කාර්යාලයක් පිහිටුවීමෙන් අයවැයේ අරමුණු සොයා බලන්නට අවස්ථාවක් ලැබෙනවා -අගමැති දිනේෂ් ගුණවර්ධන

67

ජනතාවට බොරු පොරොන්දු දෙන්න බැරි වෙනවා-එරාන් වික්‍රමරත්න (සජබ)

කැසිනෝ නියාමන පනත වහා ඉදිරිපත් කරන්න-පාඨලී චම්පික රණවක (සජබ)

විශ්වාසයක් ඇති වීමට ජනාධිපති මුදල් ඇමැතිකමින් ඉවත් විය යුතුයි-ගෙවිඳු කුමාරතුංග (ශ්‍රීලපොපෙ)

පාර්ලිමේන්තු අයවැය කාර්යාලයක් පිහිටුවීම මගින් අයවැය ලේඛනයක් ඉදිරිපත් කිරීමේදී සහ ඉන්පසුව හරි ගමන් මාර්ගයක යෙදී තිබේද යන්නට සොයා බලා මැදිහත් වන්නට අවස්ථාවක් ලැබෙන බව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (09) පැවසීය.

වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා විසින් සෙංකෝලය තැන්පත් කිරීමෙන් පසුව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ මූලාසනයෙන් යුතුව පාර්ලිමේන්තුව ඊයේ පෙරවරු 9.30 ට ආරම්භ කෙරිණ. එහිදී අයවැය කාර්යාලයීය පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ආරම්භ කරමින් ගුණවර්ධන මහතා මෙසේද පැවසීය.

පාර්ලිමේන්තු අයවැය කාර්යාල පනත අනුව අයවැය පමණක් නොව සාම්ප්‍රදායිකව අයවැය හා ඇස්තමේන්තු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. නමුත් එය ගැඹුරින් විශ්ලේෂණය කිරීමක් සඳහා වූ කටයුතුවලට මෙතෙක් අපට තිබුණු අවස්ථාවට වැඩි අවස්ථාවක් වෙනවා. ඒ වගේම ශ්‍රී ලංකාව සමඟ කටයුතු කරන විවිධ ජාත්‍යන්තර ආයතන පවා මේපිළිබඳව අදහස් පළ කරනු ලැබුවා. ඒ මගින් රටේ ආර්ථික ගමන් මාර්ගයේ සඳහා වූ අයවැය ලේඛනයක් ඉදිරිපත් කිරීමේදීත් සහ ඉදිරිපත් කිරීමෙන් පසු අන්තර් කාලය තුළත් හරි ගමන් මාර්ගයක යෙදී තිබෙනවාද යන්න අවස්ථාවක් ලැබෙනවා. ඒ වගේම නීතිමය වශයෙන් යම් සංඛ්‍යාලේඛන සැකයට හෝ පිළිගත නොහැකි තත්ත්වයකට පරිවර්තනය වීමේදී අපට ඉතා පැහැදිලිව එය නිවැරදි කර ගැනීම සඳහා වූ අවස්ථාවකට පත් වෙනවා. මම හිතනවා ඒ සඳහා මේ පනත ඉතාමත් වැදගත් කාර්යයක් ඉටු කර තිබෙනවා. ඒ වගන්ති සකස් කිරීමෙන් ස්ථාවර නියෝගවල බොහෝවිට තිබෙන අවිනිශ්චිතභාවය පවිත්‍ර වෙනවා. ඒ නිසා ස්ථාවර නියෝගනිසාම අවිනිශ්චිතභාවයකට පත් වී තිබෙන විවිධ සංඛ්‍යා ලේඛන හා තොරතුරු හා ප්‍රකාශිතයන්වල අරමුණු පැහැදිලිව සාක්ෂාත් කරගන්නට තිබෙන වගකීම අමාත්‍යවරුන්ට පමණක් නොව රාජ්‍ය නිලධාරීන්ටද වගකීම ඉෂ්ට කිරීම සඳහා වූ ගමනකට අපට පරිවර්තනය වෙන්න පුළුවන්කම ලැබෙනවා. මෙය ක්‍රියාත්මක කරන්න පුළුවන් අවස්ථාවට අද පිවිසීම පාර්ලිමේන්තුවේ ජයග්‍රහණයක් ලෙස අපි විශ්වාස කරනවා. අයවැය ලේඛනවලට හා ඇස්තමේන්තුවලට ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රකාශයට පත් කරන අරමුණ සඳහා අඛණ්ඩව කටයුතු කරන්න දායකත්වය ලැබෙනු ඇති.

