සැබෑ කම්කරු දිනයක් වේවා

72
සැබෑ කම්කරු දිනයක් වේවා

රට වටා ප්‍රධාන මැයි රැලි 40ක්

කොළඹ මැයි රැලි 10ක්

සැමරුම් උත්සව 19ක්

රනිල්-සජිත් රැලි දෙකකට

ආරක්‍ෂාවට පොලිසියේ 10,000ක්

පොලිසියෙන් ඩ්‍රෝන කැමරා

රනිල් – මාලිගාවත්තේ

සජිත් – චැතැම් වීදියේ

අනුර – කන්නන්ගර මාවතේ

විමල් – කිරුළපන

මාලිමාවෙන් යාපනය, අනුරාධපුරය හා

මාතරදීත් රැලි

1886 මැයි 01 වැනිදා ඇමෙරිකාවේ චිකාගෝ නුවර මෝටර් රථ නිෂ්පාදනයේ යෙදුණු කම්කරුවන් පැය 08ක වැඩ දිනයක් ඉල්ලා සිදුකළ වැඩ වර්ජනයේදී කම්කරුවන් හතර දෙනෙකු ඝාතනයවී පිරිසක් තුවාල ලැබීමෙන් පසු ආරම්භවූ ජාත්‍යන්තර කම්කරු දින සැමරුම අද (01දා) ට යෙදී තිබේ.

134 වැනි වරට අද (01දා) පැවැත්වෙන කම්කරු සැමරුම් උත්සවයන් උත්කර්ෂවත්ව හා අභිමානවත්ව සැමරීම සඳහා ශ්‍රී ලංකාව ඇතුළු ලෝකයේ වැඩ කරන ජනතාව අද (01දා) සැදී පැහැදී සිටිති. කොළඹ ප්‍රධාන රැලි 10ක් පැවැත්වෙන බව කොළඹ මහ නගර සභාවේ කොමසාරිස් භද්‍රානි ජයවර්ධන මහත්මිය පැවැසුවාය.

ජාත්‍යන්තර කම්කරු දිනය නිමිත්තෙන් මැයි දින පෙළපාළි සහ රැලි 40ක් දිවයින පුරා සංවිධානය කර තිබෙන බවත් මැයි දින සැමරුම් උත්සව 19ක් පැවැත්වෙන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා පවසයි.

කොළඹ ප්‍රදේශයේ පැවැත්වෙන මැයි දින සැමරුම් සඳහා ආරක්‍ෂාවට පොලිස් නිලධාරීන් 10,000 දෙනා යොදවා ඇත. රථවාහන රාජකාරි සඳහා පොලිස් නිලධාරීන් 1300 දෙනකු යොදවා ඇති බවද ඒ මහතා පවසයි.

පෙළපාළි සහ රැස්වීම් පැවැත්වන කාලයේදී ඒ අවට මාර්ගවල රථ වාහන තදබදයක් ඇති විය හැකි නිසා එම ස්ථාන මගහැර වෙනත් විකල්ප මාර්ග භාවිතා කරන ලෙසද පොලිසිය රියැදුරන්ගෙන් ඉල්ලා සිටී.

පිට පළාත්වල පැවැත්වෙන පෙළපාළි සහ රැස්වීම් සම්බන්ධයෙන් සුදුසු පරිදි අවශ්‍ය කටයුතු සිදුකරන ලෙසට පළාත් භාර නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට සහ දිසා භාර නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට මෙන්ම කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන්ට පොලිස් මූලස්ථානය විසින් මේ වන විටත් අවශ්‍ය උපදෙස් හා නියෝග ලබාදී ඇති බවද ඒ මහතා පවසයි.

එක්සත් ජාතික පක්‍ෂය පෙළපාළියක් නොපවත්වන අතර රැලිය කොළඹ පී.ඩී. සිරිසේන ක්‍රීඩාංගණය ඉදිරිපිට එ.ජා.ප. නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත් වේ.

ශ්‍රී ලංකා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පොදුජන පෙරමුණ කැම්බල් ක්‍රීඩාංගණයේදී ද, සමගි ජනබලවේගය එහි නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පහළ චැතැම් වීදියේද, මැයි රැලි පවත්වති. ජාතික ජනබලවේගය කොළඹ හැව්ලොක් පාර තුම්මුල්ල සිට පෙළපාළියකින් පැමිණ එහි නායක අනුර කුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් කන්නන්ගර මාවතේ උපාලි හෝටලය ඉදිරිපිටදී ඔවුන්ගේ රැලිය පවත්වයි. පෙරටුගාමී සමාජවාදී පක්‍ෂය එහි ලේකම් කුමාර ගුණරත්නම් සහ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් වයිට් පාර්ක් පිටිය අසලින් පෙළපාළිය ආරම්භ කර හයිඩ්පාර්ක් ක්‍රීඩාංගණයේදී රැලිය පවත්වයි.

නිදහස් වෙළෙඳ කලාප පොදු සේවක සංගමය හා ලංකා වෙළෙඳ කාර්මික පොදු සේවක සංගමය ලිබර්ටි වටරවුමෙන් පෙළපාළිය ආරම්භ කර විහාරමහා දේවි එළිමහන් රංග පීඨයේදී ද ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්‍ෂය ශාලිකා පිටියේ සිට පෙළපාළියෙන් පැමිණ කිරුළපන ලලිත් ඇතුලත් මුදලි ක්‍රීඩාංගණයේදී මැයි රැලි පවත්වති.

ලංකා බැංකු සේවක සංගමය සහ එක්සත් කම්කරු සම්මේලනය චිත්තම්පලම් ඒ ගාඩ්නර් මාවතේ සිට පෙළපාළියකින් පැමිණ ස්ටැන්ලි ජෑන්ස් ක්‍රීඩාංගණයේදී (මැටි පාර්ක්), එක්සත් සමාජවාදී පක්‍ෂය ඔරුගොඩවත්ත හංදිය සිට පෙළපාළියකින් පැමිණ කොස්ගස් හංදිය තොරණ ඉදිකරන ස්ථානයේදී රැලි පවත්වයි. වෘත්තීය සමිති හා සිවිල් සංවිධාන එකමුතුවෙන් නව නගර ශාලාවේදීද, ජනමිත්‍ර මහජන පක්‍ෂය කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදීද, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා කොංග්‍රසය කොළඹ ජින්තුපිටිය නීතිරාජා උත්සව ශාලාවේදීද, ක්‍රිස්තියානු කම්කරු සහෝදරත්වය කොල්ලුපිටිය ශාන්ත මයිකල් දේවස්ථානයේ සිට පෙළපාළියකින් පැමිණ කොල්ලුපිටිය ශාන්ත මයිකල් දේවස්ථානයේදීද, ලංකා සමසමාජ පක්ෂය දෙල්කඳ හංදිය සිට පෙළපාළියකින් පැමිණ නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංගපීඨයේදීද මැයි රැලි පවත්වයි.

කොළඹට අමතරව ජාතික ජන බලවේගය අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේදී ද, යාපනය කන්දයිවෙල්මා ශ්‍රවණාගාරයේදීද, මාතර වෙරළබඩ උද්‍යානයේද මැයි දින උත්සව පවත්වයි. ප්‍රජාතන්ත්‍රවාදී තමිල් ජාතික සංවිධානය යාපනය මනිපායි ප්‍රාදේශීය සභා ගොඩනැගිල්ලේ මැයි දින උත්සවය පවත්වයි.

ලංකා කම්කරු කොංග්‍රසය නුවරඑළිය කොටගල නගර සභා ක්‍රීඩාංගණයේදී මැයි රැලි උත්සව පවත්වයි. මෙම මැයි රැලි හා උත්සව සඳහා අවසරයකින් තොර ඩ්‍රෝන කැමරා භාවිතා කිරීමට ඉඩ නොදෙයි. එසේ වුවද නිරීක්‍ෂණ සඳහා පොලිසිය ඩ්‍රෝන කැමරාද යොදා ගැනීමට නියමිතය.

ජාත්‍යන්තර කම්කරු දිනය නිමිත්තෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලංකා කම්කරු කොංග්‍රසයේ පෙරවරු 10.00 කොටගල පැවැත්වෙන උත්සවයට සහ සවස 2.00 ට කොළඹ මාලිගාවත්ත උත්සවයට සහභාගිවීමට නියමිතය.

ජාතික කම්කරු සංගමයේ සහ පෙරමුණේ මැයි දින පෙළපාළිය සහ රැලිය අද (01දා) තලවකැලේ නගර සභා ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

මෙම රැලියේ විශේෂ ආරාධිතයන් ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග මහතා සහභාගිවීමට නියමිත බව ජාතික කම්කරු සංගමයේ සහ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි තිගාම්බරම් මහතා ‘දිවයින’ ට ඊයේ (30දා) පැවැසීය.

උත්තර ලංකා සභාගයේ එක්සත් මැයි රැලිය අද සවස 2.00 කිරුළපන ලලිත් ඇතුළත්මුදලි ක්‍රීඩාපිටියේදී පැවැත්වේ. එහි සභාපති විමල් වීරවංශ, උදය ගම්මන්පිල, අතුරලියේ රතන හිමි, ගෙවිඳු කුමාරතුංග ඇතුළු පක්‍ෂ නායකයෝ පිරිසක් ඊට එක්වෙති.

චමින්ද සිල්වා, නෝමන් පලිහවඩන හා සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment