වර්තමානය වන විට සංවර්ධනය යන්න සෑම රටකම පාහේ නිරන්තර කතාබහට ලක්වන මාතෘකාවක් බවට පත්ව ඇත. මන්ද සකල ලෝ වැසියන්ට උසස් ජීවන රටාවක් හිමිවීමට නම් සංවර්ධනය සෑම අංශයකින්ම ව්‍යාප්ත විය යුතුය.

දෙදහස් එකොළහ වර්ෂයේ ඇරඹී උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය පසුගිය අප්‍රේල් මස විසි හතර වන බදාදා දින ඉරාන ජනපති ආචාර්ය ඊබ්‍රහම් රයිසි මැතිතුමන්ගේ සහ ශ්‍රී ලංකා ජනපති රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත්විය.

ඌව පළාත කේන්ද්‍රකර ගනිමින් ඇරඹි මෙම බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ මූලික අරමුණ වූයේ මෙගාවෝට් එකසිය විස්සක ධාරිතාවයක් ජාතික විදුලි බල පද්ධතියට එක් කිරීමයි. ඊට අමතරව බදුල්ල, බණ්ඩාරවෙල, මොනරාගල, වැල්ලවාය, හම්බන්තොට, උඩවලව, ලුණුගම්වෙහෙර ආදී ප්‍රදේශවල ජනතාවගේ පානීය ජල අවශ්‍යතාව සපුරාලීම හා කෘෂිකර්මාන්තය සඳහා ජලය ලබාදීම මෙහි තවත් අවශ්‍යතාවයක් ලෙස සඳහන් කළ හැකිය.

මෙම ව්‍යාපෘතිය වර්ග කිලෝමීටර් හත්සිය විස්සක වපසරියක් තුළ නිමවන අතර බණ්ඩාරවෙල, ඇල්ල, හාලිඇල, වැලිමඩ ආදී ප්‍රධාන නගර මෙම ව්‍යාපෘතිය සමග සෘජුවම සම්බන්ධ වූ ස්ථාන ලෙස හඳුනාගත හැකිය. උමාඔය හරස් කොට වේල්ලක් බැඳ ජලාශයක් ඉදිකොට එම ජලය කිලෝමීටර් විසි හයක් දිගැති භූගත උමං මාර්ගයක් ඔස්සේ කරඳගොල්ලේ ඉදිකර ඇති භූගත විදුලි බලාගාරය වෙත ලබාගෙන විදුලි ජනන යන්ත්‍ර දෙක ක්‍රියාත්මක කර මෙගාවොට් එකසිය විස්සක විදුලි ධාරිතාවක් උත්පාදනය කොට ජාතික විදුලි බල පද්ධතියට එක් කර නැවතත් එම ජලය භූගත උමං මාර්ගය ඔස්සේම කිරිඳිඔය නිම්නය දක්වා ලබාගෙන පානිය හා කෘෂි අවශ්‍යතා සඳහා උක්ත ප්‍රදේශ කරා ගෙන යෑම මෙහි ක්‍රියාවලිය ලෙස සඳහන් කළ හැකි.

මෙම ව්‍යාපෘතිය සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන පන්සිය දහ හතරක මුදලක් ඇස්තමේන්තු කර තිබූ අතර එය ඉරාන රජයේ ණය ආධාර මුදලක් ලෙස ලැබීමට නියමිතව පැවතියත් ඉරානයට බලපෑ සම්බාධක හේතුවෙන් එරට ආර්ථිකය විශාල අර්බුදයකට ලක් විය. නමුත් ඒ වනවිටත් ඉරාන රජය ව්‍යාපෘතිය සඳහා දී තිබූ මුදල ඇමරිකානු ඩොලර් මිලියන පනහක් ලෙස සඳහන් විය. ඒ සියල්ල කෙසේ වුවත් ව්‍යාපෘතිය අතරමග නතර නොකරමින් ශ්‍රී ලංකා රජයේ මුදලින් ව්‍යාපෘතියේ වැඩ අවසන් කිරීමට පියවර ගනු ලැබුවේය.

අපේ කාන්තාවන්ට අගයක් දී දැයට උරුම වූ උමා ඔය

වසර දහතුනකට පසු උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය තුළින් ජනතා අවශ්‍යතාවයන් සපුරාලන්නට අවැසි අවකාශය නිර්මාණය විය.

මීට මාසයකට පමණ පෙර සිට ජල විදුලිය නිෂ්පාදනය සඳහා වූ පරීක්ෂණ මට්ටමේ මෙහෙයුම් ආරම්භ කර පැවැති බව වැඩිදුරටත් සඳහන් විය.

