කතෝලික පල්ලිය සහ රජය අතර ගැටුමට ප්‍රධානතම හේතුව පාස්කු ප්‍රහාරය විමර්ශනය කිරීමට මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා පත්කළ ජනාධිපති කොමිසම කළ නිර්දේශ ක්‍රියාත්මක නොකිරීමයි. ගෝඨාභය රාජපක්ෂ 2019 නොවැම්බර් ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ පසුව එම කොමිසමට නව සාමාජිකයකු/හෝ දෙදෙනකු පත් කිරීමේ අවස්ථාව කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හට ජනාධිපතිවරයා ලබා දුන් බව රහසක් නොවේ. නමුත් උන්වහන්සේ එම යෝජනාව ප්‍රතික්ෂේප කළ අතර කතෝලික පල්ලියේ නොවෙනස් ඉල්ලීම වූයේ ජනාධිපති කොමිෂන් වාර්තාව නිකුත් කළ විට එහි සඳහන් යෝජනා අනුව කටයුතු කිරීමයි. නමුත් 2021 පෙබරවාරි 1 දින ජනාධිපතිවරයාට ලබා දුන් වාර්තාව සම්බන්ධයෙන් කටයුතු කිරීමට (විමසා බැලීමට) මන්ත්‍රීවරු 6 දෙනකුගෙන් සමන්විත මන්ත්‍රී කණ්ඩායමක් පත්කිරීම කතෝලික පල්ලිය ප්‍රතික්ෂේප කළේය. වාර්තාව ලැබී සති තුනකට පසුව නම් කළ එම කණ්ඩායම සමන්විත වූයේ චමල් රාජපක්ෂ (සභාපති), ජොන්ස්ටන් ප්‍රනාන්දු, නීතිඥ උදය ගම්මන්පිල, වෛද්‍ය රමේෂ් පතිරණ, ප්‍රසන්න රණතුංග සහ රෝහිත අබේගුණවර්ධන යන පොහොට්ටු මන්ත්‍රීවරුන්ගෙනි. ජනාධිපතිවරයාගේ නීති අධ්‍යක්ෂක හරිගුප්තා රෝහණධීර එම කණ්ඩායමේ ලේකම් ලෙස පත් කෙරිණි. ආණ්ඩුව සමස්ත පාස්කු පරීක්ෂණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් සැකයේ බීජය රෝපණය කළේ එලෙසය. ජනාධිපතිවරයා නියෝග කළේ 2021 මාර්තු 15 ට පෙර තමන්ට එම වාර්තාව ලබා දිය යුතු බවයි. එම තත්ත්වය තුළ ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව සහ කතෝලික පල්ලිය අතර දැඩි විරසකයක් ඇතිවූ අතර 2019 නොවැම්බර් ජනාධිපතිවරණයේදී සහ 2020 අගෝස්තු මහ මැතිවරණයේදී පොහොට්ටු පක්ෂයට සහයෝගය දුන් කතෝලික ජනතාව ඊට එරෙහි විය. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට එරෙහිව 2022 අප්‍රේල් – ජුලි කාලය තුළ ‘අරගලයට’ කතෝලික පල්ලිය තම සක්‍රීය දායකත්වය ලබා දීම විමසා බැලිය යුතු වන්නේ ජනාධිපතිවරයා පත් කළ කොමිසමේ යෝජනා ක්‍රියාත්මක නොකළ පසුබිම තුළය. පාස්කු ඉරිදා විමර්ශනය මෙහෙයවූ එවකට නීතිපති ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා 2021 මැයි මාසයේ විශ්‍රාම යෑමට දිනකට පෙර පාස්කු ප්‍රහාරය මහා කුමන්ත්‍රණයක් ලෙස නම් කළ අතර ඒ සම්බන්ධයෙන් කට උත්තරයක් පොලිසියට දීම ප්‍රතික්ෂේප කළේය.

මීට හරියටම වසර පහකට පෙර සිදුකළ පාස්කු ඉරිදා මරාගෙන මැරෙන ප්‍රහාර මාලාව අනිවාර්යෙන්ම වළක්වා ගත හැකිව තිබිණි. සමස්ත ආරක්ෂක ජාලයේ කඩා වැටීම ප්‍රහාරකයන්ට ප්‍රබල ආධාරයක් විය. ඔවුන්ගේ සාර්ථකත්වය සම්පූර්ණයෙන්ම පාහේ රැඳී තිබුණේ එක්සත් ජාතික පක්ෂය (එජාප) සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (ශ්‍රීලනිප) එක්වී පිහිටුවූ යහපාලන ආණ්ඩුවේ දුර්වල, නොසැලකිලිමත් සහ වගකීම් විරහිත ක්‍රියාකලාපය මතය.

