‍්‍රවෘත්ති විකාශය නිසා ජනතාව රාජ්‍ය මාධ්‍යවලින් බරපතල ලෙස ඈත් වුණා. රටේ සංවර්ධන පුවත්වලට යම් ඉඩක් දෙන අතර ම ප‍්‍රධාන ධාරාවේ විකල්ප හා විපක්ෂ දේශපාලන මතවාද, විවේචන ආදියටත් ඉඩක් ලබා දියයුතුයි. පුද්ගල වන්දනා, අනවශ්‍ය හුවාදැක්වීම් නිසා සිදුවන්නේ ආණ්ඩුව කෙරෙහි අප‍්‍රිය බව සමග සමස්ත මාධ්‍යයෙන් ම ජනතාව ඈත් වීමයි. ජාතික රූපවාහිනියට අත්වී තිබෙන ඉරණමත් එය ම යි. පවතින කවර ආණ්ඩුවකට හෝ සහයෝගය දක්වන්න නම් අපි කළ යුතු වන්නේ ජනතාව මාධ්‍ය සමග බැඳීමකින් රඳවා ගැනීමයි. නමුත් මෙතෙක් සිදුවී තිබෙන්නේ රජයේ ආශිර්වාදය ඇති ව ජාතික නාලිකාවට පත්වූ අය විසින් ම රජයෙන් ජනතාව ඈත් කරවීම යි. මේ නිසා මගේ මූලික වෑයම ජාතික නාලිකාවෙන් ඈත් වූ ජනතාව යළි මේ වෙත ආදරයෙන් කැඳවා ගැනීම සඳහා වැඩසටහන් ක‍්‍රියාත්මක කිරීම යි.”

සාකච්ඡා කළේ
තුෂාරී කළුබෝවිල

advertistmentadvertistment
advertistmentadvertistment