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය යටතේ පුහුල්පල ජලාශයේ ඉදිකර ඇති වේල්ල හරහා රැස්වන ජලය කිලෝමීටර් හතරක් උමං මාර්ගයක් ඔස්සේ ඩයරබා ජලාශයට රැගෙන එනු ලබනවා. වාරිමාර්ග අමාත්‍යාංශය පවසන පරිදි ඩයරබා ජලාශයේ ඉදිකර ඇති වේල්ල මගින් එම ජලය ගබඩා කර පසුව කිලෝමීටර් පහළොවයි දශම පහක් දිග උමං මාර්ගයක් ඔස්සේ ඇල්ල කරඳගොල්ල ප්‍රදේශයේ භූගතව ස්ථානගත කර ඇති ටර්බයින යන්ත්‍ර දෙකක් වෙත රැගෙන යනු ලබනවා. එම ටර්බයින යන්ත්‍ර ද්විත්වය මගින් මෙගාවොට් හැට බැගින් මෙගාවොට් එකසිය විස්සක ධාරිතාවයක් නිෂ්පාදනය වී ජාතික විදුලි බල පද්ධතියට එක් කරනු ලබනවා. විදුලි උත්පාදනයෙන් පසු තවත් කිලෝමීටර් හතරක උමං මාර්ගයක් ඔස්සේ එම ජලය අලිකොට ආර ජලාශය වෙත රැගෙන එනු ලබනවා. පසුව එම ජලය හඳපානාගල හා කුඩා ඔය ජලාශ දක්වා රැගෙන යනු ලබනවා.

ඉංජිනේරුවන් පවසන පරිදි යල සහ මහ කන්න ද්විත්වයේම ඉන් කුඹුරු අක්කර පහළොස් දහසකට ආසන්න ප්‍රමාණයක් සඳහා ජලය සැපයීම සිදු කරනු ලබනවා. එමෙන්ම බදුල්ල සහ මොණරාගල දිස්ත්‍රික්කයන්හි ජනතාවගේ පානීය ජල අවශ්‍යතාවයද ඉන් සම්පූර්ණ වන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසනවා.

නමුත් මෙම ව්‍යාපෘතියටත් වඩා රටම කතා කළ දෙයක් නම් අහල පුරුදු අපට හුරුපුරුදු ප්‍රධාන ව්‍යාපෘති සඳහා මැති ඇමැතිවරුන්ගේම නම් යොදාගැනීමේ සම්ප්‍රදාය අතික්‍රමණය කරමින් කෝටි දහස් ගණනක් වියදම් කරමින් නිමා වූ මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන ටර්බයින ද්විත්වය එහි සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ නමින් නම් කරන්නට ඉරානය තීරණය කිරීම සුවිශේෂී කටයුත්තකි.

අපේ කාන්තාවන්ට අගයක් දී දැයට උරුම වූ උමා ඔය

දසුනි ලුවිස් හා චුලෝචනා සංජීවනී දිසානායක යනු දෙදහස් දහසය වර්ෂයේ මෙම ව්‍යාපෘතිය හා සම්බන්ධ වූ සේවිකාවන් දෙදෙනෙක්ය. දසුනි ලුවිස් ව්‍යාපෘති ලේකම්වරියක ලෙස මෙම ව්‍යාපෘතිය හා සම්බන්ධ වන අතර චුලෝචනා සංජීවනී දිසානායක කාර්යමණ්ඩල සංග්‍රහ කටයුතු කරන්නියක ලෙස මෙම ව්‍යාපෘතිය හා රැකියාවට එක්වනු ලබනවා.

වසර එකහමාරක් පමණ සේවය කිරීමෙන් පසු චුලෝචනා සංජීවනී දිසානායක සේවයෙන් ඉවත්වන අතර දසුනි ලුවිස් දෙදහස් විසි දෙක වර්ෂයේ දෙසැම්බර් මාසයේදී සේවයෙන් ඉවත් වනු ලබනවා.

ඒ කෙසේ වෙතත් ඔවුන් කළ සේවය අගයනු වස් එක් ටර්බයිනයක් දසුනි ලෙසත් අනෙක් ටර්බයිනය චුලෝචනා ලෙසත් නම් කිරීමට තරම් ඉරාන ජාතික ඉංජිනේරුවන් කෘතඥශීලී වීම අගය කළ යුතුම කාර්යයකි.

මාධ්‍ය සමඟ අදහස් දක්වමින් දසුනි ලුවිස් පවසා තිබුණේ මෙවන් අදහසකි.

