මවගේ අත්පා බැඳ දියණිය පැහැරගෙන යති – සැක තිදෙනෙක් දැලේ

140

උඩුගම, ගෝනදෙණිය, ඇස්ටොප්වත්ත ප්‍රදේශයේ දී මවගේ අත් පා බැඳ විසිහත් හැවිරිදි වියේ පසුවන ඇයගේ දියණියට පහරදී ඇය බලහත්කාරයෙන් පැහැරගෙන යෑමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු ඇතුළු තිදෙනකු සෙල්ලකතරගම හා ගාල්ලේ දී පෙරේදා (04) අත්අඩංගුවට ගත් බැව් උඩුගම පොලිසිය පවසයි.

ප්‍රධාන සැකකරු තවත් තිදෙනකු සමග මෙකී කාන්තාවගේ නිවසට පැමිණ ඇයගේ මවගේ අත්පා ගැට ගසා කුලී පදනම මත ලබාගත් වැගන්ආර් වර්ගයේ රථයකින් ඇය පැහැරගෙන ගොස් ඇති බැව් පොලිසිය පවසයි. කාන්තාව පැහැරගෙන යෑමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු සෙල්ලකතරගම ප්‍රදේශයේ නිවසක මෙකී කාන්තාව සමග සිටියදී අත්අඩංගුවට ගෙන ඇත. ඔහු 58 හැවිරිදි වියේ පසුවන ගල්රෝල රථ රියැදුරෙකි. මොහු සමග පැමිණි අනික් සැකකරුවන් තිදෙනා ගාල්ල කුරුන්ද ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

පැහැරගත් කාන්තාව එක්දරු මවක් වන අතර ඇයගේ නිත්‍යානුකූල සැමියා ඇයගෙන් වෙන්වී ඇත. මීට කලකට පමණ ඉහතදී මෙකී කාන්තාව ප්‍රධාන සැකකරු සමග අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇති බව පොලිසිය පවසයි. කාන්තාව විසින් මෙකී අනියම් සම්බන්ධතාවය නතර කිරීම නිසා ඉන් උරණ වූ සැකකරු ඇය බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් ඇති බව පොලිසිය විසින් කරනු ලැබූ විමර්ශනවලදී අනාවරණය වී ඇත.

උඩුගම පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දුමින්ද කන්නංගර අපරාධ අංශයේ ස්ථානාධිපති වික්‍රමපාල මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබීය.

ලලිත් චාමින්ද සහ එස්.කේ. කළුආරච්චි – ගාල්ල, හිනිදුම – රවින්ද්‍ර චන්ද්‍රලාල්

advertistmentadvertistment
advertistmentadvertistment