2019 අප්‍රේල් 21 එල්ල කළ ප්‍රහාර මාලාවෙන් ප්‍රහාරකයන් 8 දෙනකු ඇතුළුව 277 ජීවිතක්ෂයට පත්විය. විදේශිකයන් 40 පමණ සහ ළමයින් 45 පමණ මියගිය කණ්ඩායම අතර විය. තුවාල ලැබූ සංඛ්‍යාව 400 කට වඩා වැඩි විය.

එවකට ජනාධිපති වූ මෛත්‍රිපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අතර නොනවතින ගැටුම, ජනාධිපති සිරිසේන එවකට පොදුජන එක්සත් පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ සමඟ එකතුවී ක්‍රියාත්මක කළ ව්‍යවස්ථා කුමන්ත්‍රණය සහ යහපාලන ආණ්ඩුව සහරාන් හෂීම් නායකත්වය දුන් ජාතික තව්හිත් ජමාත් (National Thowheed Jamaath) වැනි අතිශය කලහකාරී සහ විනාශකාරී සංවිධාන සම්බන්ධයෙන් දැක්වූ ලිහිල් ප්‍රතිපත්තිය පාස්කු ප්‍රහාරයට අවශ්‍ය භූමිය සැකසීය.

ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් යහපාලන නඩය අනුගමනය කළ අදහාගත නොහැකි ප්‍රතිපත්තිය මතභේදාත්මකය. විශේෂයෙන්ම ආරක්ෂක අමාත්‍ය ධුරය සහ ජාතික ආරක්ෂක මණ්ඩලයේ (National Security Council) හි ප්‍රධානි වූ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා ක්‍රියාකළ ආකාරය ආගමික ත්‍රස්තවාදීන්ට දොර විවෘත කළේය.

මඩකලපුව දිස්ත්‍රික්කයේ කාත්තන්කුඩි ප්‍රදේශයේ සන්නද්ධ ආගමික අන්තවාදීන්ගේ ක්‍රියාකාරකම් මුලින්ම අවධානයට ලක් වූයේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ දෙවන ධුර කාලයේය. පළමුවෙන්ම මෙම තත්ත්වය සම්බන්ධයෙන් ප්‍රසිද්ධ ප්‍රකාශයක් කළේ බස්නාහිර පළාතේ ආණ්ඩුකාර නැසීගිය අලෙවි මෞලානාය. ඒ 2011 වසරේදීය.

ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වූ භීෂණකාරී තත්ත්වය මඩකලපුව නියෝජනය කළ සියලුම දේශපාලන පක්ෂවලටද අඩු වැඩි වශයෙන් බලපෑවේය. සන්නද්ධ අන්තවාදීන්ගේ බලය වර්ධනය වීමත් සමග පාර්ලිමේන්තුව නියෝජනය කළ දේශපාලන පක්ෂ ඊට නතුවිය. සහරාන්ගේ කණ්ඩායම මඩකලපුව කේන්ද්‍ර කරගත් නමුත් ඔහුගේ ප්‍රධානතම මෙහෙයුම් මධ්‍යස්ථානයක් වූයේ අම්පාරේ සයින්දමරුදු ප්‍රදේශය බවයි. නමුත් ඒ බව කිසිදු ආකාරයකට බුද්ධි අංශවලට වාර්තා වී තිබුණේ නැත.

2015 ජනවාරි පැවති ජනාධිපතිවරණයේදී මෛත්‍රිපාල සිරිසේනට සහයෝහය දුන් එජාපය නායකත්වය දුන් දේශපාලන හවුල මෙම කණ්ඩායම/කණ්ඩායම් සමග මඩකලපුව දිස්ත්‍රික්කයේ එකට වැඩකටයුතු කළේය. සිරිසේන ජනාධිපතිවරයා පසුකලක නැගෙනහිර ආණ්ඩුකාර ලෙස පත්කළ එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා 2015 අගෝස්තු මාසයේ පැවැත්වූ මහා මැතිවරණයට පෙර තමන් ඇතුළු මඩකලපුව දිස්ත්‍රික්කයට තරග කළ ද්‍රවිඩ කතාකරන අපේක්ෂකයන් සහරාන් හසීම්ගේ ‘ආරාධනයෙන්’ ඔහුව හමුවූ බව පාස්කු ප්‍රහාරය විමර්ශනය කළ පාර්ලිමේන්තු කාරක සභාව ඉදිරියේ අනාවරණය විය. එම කණ්ඩායමට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය (ශ්‍රීලමුකො) නියෝජනය කළ පුද්ගලයන්ද අයත් විය. නමුත් එම පක්ෂයේ නායක නීතිඥ රවුෆ් හකීම් පාස්කු ප්‍රහාරය විමර්ශනය කළ පාර්ලිමේන්තු කාරක සභාවේ සාමාජිකයකු විය.

මහ මැතිවරණය අවසන් වී සති කීපයකට පසුව එවකට ආරක්ෂක ලේකම් ධුරයේ කටයුතු කළ කරුණාසේන හෙට්ටිආරච්චි ආගමික අන්තවාදීන් මර්දනය කිරීම සඳහා නව නීති රීතිවල අවශ්‍යතාවය ජාතික ආරක්ෂක කවුන්සිලයේදී අවධාරණය කළේය. ඒ 2015 ඔක්තෝම්බර් 6 දිනය. ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කළ කරුණාසේන හෙට්ටිආරච්චි එසේ පැවසුවත් ඊට අවශ්‍ය පියවර ඔහු හෝ ඔහුට පසුව සිටි ආරක්ෂක ලේකම්වරුන් නොගත් බව පැහැදිලිය.

සිරිසේන ජනාධිපතිවරයාගේ කාලයේ ආරක්ෂක ලේකම්වරු කිහිප දෙනකු පත්වීම් ලැබීය. බී. එම්. යූ. ඩී. බස්නායක (ජනවාරි 11, 2015 – සැප්තැම්බර් 8, 2015), කරුණාසේන හෙට්ටිආරච්චි (සැප්තැම්බර් 09, 2015 – ජුලි 5, 2017), ජනාධිපති නීතිඥ කපිල වෛද්‍යරත්න (ජුලි 06, 2017 – ඔක්තෝම්බර් 30, 2018), හේමසිරි ප්‍රනාන්දු (ඔක්තෝම්බර් 30, 2018 – අප්‍රේල් 25, 2019) සහ විශ්‍රාමික ජෙනරාල් ශාන්ත කෝට්ටෙගොඩ (අප්‍රේල් 29, 2019-නොවැම්බර් 19, 2019).

හේමසිරි ප්‍රනාන්දු ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කරන කාලයේ ආගමික අන්තවාදීන්ගේ ක්‍රියාකාරකම් උග්‍රවූ අතර මෙහිදී විශේෂයෙන්ම අවධාරණය කළ යුතු වන්නේ සිරිසේන ජනාධිපතිවරයා ව්‍යවස්ථා කුමන්ත්‍රණය ක්‍රියාත්මක කර දින කිහිපයකට පසුව හේමසිරි ප්‍රනාන්දු එම පත්වීම ලැබූ බවයි. විශ්‍රාමික හමුදා හෝ පොලිස් නිලධාරියකු ආරක්ෂක ලේකම් ලෙස පත් නොකිරීම දේශපාලන තීන්දුවක් බව අවධාරණය කළ යුතුමය. විශේෂයෙන්ම එම තීන්දුව සම්බන්ධයෙන් විමසා බැලිය යුතු වන්නේ 2015 ඔක්තෝම්බර් 1 වන දින යහපාලන ආණ්ඩුව බෙදුම්වාදී ද්‍රවිඩ ත්‍රස්තවාදය පරාජය කළ ත්‍රිවිධ හමුදාව ජිනීවාහිදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට පාවා දුන් බව සිහියේ තබාගෙනය.

වසර දෙකකට පසුව කැඳවීමක්

පාස්කු ප්‍රහාරයට වසර 5 : තවමත් නොවිසඳුනු අභිරහස් ලේ වැගිරීම

කරුණාසේන හෙට්ටිආරච්චි ආරක්ෂක ලේකම් ලෙස ආගමික අන්තවාදීන් සම්බන්ධයෙන් ජාතික ආරක්ෂක මණ්ඩලයේ අවධානය යොමු කළත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර නොගත් බව අවධාරණය කළ යුතුය. නමුත් එම අවාසනාවන්ත තත්ත්වය නීතිපති දෙපාර්තමේන්තුවට ද අදාළය.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණ කිරීමට පත්කළ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති වූයේ එවකට නියෝජ්‍ය කථානායක පා. ම. ආනන්ද කුමාරසිරිය. ඔහු ඔක්තෝම්බර් 23, 2019 පාර්ලිමේන්තුවට භාර දුන් වාර්තාවේ 11 වැනි පිටුවේ නීතිපති දෙපාර්තමේන්තුව ක්‍රියාකළ නොසැලකිලිමත්භාවය අවධාරණය කර තිබිණි. සහරාන් හෂීම් මෙහෙයවූ ආගමික ත්‍රස්තවාදී සංවිධානය පිළිබඳව කටයුතු කිරීමට නීතිපතිවරයාගෙන් උපදෙස් පතා ත්‍රස්තවාදී විමර්ශන ඒකකය (Terrorist Investigations Division) 2017 ජුනි මාසයේ යොමු කළ ලිපි ගොණුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට කැඳවීම ලැබී ඇත්තේ 2019 මාර්තු 12 දින බවයි. ඒ වනවිට වේගයෙන් වර්ධනය වෙමින් පැවති ආගමික ත්‍රස්තවාදය සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශය, නීතිපති සහ පොලිසිය අතර සුළු හෝ සම්බන්ධීකරණයක් සිදු නොවූයේ මන්ද?

රාජ්‍ය බුද්ධි සේවය (State Intelligence Service), යුද හමුදා බුද්ධි අංශය (Directorate of Military Intelligence), අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව (Criminal Investigations Department) සහ ත්‍රස්තවාදී විමර්ශන ඒකකය මෙම ආගමික ත්‍රස්තවාදය සම්බන්ධයෙන් යම් ප්‍රමාණයක හෝ ඒකාබද්ධ ක්‍රියාමාර්ගයක් නොගත් බව පැහැදිලිය. දේශපාලනික සහ පෞද්ගලික හේතු මත ජාතික ආරක්ෂාවට වගකිව යුතු එම ආයතන විරසක වී තිබුණි. කිසිදු ආකාරයක කණ්ඩායම් හැඟීමකින් කටයුතු කර තිබුණේ නැත.

ආගමික අන්තවාදීන් මහා විනාශයකට සූදානම් වන බවට රාජ්‍ය බුද්ධි සේවයේ එවකට අධ්‍යක්ෂක නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධනට 2019 අප්‍රේල් 04 වන දින ඉන්දීය රහස් ඔත්තු සේවයෙන් (Research and Analysis Wing) ලැබුණු තොරතුර සම්බන්ධයෙන් යුද හමුදා බුද්ධි අංශය වහාම දැනුවත් නොකළේ මන්ද? පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව සහ ජනාධිපති විමර්ශන කොමිසම ඉදිරියේදී හෙළිදරව් වූයේ රාජ්‍ය බුද්ධි සේවය එම අතිශය සංවේදී සහ වැදගත් තොරතුර සම්බන්ධයෙන් යුද හමුදා බුද්ධි අංශය දැනුවත් කර ඇත්තේ 2019 අප්‍රේල් 19 වන දින බවයි. නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන තමන් හට ලැබුණ තොරතුර සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු දැනුවත් කළේ අප්‍රේල් 8 වන දිනය.

මෙහිදී නිරාකරණය කරගත යුතු ඉතාමත් වැදගත් කාරණාවක් ඇත. රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානි යුද හමුදා බුද්ධි අංශය දැනුවත් කළ පසුව තවත් අවස්ථා තුනකදී (2019 අප්‍රේල් 20 සහ 21 දින වලදී) එවකට පොලිස්පති පූජිත ජයසුන්දර සහ ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු දැනුවත් කර ඇත. ඒ වන විට සිරිසේන ජනාධිපතිවරයා විදේශගත වී සිටි බව රහසක් නොවේ. කතෝලික සහ ක්‍රිස්තියානි පල්ලි ඉලක්ක වීමට ඇති අවස්ථාව ඉතාමත් ඉහළ වූ බැවින් උද්ගතවී ඇති තත්ත්වය සම්බන්ධයෙන් විද්‍යුත් මාධ්‍ය හරහා වහාම නිවේදනයක් කිරීමට අවම වශයෙන් යෝජනාවක්වත් ඉදිරිපත් වූයේද? පාස්කු ඉරුදින ප්‍රහාර එල්ල විය හැකි බවට අනුමාන කිරීමට ඇති තරම් කරුණු තිබූ බව පැහැදිලිය. එසේ නම් වගකීම පැහැර හැරියේ කවුරුද? එය සිත මතා කළාද ?

ත්‍රස්තවාදී ප්‍රහාරය සිදුවන අවස්ථාවේ දී සහරාන් සම්බන්ධ පරීක්ෂණයේදී මූලිකත්වය ගෙන කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා සිටියේ අත්අඩංගුවේය. මෛත්‍රිපාල සිරිසේන සහ ගෝඨාභය රාජපක්ෂ ඝාතන සැලසුමක් සම්බන්ධයෙන් දින කිහිපයක් ප්‍රශ්න කිරීමෙන් පසුව ඔහුව 2018 ඔක්තෝම්බර් 25 වන දින රහස් පොලිසිය අත්අඩංගුවට ගත්තේය. ඒ නාමල් කුමාර නමැති පුද්ගලයකු කළ ප්‍රකාශයක් මතය. පසුව නීතිපති උපදෙස් මත අධිකරණය 2019 මැයි 19 වන දින ඔහුට ඇප ලබා දුන්නේය. තමන් අත්අඩංගුවට ගැනීමට එරෙහිව මූලික අයිතිවාසිකම් නඩුවක් රටේ ඉහළම උසාවියේදී පැවරූ ඔහු ආණ්ඩු පෙරළියත් සමගම 2020 සැප්තැම්බර් මාසයේදී එය ඉවත් කර ගත්තේය.

නාලක ද සිල්වා අත්අඩංගුවට ගැනීම සමස්ත කුමන්ත්‍රණයේ කොටසක්ද? දේශපාලන උපාය මාර්ගයක්ද? ත්‍රස්තවාදී විමර්ශන ඒකකය අඩපණ කිරීමට අවශ්‍ය වූයේ කවුරුන් හටද?

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව මැති සභයට ඉදිරිපත් කළ වාර්තාවෙන් රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානි සම්බන්ධයෙන් දැඩි ප්‍රශ්න කිරීමක් කර ඇත. ඒ පාස්කු ප්‍රහාරය එල්ල කිරීමට වසරකට පෙර සහරාන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක කළ පරීක්ෂණ සම්පූර්ණයෙන්ම තමන් අතට ගැනීමට ක්‍රියා කිරීම සම්බන්ධවයි.

ඔක්තෝම්බර් 26, 2018 කුමන්ත්‍රණය

සිරිසේන ජනාධිපතිවරයා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අතර ඇතිවූ එකඟතාවය මත 2018, ඔක්තෝම්බර් 26 දින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එම ධුරයෙන් ඉවත් කිරීම සිදුවිය. නමුත් එජාප නායකයා තමන් අග්‍රාමාත්‍ය ලෙස නැවත නැවතත් ප්‍රකාශ කළ අතර රටේ උග්‍ර දේශපාලන – ව්‍යවස්ථා අර්බුදයක් උද්ගත විය. ජනාධිපතිවරයා 2018 නොවැම්බර් 09 දින පාර්ලිමේන්තුව විසුරුවා මහා මැතිවරණයක් 2019 ජනවාරි 5 දින පවත්වන බවට ප්‍රකාශ කළේය. ඊට දින තුනකට පසුව ජනාධිපතිවරයාගේ ක්‍රියාමාර්ගයට එරෙහිව මූලික අයිතිවාසිකම් නඩු 12 රටේ ඉහළ අධිකරණයට ඉදිරිපත් වූ අතර 2018 දෙසැම්බර් 13 වන දින අධිකරණය ජනාධිපතිවරයා ගනු ලැබූ දේශපාලන උපාය මාර්ගය ආපසු හැරවීය.

යම් දේශපාලන ස්ථාවරභාවයක් ඇතිවිය. නමුත් ආගමික ත්‍රස්තවාදීන්ට අවශ්‍ය පසුබිම තවදුරටත් සැකසිණි. අදාළ පාර්ලිමේන්තු කාරක සභාවේ වාර්තාව අනුව හේමසිරි ප්‍රනාන්දු 2018 ඔක්තෝම්බර් 30 දින ආරක්ෂක ලේකම් ලෙස වැඩ භාරගත් පසුව ජාතික තව්හිත් ජමාත් සංවිධානය සම්බන්ධයෙන් කිසි විටක ජාතික ආරක්ෂක මණ්ඩලයේ සාකච්ඡා වී නැත. රටේ යම් ආකාරයක අරාජික තත්ත්වයක් ඇතිවූ බව රහසක් නොවේ. දේශපාලනය වියරු වී තිබිණි. ඒ වනවිට සිරිසේන ජනාධිපතිවරයා සහ වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා අතර සම්බන්ධතාවය සම්පූර්ණයෙන්ම බිඳ වැටී තිබිණි. එවකට පොලිස්පති පූජිත ජයසුන්දර ජාතික ආරක්ෂක මණ්ඩලයට සහභාගි වීම ජනාධිපතිවරයා විසින් තහනම් කර තිබිණි. එම තහනම ක්‍රියාත්මක වූයේ ව්‍යවස්ථා කුමන්ත්‍රණය සිදු කළ 2018 ඔක්තෝම්බර්ය.

මඩකලපුව දිස්ත්‍රික්කයේ වව්නතිව් ග්‍රාමයේ 2018 නොවැම්බර් 30 වන දින සිංහල සහ ද්‍රවිඩ පොලිස් නිලධාරීන් දෙදෙනකු වෙඩි තබා ඝාතනය කිරීම ද්‍රවිඩ කොටි ත්‍රස්තවාදීන්ගේ ගිණුමට බැර කිරීම ඒ වනවිට ඇතිවූ තත්ත්වය යටතේ කිසිසේත්ම විය හැකි දෙයක් නොවේ. ඒ 2009 මැයි එම ත්‍රස්තවාදී සංවිධානය විනාශ කර දැමීමෙන් පසුව කිසිම අවස්ථාවක එම සංවිධානයේ හිටපු සාමාජිකයන් විසින් කිසිදු ආකාරයේ ප්‍රහාරයක් කර නොමැති නිසාය.

පාස්කු ප්‍රහාරයට වසර 5 : තවමත් නොවිසඳුනු අභිරහස් ලේ වැගිරීම

රාජ්‍ය බුද්ධි සේවය පමණක් නොව යුද හමුදා බුද්ධි අංශය, අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව මෙන්ම ත්‍රස්තවාදී විමර්ශන ඒකකය ද වහාම ක්‍රියාත්මක විය යුතුව තිබිණි. මාවනැල්ල පොලිස් බල ප්‍රදේශයේ බුදු පිළිම කීපයක් විනාශ කිරීම (2018 දෙසැම්බර් අවසන් සතියේ), වනාතවිල්ලුව ලැක්ටෝ වත්තේ පුපුරණ ද්‍රව්‍ය සොයාගැනීම සහ සැකකරුවන් 4 දෙනකු පොලිස් අත්අඩංගුවට පත්වීම (ජනවාරි 17, 2019) සහ එවකට අමාත්‍ය කබීර් හසීම්ගේ සම්බන්ධීකරණ නිලධාරී වූ මොහමඩ් රසාක් තස්ලීම්ට ඔහුගේ ධනගම මාවත, මාවනැල්ලේ පිහිටි නිවසේදී වෙඩි තැබීම (මාර්තු 10, 2019) අවධාරණය කළේ වේගයෙන් වර්ධනය වෙමින් තිබූ ආගමික ත්‍රස්තවාදයයි. 2019 අප්‍රේල් 04 වන දින ඉන්දියාවෙන් කළ දැනුම් දීම ඇතිව තිබූ අතිශය භීෂණකාරී තත්ත්වය අවධාරණය කළේය.

2019 අප්‍රේල් 16 වන දින කාත්තන්කුඩි පලාමුනේ ප්‍රදේශයේ සිදු කළ පරීක්ෂණ පිපිරවීම පාස්කු ප්‍රහාරයට පෙර හුරුවක් විය. අදාළ පිපිරවීම සම්බන්ධයෙන් ආරක්ෂක අංශ දැනුවත් වුවත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට කිසිවකුට උනන්දුවක් නොවීය. සිරිසේන ජනාධිපතිවරයා ඒ වනවිට රටින් පිටවී සිටි බව පසුව හෙළිවිය. ඒ ඉන්දියාවේ තිරුපති දේවාලය වන්දනා කිරීමටයි.

ඊට පෙර වසර ගණනාවක් තුළ මුස්ලිම් සංවිධාන ඇතුළු නොයෙකුත් පුද්ගලයන් ආරක්ෂක අංශ සහ නීතිපති දෙපාර්තමේන්තුවට කර තිබූ අනතුරු ඇඟවීම් පසුබිමේ ආණ්ඩුව වහාම ක්‍රියාත්මක විය යුතුව තිබිණි. ඇත්ත වශයෙන්ම කාත්තන්කුඩි ජනතාව කිසිවිටෙක සහරාන්ගේ කණ්ඩායමට අවනත නොවූහ. 2010/2011 සිට එම කණ්ඩායම යම් නීතිමය පිළිගැනීමක් ලබා ගැනීමට කළ උත්සාහයන්ට ජනතාවගෙන් සහයෝගයක් නොලැබිණි.

පාස්කු ප්‍රහාරයෙන් වසර පහකට පසුව එම අපරාධයට ඉන්දියාව වගකිව යුතු බවට හිටපු ජනාධිපති සිරිසේන (මාර්තු 25, 2024) රහස් පොලිසියට කළ ප්‍රකාශය පූර්ණ විමර්ශනයකට ලක්විය යුතුය. ඒ සති හයක් පුරා පවත්වන ඉන්දීය මහා මැතිවරණය ජයග්‍රහණය කළ අගමැති නරේන්ද්‍ර මෝඩිට එම ප්‍රහාරයේ වාසිය හිමිවූ බවට හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රකාශයෙන් ගම්‍ය වන නිසාය.

එලෙසම එම ප්‍රහාරය නිසා ඇතිවූ අනාරක්ෂිත භාවය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට 2019 නොවැම්බර් පැවැත්වූ එම ඡන්දය ජය ගැනීමට අවස්ථාව සැලසූ බවට දෙස් විදෙස් චෝදනාද සියල්ලටම පිළිගත හැකි පරීක්ෂණයකින් තොරව බැහැර කළ නොහැක. නමුත් දැඩි මතධාරී මුස්ලිම් විරෝධියකු ලෙස චෝදනාවට ලක් වී ඇති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති කරවීමට මුස්ලිම් ජාතිකයන් 8 දෙනකු මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කළේ කාගේ වුවමනාවකටද යන ප්‍රශ්නයට තවමත් පිළිතුරු නැත.

ඇත්ත වශයෙන්ම එදා යහපාලන අධිකරණ අමාත්‍ය වූ ආචාර්ය ජනාධිපති නීතිඥ ආගමික ත්‍රස්තවාදීන් එල්ල කරන තර්ජනය සම්බන්ධයෙන් 2016 පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශයට සවන් යොමු කිරීමට ජනාධිපතිවරයාට හෝ අග්‍රාමාත්‍යවරයාට කිසිදු අවශ්‍යතාවයක් තිබුණේ නැත. ආණ්ඩුවේ ඇතැම් කොටස්, මාධ්‍ය සහ විදේශීය සම්බන්ධතා ඇති පුද්ගලයන් අමාත්‍යවරයාට පහර දුන්නේය. සිරියාව කේන්ද්‍ර වී ක්‍රියාත්මක ISIS ත්‍රස්තවාදී සංවිධානය සමග ශ්‍රී ලාංකික ආගමික ත්‍රස්තවාදීන්ගේ සම්බන්ධය හෙළි කළ රාජපක්ෂ අමාත්‍යවරයා වරදකරු කළේය.

මෙහිදී විශේෂයෙන්ම අවධාරණය කළ යුතු කරුණක් ඇත. පාර්ලිමේන්තු කාරක සභාව පෙන්වා දී ඇති පරිදි ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු කළ දැනුම් දීම අනුව රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානි නිලන්ත ජයවර්ධන අදාළ දැනුවත් කිරීම කර නැත.

සුමන්තිරන් කළ අනතුරු ඇඟවීම

පාස්කු අපරාධයෙන් සතියකට පසුව බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති ‘අනිද්දා’ පුවත් පතේ පළමුව සංවත්සර උත්සවය අමතමින් සුළු ජාතීන්ගේ ඉල්ලීම්වලට ආණ්ඩුව අවධානය යොමු කිරීමට සූදානම් නැත්නම් මෙවැනි ප්‍රහාර සිදුවිය හැකි බව ද්‍රවිඩ ජාතික සන්ධානයේ (Tamil National Alliance) මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් ප්‍රකාශ කළේය. මෙම ලියුම්කරු එම අවස්ථාවේ හදිසි තත්ත්වයක් යටතේ පැවැත්වූ එම උත්සව සභාවේ අනෙකුත් මාධ්‍යවේදීන් සමග සිටියේය. සුමන්තිරන් එම පක්ෂයේ ජාතික ලැයිස්තුවෙන් 2010 මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට ඇතුළු වීමට පෙර ආර්. සම්බන්ධන්ගේ කාණ්ඩය ක්‍රියාත්මක වූයේ කොටි සංවිධානය සමගයි. කොච්චිකඩේ සාන්ත අන්තෝනි පල්ලියේ සහ මඩකලපුවේ සියෝන් දේවස්ථානයේ සැලකියයුතු ද්‍රවිඩ සිවිල් වැසියන් සහරාන්ගේ ප්‍රහාරයෙන් මියගොස් ඇති පසුබිමක මෙවැනි ප්‍රකාශයක් කළේ ඇයි?

පාස්කු ප්‍රහාරය සාධාරණීය කරමින් මෙවැනි ප්‍රකාශයක් වෙනත් පුද්ගලයකු කළා නම් කුමන තත්ත්වයක් උද්ගත විය හැකිව තිබුණාද ?

මීගමුව කටුවාපිටියේ සාන්ත සෙබස්තියන් මුනිදුන්ගේ පල්ලියට සහ කොළඹ කොච්චිකඩේ සාන්ත අන්තෝනි පල්ලියට උදෑසන 8.45 ට ප්‍රහාර එල්ල විය. කොළඹ කින්ස්බරි හෝටලයට ප්‍රහාරය උදෑසන 8.47 ට එල්ල වූ අතර උදෑසන 8.54 ට කොළඹ ෂැන්ග්‍රීලා හෝටලයේ මිනිස් බෝම්බය පිපිරී ගියේය. උදෑසන 9.10 ට මඩකලපුවේ සියෝන් දේවස්ථානයට ප්‍රහාරය එල්ල විය. සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ පුපුරුවා ගැනීම උදෑසන 9.12 ට සිදුවිය.

කොළඹ ටාජ් සමුද්‍ර හෝටලයේ පුපුරුවා ගැනීම කිරීමට නියෝගය ලබා බෝම්බයකින් ‘සැරසී’ සිටි ත්‍රස්තයා (අබ්දුල් ලතිෆ්) එම හෝටලයෙන් පිටතට පැමිණ, වාහනයකින් දෙහිවල ට්‍රොපිකල් ඉන් (Tropical Inn) පැමිණි තම බෝම්බය එහි පුපුරුවා ගත්තේ ඇයි ? එම පිපිරීම දහවල් 1.30 ට සිදු විය. නොයෙකුත් පැහැදිලි කිරීම් කර ඇතත් හෝටලයේ පිපිරීම සිදු නොකළේ මන්ද යන ප්‍රශ්නයට පිළිගත හැකි පිළිතුරක් පාස්කු ප්‍රහාරයෙන් වසර 5 කට පසුවත් නොමැත.

එදින සිදුවූ අවසන් පිපිරීම දෙමටගොඩ සුපිරි නිවාසයක සිදු විය. එම නිවසේ හිමිකරු වූයේ මොහමඩ් යුසුෆ් ඊබ්‍රහිම්ය. ඉතාමත් ධනවත් කුළුබඩු අපනයනකරුවකු වූ ඊබ්‍රහිම් සිනමන් ග්‍රෑන්ඩ් සහ ෂැන්ග්‍රීලා ප්‍රහාර එල්ල කළ ත්‍රස්තවාදීන්ගේ පියාය. ඔහු 2015 මහා මැතිවරණයට ජනතා විමුක්ති පෙරමුණ (ජවිපෙ) නම් කළ ජාතික ලැයිස්තුවේ සිටිය පුද්ගලයෙකි. ප්‍රහාරය සිදුකළ අවස්ථාවේ (2019 අප්‍රේල් 21) ඊබ්‍රහිම් තම පුතුණුවන් ආගමික ත්‍රස්තවාදීන් බව සහ එම සංවිධානයට අරමුදල් සැපයූ බව දැන සිටියාද? කෙසේ වෙතත් 2022 මැයි මාසයේ (අරගලය සමයේ) ඊබ්‍රහිම්ට ඇප ලැබිණි.

සහරාන්ගේ බිරිඳ වූ අබ්දුල් කාදර් ෆාතිමා කාඩියාට 2023 මාර්තු මාසයේදී කල්මුනේ මහා අධිකරණයෙන් ඇප ලැබිණි. ඇය අත්අඩංගුවට පත්වූයේ ත්‍රස්තවාදීන් සයින්දමරුදු ප්‍රදේශයේ කළ පුපුරුවා ගැනීමකින් පසුවය. ඒ පාස්කු ලේ වැගිරීමෙන් සතියකට පමණ පසුවය. එම පිපිරීම සිදු කළ අවස්ථාවේ එම ස්ථානයේ සිටි බවට සැක කරන පුලස්තනි රාජේන්ද්‍රන් නොහොත් සාරා ජෙස්මින් (කටුවාපිටිය බෝම්බකරු හස්තුන්ගේ ද්‍රවිඩ බිරිඳ) මරණයට පත්වූ බව ඩී.එන්.ඒ. (DNA /Deoxyribonucleic acid) පරීක්ෂණයකින් ඔප්පු වී ඇති බව පොලිස් මූලස්ථානය ප්‍රකාශ කර ඇත. නමුත් එම ප්‍රකාශයට අභියෝග කරන පිරිසක් ද වෙති.

ආණ්ඩුවේ (දේශපාලන පක්ෂයක් නොවේ) ක්‍රියාකලාපය සැක උපදවන අතර පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ සහ මහා මැතිවරණයේදී ද පාස්කු ප්‍රහාරය තව දුරටත් ප්‍රධාන මාතෘකාවක් වෙනු ඇත.

ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ

advertistmentadvertistment
advertistmentadvertistment