“මට කිව්වා මෙහෙමයි අපි ඔයාගේ නම දානවා කියලා. නමුත් මම ඒක විහිළුවකට තමයි ගත්තේ. හැබැයි දෙදහස් විසි එකේදී වගේ සර්ල මගේ නම ටර්බයින් එකට දාලා එයාලා ඔක්කොම එතන ඉඳලා ෆොටෝ එකක් අරන් ඇවිල්ලා මට පෙන්නුවා සප්‍රයිස් කියලා. මට ඇත්තටම පුදුම හිතුණා. මම ඉඳගෙන හිටපු පුටුවෙන් නැගිට්ටුනා ඒක දැක්කම. එයාල මට ස්තුති කළා ගොඩක්. ඒ වගේම චුලෝචනා කියන්නේ උසස් පෙළ හදාරලා ගෙදර හිටිය දුවෙක්. එයා මේ තේ හදන තනතුරට අයැදුම් කරලා තිබුණා. මම සර්ල එක්ක කතා කරල එයාට මේ අවස්ථාව දෙමු කියලා කිව්වම ඒගොල්ලෝ එකඟ වුණා. අපි ඒ දරුවාට අවස්ථාව දුන්නා. අපි කවදාවත් එයා තේ හදන කෙනා එහෙම කියලා එයාව වෙන් කරලා තිබ්බේ නැහැ. එයාට ඉගෙන ගන්නත් සර්ලා ගොඩක් උදව් කළා. නමුත් වසරේ එකහමාරක් පමණ අපිත් සමඟ ඉඳලා එයාගේ විවාහයත් සමඟ එයා සේවයෙන් ඉවත් වෙලා ගියා. ඇත්තටම මට සතුටුයි අපේ නම් මේ සඳහා යොදා ගැනීම සම්බන්ධයෙන්. කොහොමත් සර්ල කියල තිබුණෙ ටර්බයින් සඳහා යොදන්නේ ෆීමේල් නම් කියලා. ඇත්තටම මම මේ ව්‍යාපෘතියට සම්බන්ධ වුණේ අහම්බයකින්. ඇත්තටම සතුටුයි මේ වගේ ව්‍යාපෘතියකට සම්බන්ධ වීම ගැන.”

අපේ කාන්තාවන්ට අගයක් දී දැයට උරුම වූ උමා ඔය

දසුනි ලුවිස් මේ වනවිට ලයිසියම් ජාත්‍යන්තර පාසලේ කුරුණෑගල ශාඛාවේ ගුරුවරියක ලෙස සේවය කරනු ලබනවා.

මාධ්‍ය සමඟ අදහස් දක්වමින් චුලෝචනා සංජීවනී දිසානායක පවසා තිබුණේ මෙවැනි අදහසක්.

“දෙදහස් දහසය වර්ෂයේ උසස් පෙළ කරලා ප්‍රතිඵල අපේක්ෂාවෙන් ගෙදරට වෙලා හිටියා. ඒ වන විට මගේ අයියා ප්‍රදීප් උමා ඔය ව්‍යාපෘතියේ සාමාන්‍ය සේවකයෙක් විදියට රැකියාවේ නිරත වෙලා හිටියා. එයා තමයි කිව්වේ ප්‍රජෙක්ට් එකේ ඔෆිස් එකේ මෙහෙම වේකන්සි එකක් තියෙනවා ඔයා ඒකට දාලා බලන්න කියලා. මම ඒකට ඉල්ලුම් කළා. ඔවුන් මාව තෝරා ගත්තා. මම රැකියාවට ගියේ දෙදහස් දහසයේ දෙසැම්බර්. රටේ ප්‍රශ්නත් එක්ක පසුව උමා ඔය ව්‍යාපෘතිය නතර වුණා. ඊට පස්සෙ සර්ල වෙන ව්‍යාපෘතියකට ගියා. ඒත් සමගම මමත් රැකියාවෙන් ඉවත් වුණා. මම සේවය කළේ දසුනි මිස්ගේ සහයිකාව ලෙස. දසුනි මිස් කියන්නේ හරිම හොඳ කෙනෙක්. කාර්යාලය ඇතුළෙ අපි වැඩ කළා. අපිට කලින් කියලා තිබුණා අපේ නම් දානවා කියලා. නමුත් මේ නම් දාන වැඩේ අවසාන මොහොතේ හෝ වෙනස් වේවි කියලා හිතුණ නිසා අපි දෙන්නම ඒ ගැන කල්පනා කළේ නැහැ. අපිව එතනට එක්කගෙන ගිහින් අපේ නම් දාලා තියෙනවා අපිට පෙන්නුවා. මම එතන ෆොටෝ එකක් අරගෙන ආවා. මම ඇත්තටම පුදුම වුණා. ඒ දේ වෙනස් වෙලා නැහැ කියලා අපි දැනගත්තේ ප්‍රවෘත්තිවලට පෙන්නුවහම. පුංචි දුකකට තියෙන්නේ මගේ නම චුලෝචනා. නමුත් මාධ්‍ය මගින් ඉරාන ඉංජිනේරු මහත්වරුන්ට උච්චාරණයේ අපහසුවක් නිසා සුලෝචනා චුලෝචනා ලෙස උච්චාරණය කළා යැයි පවසනවා. නමුත් මගේ නම සුලෝචනා නෙමෙයි මගේ නම චුලෝචනා. ඒ ගැන ඇත්තටම මගේ පවුලේ අයටයි මටයි ගොඩක් සතුටුයි.”

කෙසේ වෙතත් රට තුළ ක්‍රියාත්මක වූ දැවැන්ත ව්‍යාපෘතියක් වූ උමා ඔය ව්‍යාපෘතියේ ටර්බයිනයන් සුළු සේවිකාවන් දෙදෙනකුගේ නමින් නම් කිරීමට තරම් කෘතඥ වීම තුළින් උමා ඔය තරම්ම වටිනා පණිවිඩයක් ඉරාන ජාතික ඉංජිනේරුවන් අපිට දී හමාරය.

චින්තනී වික්‍රමනායක

advertistmentadvertistment
advertistmentadvertistment