දියණිය පාසල් ඇරලවීමට පැමිණි පියාට දියණිය ඉදිරිපිටදීම පාතාලයෙන් වෙඩි

923

සිය දියණිය පාසල් ඇරලවීමට පැමිණි පියකු පසුපස ඊයේ (13 දා) පෙරවරුවේ පන්නාගෙන ආ පාතාල සන්නද්ධ කල්ලියක් මාතර දික්වැල්ල ප්‍රදේශයේදී දියණිය බලා සිටියදීම ටී 56 අවියකින් පියාට වෙඩිතබා බරපතළ තුවාල කර මුළු ප්‍රදේශයම භීතියට පත් කර පලාගොස් ඇත.

පවුල් ආරවුලක් මෙම ප්‍රහාරයට හේතු වී ඇති බවත් පාතාල කල්ලියකට ලබාදුන් ඝාතන කොන්ත්‍රාත්තුවක් මත එය සිදු වී ඇති බවත් පොලිසිය කළ මූලික විමර්ශනවලදී හෙළි වී තිබේ.

මෙම ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලබා මාතර රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන්නේ දික්වැල්ල දඹගස්ආර ප්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි මංගල යසලාල් කුමාරතුංග නමැත්තකු බව පොලිසිය පවසයි.

ප්‍රහාරයෙන් දියණියට කිසිදු අනතුරක් සිදු වී නොමැත. පොලිස් විමර්ශනවලින් හෙළිවී ඇති අන්දමට වෙඩි ප්‍රහාරයට ලක් වූ පුද්ගලයා සිය බිරිඳගෙන් වෙන් වී තනිවම වාසය කරයි.

බිරිඳ දරුවන් සමග වෙනත් නිවසක ජීවත් වන අතර මංගල යසලාල් දරුවන් පාසල් රැගෙන යෑමේ කටයුතු සිදුකරයි.

මංගල යසලාල් මෙම වෙඩි ප්‍රහාරයට ලක්වන්නේ 15 හැවිරිදි සිය දියණිය පාසල් ඇරලවීම සඳහා වෙන්ව සිටින බිරිඳගේ නිවස අසලට ගිය අවස්ථාවේදී ය.

දියණිය පැමිණෙන තුරු මොහු නිවස ඉදිරිපිට රැඳී සිටියදී කළු පැහැති මෝටර් රථයකින් පැමිණි පාතාල කල්ලිය ටී 56 අවියකින් ඔහුට වෙඩි ප්‍රහාර 6 ක් එල්ල කර ඇත.

මංගල යසලාල්ගේ සිරුරේ ඉණෙන් පහළ කොටසට වෙඩි ප්‍රහාර කීපයක් එල්ල වී ඇති බව රෝහල් ආරංචි මාර්ග පැවසීය.

මීට වසර කීපයකට පෙර මංගල යසලාල් කිසියම් පිරිසක් සමග ආරවුලක් ඇති කරගෙන තිබූ අතර ඔහු එහිදී පැහැර ගැනීමකට ද ලක් වී තිබිණි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මාතර අධිකරණයේ නඩුවක් විභාග වන අතර එහි සාක්‍ෂිකාරයෙකුට ද මීට මාස කීපයකට පෙර කිසියම් පිරිසක් විසින් වෙඩි තබා බරපතළ තුවාල කර තිබිණි.

මෙම ගැටුමේ ප්‍රතිඵලයක් මත මංගල යසලාල්ට වෙඩි තැබීම සිදුවන්නට ඇති බවට ද පොලිසිය සැක පළකරයි.

මෙම ප්‍රහාරය එල්ල කළ පුද්ගලයන් හඳුනාගෙන නැති අතර පාතාල කල්ලියක කොන්ත්‍රාත් ඝාතකයන් විසින් එය සිදුකරන්නට ඇති බවත් පොලිසිය පවසයි.

දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත, මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පණ්ඬුල වීරසිංහ යන මහත්වරුන්ගේ උපදෙස් මත දික්වැල්ල පොලිසිය විමර්ශන පවත්වාගෙන යයි.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment