කනිෂ්ඨ හොකී සංචිතයට නොතේරුණු ක්‍රීඩකයන් හතර දෙනකුගෙන් අභියාචනා

35

ජාතික කනිෂ්ඨ වයස අවුරුදු 21 න් පහළ පුහුණු සංචිතයට තමන් ඇතුළත් විය යුතු බව සඳහන් කරමින් ක්‍රීඩකයින් සිව්දෙනකු අභියාචනා ඉදිරිපත් කර ඇති බව ක්‍රීඩා ආරංචි මාර්ග සඳහන් කරයි.

ක්‍රීඩකයින් 34 දෙනෙකුගෙන් සමන්විත වූ පුහුණු සංචිතය ක්‍රීඩකයින් 22 දක්වා පහත හෙළීමට ශ්‍රී ලංකා හොකී තෝර ගැනීමේ කමිටුව ඉකුත් සති අන්තයේදී පියවර ගැනීමෙන් පසුව අදාළ ක්‍රීඩකයන් හතර දෙනා මෙම අභියාචනා ඉදිරිපත් කර ඇත.

මූලික සංචිතයේ සිටි ක්‍රීඩකයන් 34 දෙනා ක්‍රීඩකයන් විසි දෙදෙනකු දක්වා අඩුකිරීමේ ප්‍රතිඵලයක් ලෙස ක්‍රීඩකයින් 12 කට සංචිතයෙන් ඉවත් වීමට සිදු විය.

එම ක්‍රීඩකයින් අතරින් ඉහත ක්‍රීඩකයන් සිව් දෙනා තමන්ගේ ශාරීරික යෝග්‍යතාව සහ ක්‍රීඩා තාක්ෂණය ඉහළින් ඇති බව සඳහන් කරමින් මෙම ලිඛිත ඉල්ලීම කර ඇති බව සඳහන් වේ.

එළඹෙන ජුනි මස 13 සිට 23 දක්වා සිංගප්පූරුවේ දී ක්‍රියාත්මක කෙරෙන ආසියානු හොකී සම්මේලන කුසලාන වයස අවුරුදු 21 න් පහළ ශූරතා තරගාවලියට සහභාගී කරවන ශ්‍රී ලංකා කනිෂ්ඨ කණ්ඩායම තෝරා ගැනීම උදෙසා මෙම සංචිත ස්ථාපිත කර තිබේ. මෙහි අවසන් පුහුණුව ඊයේ (17) දින කොළඹ රීඩ් මාවත කෘත්‍රිම ක්‍රීඩාංගණයේදී ආරම්භ කෙරුණි.

මෙවර තරගාවලියට සහභාගී කර වීමට ප්‍රථමයෙන් විශේෂ පුහුණුවක් සඳහා ශ්‍රී ලංකා පිරිමි සහ කාන්තා කණ්ඩායම් ඉන්දියාවේ චෙන්නායි නගරය කරා පිටත් කර යැවීමට ශ්‍රී ලංකා හොකී සම්මේලනය පියවර ගෙන තිබේ.

ඊට හේතු වන්නේ මෙරට කොළඹ සහ මාතලේ පිහිටි කෘත්‍රිම ක්‍රීඩාංගණ ද්විත්වයම යහපත් ක්‍රීඩාවක නිරත වීමට තරම් හොඳ තත්ත්වයකින් යුක්ත නොවීම බව වාර්තා වේ.

advertistmentadvertistment
advertistmentadvertistment