සභානායක ඇමැති සුසිල් ප්‍රේම්ජයන්ත් –

ස්වාධීන කාර්යාලයක් ලෙස අය වැය පාර්ලිමේන්තු කාර්යාලය පිහිටුවනවා. ජාතික අය වැය යෝජනා ක්‍රියාත්මක කිරීම හා අධීක්‍ෂණය සෘජු තීරණ ගැනීම ඵලදායී ලෙස රාජ්‍ය සම්පත් යොදා ගැනීම යන අරමුණු ඉටුකර ගැනීම අපේක්‍ෂාවයි.

පත්කළ මන්ත්‍රී එරාන් වික්‍රමරත්න (සජබ)-

රට බංකොලොත් කළ රාජපක්ෂවරු යළිත් ගමින් ගමනට යනවා. ආර්ථිකය ගොඩගන්න හැටි කියනවා.

2002 දී පාස්පෝට් එක ඔන්ලයින් කරන්න සැලසුම් කළේ. එදා රනිල් වික්‍රමසිංහ අගමැතිවරයායි. ඒවා පසුව තැකුවේ නැහැ. අද ක්‍රියාත්මක කිරීම ගැන සතුටු වෙනවා. මේක විහිළුවක්. අය වැය පාර්ලිමේන්තු කාර්යාලය ගේන්නත් එදා රනිල් වික්‍රමසිංහ අගමැති යෝජනා කළා. අපට ප්‍රශ්න රැසක් ඇති කළා. පසුව රට බංකොලොත් කළා. තෙල්වලට මිල සූත්‍රයක් ගේන්න කිව්වාම එදා හිනා වුණා. අද ක්‍රියාත්මක කරනවා.

මොන නීති ගෙනාවත් අපි රට හරියට පවත්වාගන්නෙ නැත්නම් එය ව්‍යාපාරවලට බලපානවා. මේ පනත හොඳ පනතක්. අපි සහාය දෙනවා. එදා මේ පනතට විරුද්ධ වූ අයටම අද ඉදිරිපත් කරන්න වෙලා.

මේ නීතිය සම්මත වූ පසුව දේශපාලකයන්ට ජනතාවට බොරු පොරොන්දු දෙන්න බැහැ. පාර්ලිමේන්තුව සත්‍ය තොරතුරු රටට දෙනවා. ජනතාවට සංඛ්‍යාලේඛන ගැන විශ්වාසයක් ඇති කළ හැකියි. මෙය රටට හොඳ වාසියක්. අනිත් රටවලත් මෙවැනි තත්ත්වයන් පවතිනවා.

වැඩ බලන මුදල් ඇමැති ෂෙහාන් සේමසිංහ-

අපේ රටේ මූල්‍ය විනය ශක්තිමත් කර ගැනීම හා නිසි වගවීමක් ඇති කර ගැනීම අය වැය කාර්යාලයේ අරමුණයි. මේ වගේ නීති අරගෙන එද්දී විපක්‍ෂය සහාය දීම ගැන සතුටුයි.

අය වැය ලේඛනය ඉදිරිපත් කරන අවස්ථාවේදී එය අධීක්‍ෂණය කිරීමත්, එහි ප්‍රතිලාභ ලබාදීමේදී ඒ පිළිබඳ සොයා බැලීමත් මේ මගින් සිදුවෙනවා. මූල්‍ය විනිවිදභාවය තහවුරු කිරීමක් හා පුළුල් කිරීමක් අවශ්‍යයි. එය මෙමගින් කළ හැකියි. රාජ්‍ය සම්පත් ඵලදායී ලෙස වෙන් කිරීම, රජය සතු භාණ්ඩ හා සේවා කාර්යක්‍ෂම ලෙස බෙදාහැරීමට අවශ්‍ය ක්‍රමවේද සකස් කිරීමත් මේ කාර්යාලය හරහා සිදුවෙනවා.

ආණ්ඩුව සිදුකරන ප්‍රතිසංස්කරණ කෙටි කාලීනව අසීරු වුවත්, දිගු කාලීනව රටට හොඳයි. එදා අපි ගත් තීන්දු තීරණ නිසා දැන් ජනතාවට ආර්ථිකය ගැන විශ්වාසයක් ඇති වී තිබෙනවා. මෙවැනි පනත් ඉදිරිපත් වීම තුළින් ආයෝජකයන්ට රටට එන්න විශ්වාසය ඇති වෙනවා. භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේදී විදේශ ආයෝජන විශාල ලෙස වැඩි වී තිබෙනවා. එය හොඳ තත්ත්වයක්.

පත් කළ මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර (ශ්‍රීලනිප)-

රාජ්‍ය මූල්‍යයේ වගකීම පාර්ලිමේන්තුවට පැවරී තියෙනවා. අය වැය කාර්යාල පනත මගින් එය තවත් ශක්තිමත්වී තිබෙනවා.

පක්‍ෂග්‍රාහී නොවන ස්වාධීන විශ්ලේෂණ ඉදිරිපත් කරන්න වගකීමක් තිබෙනවා. මෙහි නිලධාරීන් පාර්ලිමේන්තුවට වගකිව යුතු වෙනවා. අපේ දේශපාලන මත පත්කළ සියලු දෙනාම පනතට සහාය දිය යුතුයි. පනත ක්‍රියාවට නැංවීම මගින් ලැබෙන වාසි හා අවාසිදායක තත්ත්වයන් පිළිබඳව රටේ පුළුල් කථිකාවතක් ඇති විය යුතුයි. සම්පත් බෙදීයෑම් පිළිබඳව මීට වඩා සාකච්ඡා විය යුතුයි.

පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී නිරෝෂන් පෙරේරා (සජබ) –

පාර්ලිමේන්තුව ගන්නා සමහර වැරදි තීන්දු තීරණ හා ණය බරින් රට ගෙන යෑම නිසා ජනතාවට විශාල ණය බරක් දරන්නට සිදුවෙලා.

ස්වාධීන කොමිෂන්වලට පත් කළ සමහරු ස්වාධීනව කටයුතු කළේ නෑ. ඒ නිසා බලාපොරොත්තු වූ සේවය ලැබුණේ නෑ. අය වැය කාර්යාලයේ නිලධාරීන් ද ස්වාධීනව වැඩ නොකර මෙහි ස්වාධීනත්වයක් නැති කරයි ද කියන බය ඇති වෙනවා.

මේ රටේ විදුලි බිල හා අමුද්‍රව්‍ය මිල ඉහළ යෑම නිසා කුඩා හා මධ්‍යම පරිමාණ කර්මාන්ත කඩා වැටිලා. ඒ නිසා අපනයන ආදායමත් අඩු වෙනවා. මේ ආණ්ඩුව ආදායමට වඩා වියදම වැඩි කර ගත්තා. හරියට ආදායම වැඩිකර ගන්න ක්‍රියා කළේ නෑ. වෙනත් රටවල් හා සැසඳීමේදී අපේ නිෂ්පාදන වියදම ඉතා ඉහළයි. මේවා දැක්කහම ආයෝජකයෝ රටට එන්නේ නෑ.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී පාඨලී චම්පික රණවක-
කැසිනෝ නියාමනය පිළිබඳ පනත වහාම ගේන්න. කැසිනෝ 4යි රටේ තියෙන්නේ. එය නියාමනයක් නෑ. තවත් 7 කට අනුමැතිය දෙන්නත් යනවා. කැසිනෝ සඳහා ඩොලර් 100 ක ඇතුල්වීමේ ගාස්තුව අය කරන්නේ නෑ. මැයි මාසයේ මිලියන 72 ක් අය කරලා. එය ඩොලර් සියයෙන් බෙදුවහම ඩොලර් 2400 යි. හරියට බැලුවොත් දවසකට කැසිනෝ ආයතනයට ඇතුල් වී ඇත්තේ 20 දෙනයි. මේ දත්ත වැරදියි.

ඩිජිටල් සේවාවකට කිසිම බද්දක් නෑ. මේ සඳහා පනතක් ගේන්න.

කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී අශෝක් අබේසිංහ (සජබ)-

ආණ්ඩුව තම බලය තහවුරු කරගන්න විවිධ ක්‍රියාමාර්ග ගන්නවා. ඒ අතර මර්දනය විශේෂයි. පවතින තත්ත්වය තව අවුරුද්දක් දෙකක් ඉදිරියට යන්න උත්සාහ කරනවා. එහිදී එන විරෝධය පාලනය කරන්න. ප්‍රතිත්‍රස්ත පනත, විකාශන අධිකාරි පනත් ගේන්නේ ඒකයි.

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කළ යුතු වෙනවා. ජූලි අවසන් වෙද්දී කළ යුතුයි. ඒ තුළ ජනතාව වෙතින් විරෝධතා ඇති වේවි. විකෘති ආර්ථිකයක් දැන් ඇති කර තියෙන්නේ. ආණ්ඩුව ආර්ථික අර්බුදය විසඳීමට ගන්නා පියවර පිළිබඳව ජනතාව දැනුවත් කරන්න.

පත්කළ මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග (ශ්‍රීලපොපෙ)-

පාර්ලිමේන්තු අය වැය කාර්යාලයේ ප්‍රධාන නිලධාරීන් පත්කිරීමේදී ව්‍යවස්ථාදායක සභාවෙන් යෝජනා කරලා අවසාන වශයෙන් පත් කරන්නේ ජනාධිපතිවරයා. ජනාධිපතිවරයා පත් නොකළොත් මොකද වෙන්නේ කියා ව්‍යවස්ථාවේ සඳහනක් නෑ.

21 වන සංශෝධනය ගෙන ඒමේදී ආරක්‍ෂක ඇමැති හැර අනෙක් සියලු ඇමැතිධුර ජනපති අතැරිය යුතු බව එදා කිව්වා. දැන් ජනාධිපති මුදල් ඇමැති ධුරය තමා යටතේ රඳවාගෙන.

අය වැය කාර්යාල පනත් ගැන විශ්වාසය ඇති කිරීමට නම් මුදල් ඇමැති ධුරය ජනපතිවරයා වෙන අයෙකුට දිය යුතුයි.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොලවත්ත (ශ්‍රීලපොපෙ)-

අද අදේශපාලනික තීන්දු අරන් ආර්ථිකය හදන්න සිදු වී තිබෙනවා. ඉතිහාසයේම උනේ ඒක නොවෙයි. ස්වාධීනව ආර්ථික ක්‍රියාවලිය සිදුවිය යුතුයි. පාර්ලිමේන්තු කාර්යාලය ඒ වෙනුවෙන් හදන්නේ. මෙහි නිලධාරීන් ද සුපුරුදු නිලධාරින් ලෙස නොසිට ස්වාධීනව කටයුතු කිරීම වැදගත්. පරණ ක්‍රමවේදයෙන් බැහැර විය යුතුයි.

කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලින් බංඩාර (සජබ)

දේශීය ණය ප්‍රතිව්‍යුහගත නොකරන බව ආණ්ඩුව කලින් කිව්වා. දැන් කියනවා තාම තීරණයක් නෑ කියනවා. අපට ලැබුණු තොරතුරු අනුව මූල්‍ය අර්බුදවලට ආණ්ඩුව එකඟවෙලා දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන්න. අපි දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන්න එකඟ නෑ. එහෙම වුණොත් අර්ථසාධක අරමුදලට පහර වදිනවා. මෙහි ණය කපා හැරියොත් සේවකයාට පහර වදිනවා. මෙය කරනවා නම් රට තුළ මහා අසහනයක් ඇති වේවි. වහාම දේශීය ණය කපා හැරීම නවත්වන්න සාකච්ඡා කරන්න.

මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය-

මැතිවරණ සමයේ බොහෝ පොරොන්දු දේශපාලන පක්‍ෂ දුන්නා. දැන් එහෙම පොරොන්දු දෙන්න බැහැ. පොරොන්දු දෙනවා නම් අය වැය කාර්යාලයේ තොරතුරු ඉදිරිපත් විය යුතුයි. නැත්නම් විශ්වාස නෑ.

පාර්ලිමේන්තුව නැවත අද (21) දින පෙරවරු 9.30ට යළි රැස්වේ.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment