ශ්‍රී ලංකාව සහ උගන්ඩාව අතර තරගය අද

149

කාන්තා 20-20 ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය

2024 වසරේ පැවැත්වීමට නියමිත පන්දු වාර 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට එක්වන අවසන් කණ්ඩායම් දෙක තෝරා ගැනෙන සුදුසුකම් ලැබීමේ තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහ උගන්ඩාව අද (01 වැනිදා) තරග වැදීමට නියමිතය.

තරගාවලියේ 14 වන තරගය ලෙස අබුඩාබිහි සෙයික් සයිඩ් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා වේලාවෙන් අද ප.ව. 4.30ට තරගය ආරම්භ වීමට නියමිතය. ශ්‍රී ලංකා කාන්තා සහ උගන්ඩා කාන්තා කණ්ඩායම අතර මීට පෙර කිසිදු තරගයක් ක්‍රීඩාකර නොමැති අතර කණ්ඩායම් දෙක මුණගැසෙන්නේ පළමු වරටයි.

සුදුසුකම් ලැබීමේ තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දුන් පළමු තරගයේදී තායිලන්තයට එරෙහිව ලකුණු 67ක පහසු ජයක් ලබාගැනීමට සමත් වූ අතර, දෙවන තරගයේදී ස්කොට්ලන්තය පරදවා කඩුලු 10ක විශිෂ්ට ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් විය.

‘ඒ’ කාණ්ඩයෙන් තරග වදින නෙදර්ලන්තය, උගන්ඩාව සහ සිම්බාබ්වේ යන කණ්ඩායම් ද තරගය බැගින් ජයගෙන ඇති අතර ශ්‍රී ලංකා කණ්ඩායම තමන් මුහුණ දුන් තරග දෙක විශිෂ්ට ලෙස ජය ගැනීම හේතුවෙන් ‘ඒ’ කාණ්ඩයේ පෙරමුණ ගැනීමට සමත් විය.

අද ආරම්භ වීමට නියමිත සෙසු තරග වන්නේ නෙදර්ලන්තය සහ සිම්බාබ්වේ, අයර්ලන්තය සහ වනුවාටු, තායිලන්තය සහ ඇමෙරිකාව අතර තරග වේ.

සිසිර ජයසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment