දේශපාලන සැරසිල්ලක් වූ මැයි දිනය !

153

අද ලෝක කම්කරු දිනයයි. ලොව පුරා විසිරී සිටින කම්කරුවන් විසින් දීර්ඝ ඉතිහාසයක් මුළුල්ලේ සිහිපත් කරනු ලබන කම්කරු අරගල, කම්කරුවන්ගේ ශක්තිය සංකේතවත් කරනු ලබන විශිෂ්ට සැමරුම ලෙස මෙම කම්කරු දිනය පිළිගනු ලැබේ. මැයි දිනය ලෙස අද වනවිට, වහරට එක්ව තිබෙන මේ කම්කරු දිනයෙහි සමාරම්භය වැඩ කරන ජනතාවගේ රුධිරයෙන්ම රත්පැහැ ගැන්වුණු බවත් එයින් ලද පන්නරය මානව වර්ගයාගේ හිමිකම් පිළිබඳ අරගලයත් සංකේතවත් කරන්නක් බවද ප්‍රකටය. ඒ ලෝක කම්කරු දිනයෙහි ඉතිහාසය 1886 මැයි මාසය තෙක් ඇදී යයි. ඇමෙරිකාවේ සුප්‍රකට හේමාර්කට් චතුරස්‍රයේදී කම්කරුවන් විසින් පැය අටක වැඩ මුරයක් ඉල්ලා දියත් කරන ලද විරෝධතාව නිර්දය ලෙස මර්දනය කර කම්කරුවන් නව දෙනකුගේ ජීවිත ද අහිමි කළ ඛේදවාචකයක් ලෙස ඒ පිළිබඳව සටහන් වී තිබේ. පාලකයන් විසින් ඉතිහාසය මුළුල්ලේම මර්දනයත් තම ආණ්ඩුවල පැවැත්මත් තහවුරු කර ගැනීම සඳහා පොලිසිය යොදාගනු ලබන ආකාරය ගැන ද මෙහිදී සිහිපත් වේ. කුමක් වුවත් ලෝක කම්කරු ප්‍රජාවගේම විජයග්‍රාහී සැමරුම් අලුත් කරන කම්කරු දිනයෙහි වර්තමාන භූමිකාව කුමක් ද යන ප්‍රශ්නය වඩාත් අවධානයට යොමුවිය යුත්තකි.

ලංකාව සම්බන්ධයෙන් බලනවිට මහජන උද්ඝෝෂණ, පාලකයන්ට එරෙහි වූ විරෝධතා නිදහස ලැබීමට පෙර ඈත ඉතිහාසය තෙක්ම දැකගත හැකිය. මෙරටේ වාමාංශික ව්‍යාපාරයෙහි ආරම්භය 1935දීය. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී පාලනයකට යටත්ව තිබුණු ලංකාව ඒ වනවිට රුසියාවේ නව සමාජ විප්ලවයක සුබ ආරංචියෙන් ප්‍රමුදිතව සිටි යුගයක් ද වේ. අධිරාජ්‍ය විරෝධී අරගලයක් එදා නොවුවත් ලංකාවට නිදහස ලබාගත යුතු බව කල්පනා කළ දේශප්‍රේමී හඬක් ද දුබලව හෝ ඇසෙමින් තිබුණි. 1920දී මෙරටේ ආරම්භ වූ ට්‍රැම් රථ රියැදුරන්ගේ වැඩ වර්ජනයක් සාර්ථක වූ බවට වාර්තාවක් ද වේ. එම වර්ජනය මෙහෙයවන ලද්දේ එවක ලංකා කම්කරු සංගමයේ නායකයාව සිටි ඒ.ඊ. ගුණසිංහ විසිනි. එහෙත් එය වෘත්තීය සංවිධානයක් නොවීය. කුමක් වුවත් එදා බ්‍රිතාන්‍ය පාලකයන්ගේ මර්දනයට අභීතව මුහුණ දීමට එම වර්ජකයෝ සමත් වූහ.

1929 ජූලි 20 වැනි දා ටවර් හෝල්හිදී පවත්වන ලද කම්කරු එක්සත් මහා සංගමයට කම්කරුවන් හය දහසකට අධික පිරිසක් එක්ව සිටි පුවතක් ද ඉතිහාසයේ සඳහන් වේ. එම සභාවේ සභාපති ලෙස එදින ඒ වනවිට දේශපාලන භූමියේ සිටි ඇස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක පත්වූ බවද දැක්වේ. එපමණක් නොව, නවසිය හතළිහේදී උඩරට වතුකරය පුරා ඇවිළී ගිය විරෝධතාවකට එවක වැවිලිකරුවකු ලෙස සිටි බ්රේස් ගර්ඩල් සම්බන්ධ වූ බවද සඳහන් වේ. ඔහු සම සමාජ දේශපාලනය සමඟ සම්බන්ධ වූ නිසාත් බ්‍රිතාන්‍ය පාලනයට එරෙහිව රතු කොඩි එසවීම නිසාත් රටින් පිටුවහල් කිරීමට නියෝග කර තිබුණි. බණ්ඩාරනායක එම තීන්දුවට එරෙහිව සම සමාජ පක්ෂයේ මන්ත්‍රීවරුන් සමඟ සිට ගැනීම ද සුවිශේෂ සිද්ධියක් විය. මෙබඳු ජනතා නැඟිටීම් සිදුවුවත් මෙරටේ බිහි වූ ප්‍රථම කම්කරු සංවිධානය ලෙස පිළිගනු ලබන්නේ සම සමාජ පක්ෂය විසින් වැල්ලවත්ත රෙදි මෝලේ කම්කරුවන් ඒකරාශි කරමින් පිහිටුවන ලද වෘත්තීය සමිතියකි. පසුව සම සමාජ පක්ෂය මැදිහත් වී බෝගල පතල් කම්කරුවන් එකතු කරමින් ද වෘත්තීය සමිතියක් ආරම්භ කර ඇත. මෙයින් පෙනී යන්නේ මෙරටේ කම්කරුවන් සංවිධානය කිරීම වාමාංශික දේශපාලනඥයන්ගේ අරමුණ වූ බවය. එසේම ඒ අයුරින් වමේ දේශපාලනය වර්ධනය වෙද්දීම සම සමාජ පක්ෂය සමඟ ඇති වූ න්‍යායාත්මක ගැටුමක් නිසා ඉන් ඉවත් වූ පිරිසක් කොමියුනිස්ට් පක්ෂය ආරම්භ කළ බවද කියයි. එයට දොස්තර ඇස්.ඒ. වික්‍රමසිංහ හා පීටර් කෙනමන් නායකත්වය දුන්හ.

අප මෙහිදී සැකෙවින් දැක්වූයේ ලංකාවේ කම්කරු ව්‍යාපාරයේ මුල් යුගය හා බැඳුණු සිදුවීම් කිහිපයකි. එසේම මෙරටේ පාලකයන් ඒ වෘත්තීය සංගම් දෙස දැඩි කුතුහලයකින් සිටි බවත් මොන ක්‍රමයකින් හෝ ඒවා මර්දනය කිරීමට පියවර ගත් බවත් ඉතා පැහැදිලිය. 1947දී සම සමාජ පක්ෂයේ මූලිකත්වයෙන් දියත් කළ මහා වර්ජනයේදී කන්දසාමි නමැති ලිපිකරුවෙක් පොලිස් වෙඩි පහරකින් මියගොස් ඇත. කුමක් වුවත් සම සමාජය ප්‍රමුඛ වමේ නායකයන්ගේ වෘත්තීය අරගල එදා කම්කරු ශක්තිය විදහා දැක්වීමට පමණක් නොව, යටත් විජිත පාලකයන් භීතියට පත් කිරීමට ද හේතු වූ බව නිසැකය. මෙරටේ කම්කරුවන්ගේ මෙන්ම වාමාංශික දේශපාලනයේ ද ප්‍රබල කඩයිමක් ලෙස හැඳින්විය හැකි විජයග්‍රාහී සිදුවීම 1953දී ඇති වූ හර්තාලය බව නිසැකය. 1952 අගමැති ලෙස සිටි ඩඩ්ලි සේනානායකගේ (ඔහු සිය පියා වූ ඩී.ඇස්.ගේ හදිසි අභාවය නිසා ඔහු අගමැති විය.) පාලනයට එරෙහිව නැඟුණු ජනතා විරෝධය එයින් සංකේතවත් විය. වමේ නායකයන් සමඟ විරුද්ධ පක්ෂ නායකයා ලෙස සිටි ඇස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක ද මේ සටනට එක්වීම සුවිශේෂ සිදුවීමකි.

මෙය ඓතිහාසික කම්කරු සටනක් වූ අතර විවිධ ආයතනවල සේවකයෝ ද මෙයට එක්වී සිටියහ. මුළු රටේම සියලු කටයුතු ඇනහිටියේය. මහාමාර්ගවල ළිප් බැඳ රොටි පුච්චා ගත් අතර දුම්රිය, බස්රිය, වරාය, රෝහල්, කම්හල් සියල්ල වැඩ වර්ජනයට එක්වූහ. එවක සිටි එ.ජා.ප. ආණ්ඩුව ඒ වර්ජනයට දැක්වූ ප්‍රතිචාරය දැඩි හා බිහිසුණු එකක් විය. පොලිසිය වෙඩි තැබූ අතර කම්කරුවෝ අට දෙනෙක්ම මරු මුවට පත්වූහ. 1953 සැප්තැම්බර් 01 වැනි දා එවක විපක්ෂ නායකයා ලෙස සිටි බණ්ඩාරනායක, මෙම හර්තාලය මර්දනය කිරීම සඳහා පාලකයන් ක්‍රියා කළ ආකාරය නිර්දය හා ප්‍රචණ්ඩ ප්‍රතිචාරවලින් පිරී ඇතැයි චෝදනා කරමින් රජයට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ද ඉදිරිපත් කර ඇත. රාජ්‍ය බලය, හදිසි නීතිය, සමූහ ලෙස අත්අඩංගුවට ගැනීම්, යුද හමුදාව කැඳවීම, ඇඳිරි නීතිය පැනවීම, හදිසි හා අනීතික සෝදිසි කිරීම්, විපක්ෂවලට බිය දැනවීම් එදා එජාප පාලකයන්ගේ මර්දන මෙහෙයුම්වල අඩංගු වූ බවද සඳහන් විය. මෙම චෝදනා මෙන්ම ජනතා විරෝධය නිසා ඒ වනවිට අගමැතිව සිටි ඩඩ්ලි සේනානායක ඉල්ලා අස්වූ බවද දැක්වේ. මේ අස්වීම දේශපාලනිකව විවේචනය කළ බහුතරයක්ම ප්‍රකාශ කළේ හර්තාලයට බියෙන් ඩඩ්ලි ගෙදර ගිය බවය. එසේ වුවද ඩඩ්ලි පුවත්පත්වලට ප්‍රකාශ කර තිබුණේ ‘මෙම හර්තාලය මෙම දිවයින පාරම්පරික ජන්මභූමිය කොටගත් අහිංසක සහෝදර පිරිසක් වෙඩි පහරවලට ගොදුරුව මේ බිමේ තණපත් සිපගෙන මැරුණාහ’ යනුවෙනි. එසේම ඒ සිදුවීම නිසා ඇති වූ විවාදයත් තම කම්පනය තීව්‍ර කළ බව පැවසීමට ද ඩඩ්ලි අවංක විය. තමන්ගේ අඩුපාඩු වෙනත් අයකුට භාර කළ නොහැකි නිසා රටට අලුත් අගමැතිවරයකු තෝරා ගැනීමට ඉඩදී ඉල්ලා අස්වන බවද ඔහු කියා තිබුණි.

මෙය අප සඳහන් කළේ එදා තිබුණු දේශපාලනයේ ගෞරවනීය විලාසයත් මහත්වරුන්ගේ ප්‍රතිචාරත් පෙන්වා දීමටය. එමෙන්ම එදා මෙරටේ ශක්තිමත් කම්කරු ව්‍යාපාරයක් තිබුණු බවද පෙනේ. බණ්ඩාරනායකගේ පනස් හයේ ජයග්‍රහණයට මඟ පෙන්වූ පංචමහා බලවේගයේ එක් කුලුනක් වූයේද කම්කරුවන් බව පැහැදිලිය. සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු බලයෙන් සිදුවූ දේශපාලන ව්‍යාපාරයට අද සිදුව ඇත්තේ කුමක්ද යන්න වෙනම විමසා බැලිය යුත්තකි. බණ්ඩාරනායක පාලනයේදී ඒ ජනතා කොටස් සඳහා යම් යම් සාධනීය දේවල් ද ඉටු වී ඇත. කම්කරුවන්ට මැයි දින නිවාඩුව ලබාදුන් අතර සේවක අර්ථසාධක අරමුදල පිහිටුවීම ද ඒවා අතර කැපීපෙනෙන ජනතාවාදී පියවර බව නිසැකය. කම්කරුවන්ට වන්දි ලබාදීමේ නීතිරීති ද සම්මත කර ඇත. කම්කරුවන්ගේ අයිතීන් රැකදීමත්, ඔවුන්ට එරෙහිව භාවිත වන ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනි වූ සියලු ක්‍රියාකාරකම් අහෝසි කරන බවටත් බණ්ඩාරනායක ප්‍රතිඥා දී තිබුණි. වෘත්තීය සමිතිවල අයිතිය පිළිගැනීමට ද ලක්විය. ඉන් සමහරක් ඉටු වී ඇත.

ඉහත දක්වන ලද්දේ මෙරටේ කම්කරු ව්‍යාපාරයේ සමාරම්භය, එය මුහුණ දුන් තර්ජන ගර්ජන මෙන්ම ඒ සමඟ බැඳී තිබුණු දේශපාලනය පිළිබඳ ඉතා සංක්ෂිප්ත තොරතුරු ස්වල්පයකි. එහි අභිමානවත් ඉතිහාසයට අද සිදුවී ඇත්තේ කුමක්ද? එය ලිපියකින් නොව, පොතකින් විස්තර කළ යුතු පුළුල් ප්‍රශ්නයකි. එහෙත් පොදුවේ අපට කිව හැක්කේ කම්කරු ව්‍යාපාරය දේශපාලන කෙමනක් බවට පත්ව එහි හරය පිරිහී ගිය බවය. එය ක්‍රමානුකූලව සිදුවූ අතර මේ වනවිට මැයි දිනය හුදු දේශපාලන පක්ෂවල සැරසිල්ලක් බවට පත්ව තිබෙන බවද අපගේ අදහසය. කම්කරු ව්‍යපාරය දේශපාලන බලය උරගා බලන හා පක්ෂවල ශක්තිය පිළිබිඹු කරන්නක් ලෙස අද පත්ව තිබේ. වමේ නායකයන්ගේ දුබලතා පමණක් නොව, වෘත්තීය සංගම්වල ඇතැම් අය බිළි බා ගැනීම, ඔවුන්ට වරදාන ලබාදීම ආදිය ද මේ ගෞරවනීය මෙහෙයුම විනාශය කරා යෑමට හේතු විය. වමේ පක්ෂවලට සීමා වූ වෘත්තීය සමිති පසුව දක්ෂිණාංශික එජාපයට මෙන්ම ශ්‍රීලනිපයට පක්ෂපාතීව වෙන වෙනම බිහිවීම ද මේ පරිහානිය ඉක්මන් කළ බවට සමහරු දක්වති. එජාපයට අයත් ජාතික සේවක සංගමයට මේ සම්බන්ධයෙන් අධි චෝදනා පත්‍රයක් ද ඉදිරිපත් විය. බලයට පත්වන ආණ්ඩුවලට වෘත්තීය සමිති එක් කිරීමේ දුර්විපාක අපට අද දැකගත හැකිය. වර්ජන කඩාකප්පල් කිරීම හා පාවාදීම් පිළිබඳ තිබෙන තොරතුරු බොහෝය. අප ඒවා වෙත යොමු නොවූවත් එක් දෙයක් පැහැදිලිව කිව යුතුය. ඒ වෘත්තීය අයිතිය හා වැඩකරන ජනතාව යනු, ඒ ඒ දේශපාලනඥයන්ගේ කාර්යසාධනය උදෙසා භාවිත වූ ආකාරයයි. අතැම් වෘත්තීය සමිති නායකයෝ පක්ෂවල අනුගාමිකයන් මෙන්ම ඒවායේ රැකවලුන් බවට ද පත්ව සිටිති. ඒ වෙනුවෙන් ප්‍රතිලාභ හා වරදාන ද ඔවුහු ලබති.

දේශපාලන සැරසිල්ලක් වූ මැයි දිනය !

වෘත්තීය අරගල දේශපාලනඥයන් අතට පත්වීමත් සමඟම ඒවායේ තිබුණු අධිෂ්ඨානශීලි බව මෙන්ම අරගල, විරෝධතා ආදිය ද දියාරු ස්වරූපයක් ගෙන ඇත. එයට එක් හේතුවක් වන්නේද වෘත්තීය සංවිධාන නායකත්වය මුළුමනින්ම දේශපාලනීකරණය වීමය. වෘත්තීය සංගම්වල නායකයෝ තනතුරු වරප්‍රසාද ලබාගනිද්දී ඔවුන්ට එරෙහි වූ තවත් වෘත්තීය සංවිධාන ද දැකගත හැකිවිය. හැත්තෑ හතෙන් පසු වමේ නායකයන්ට අත්වූ පරාජය ද මේ වෘත්තීය ව්‍යාපාරය ඉදිරියට ගෙන යෑමට බාධාවක් විය. වෘත්තීය අභිලාෂයන් පසුපසට තල්ලු වී පාලකයන් සමඟ එක්ව කුමක් හෝ ලබාගන්නා දුර්වල තැනකට වෘත්තීය සංවිධාන ද පත්විය. මේ වනවිට වෘත්තීය සංවිධාන ඒකාබද්ධව වර්ජන හා අරගල සිදුකිරීමේ ප්‍රවණතාවක් තිබුණත් ඒවා ආණ්ඩුවල ප්‍රබල අවධානයකට යොමු වීමක් ද නැත. අනෙක මේ වනවිට කම්කරුවන් ලෙස හැඳින්විය හැකි පිරිසක් හෝ පන්තියක් ද නැත. හැම දේශපාලන පක්ෂයකටම අයත් වෘත්තීය සංවිධානයක් තිබීම ද අද දැකගත හැකිය. පාලකයන්ට ඒවායේ නායකයන් නයාට අඳු කොළ මෙන්ය. වෘත්තීය සංවිධාන, ඒවායේ නායකයන් මර්දනය ආණ්ඩුවල පිළිවෙත බවට ද පත්ව තිබේ. ඒවා අතර ගොවි – කම්කරු ලෙස හැඳින්විය හැකි පිරිස් වෙත් නම්, ඉතා අඩුවෙනි. ධනපතියන් ලෙස හැඳින්වූ පන්තිය සම්බන්ධයෙන් වුවද ඇත්තේ සංකීර්ණත්වයකි. විශේෂයෙන් 56 හා 70 දශකවල සිටි ප්‍රභූවරුන් පසු බැස සිටින අතර දේශපාලනය නිසා සමාජ මතු මහලෙහි වැජඹෙන නවපන්නයේ ධනවතුන් පිරිසක් අද සිටිති. ආචාර්ය ගුණදාස අමරසේකරට අනුව විවෘත ආර්ථිකයේ ප්‍රතිලාභ නෙළා ගත් කසළ වෙළෙඳ සිටුවරුන් පිරිසක් අද බිහිව සිටිති. දූෂණ, වංචා පමණක් නොව අපරාධ ඉහවහා ගිය අධම සමාජයක් අද බිහිවෙමින් පවතී.

ඇත්ත වශයෙන්ම අද වැඩකරන ජනතාව ලෙස හැඳින්විය හැකි එකම පිරිස වතු කම්කරුවන් පමණි. වතු පාලකයන්ගේ අමානුෂික පීඩන අද අඩු වී තිබිය හැකිය. වතුකරයේ එවක තිබුණු සටන් ද අද දැකගත නොහැකිය. ගෝවින්දන් වැනි වතු කම්කරුවන් ගෙනගිය අරගල අද නිෂ්ක්‍රීය වී තිබෙන්නේ ද දේශපාලනය නිසාය. අප ඉහතදී සඳහන් කළ බ්‍රෙස්ගර්ඩල් සිද්ධිය මෙන්ම ගෝවින්දන් ජීවිතයෙන් වන්දි ගෙවූ ‘මුල්ඔය වතු සටන’ ගැන අද කීදෙනෙක් දනිත්ද? අද වතුකරයට ඇස ගසා සිටින අයගේ එකම අරමුණ ඒ ජනතාවගේ ඡන්දය ලබාගැනීම පමණි. තොන්ඩමන්ගේ දේශපාලනය අදත් ඔහුගේ පසු පරපුරවල උරුමයක් ලෙස තිබෙනු පෙනේ.

මෙවන් පසුබිමක මැයි දිනයක් ගැන කිව හැක්කේ කුමක්ද? මැයි දිනය අඳෝමැයි! ලෙස එහි ජීව ගුණය දියකර හරිමින් තිබෙන ව්‍යාජයක් පමණි. රතු මැයි රැලි ගැන එදා ඇසුණි. ‘සාදුකින් පෙළෙනවුන් දැන් ඉතින් නැඟිටියව්’ වැනි කම්කරු ගී වෙනුවට අද ඇතැම් මැයි පෙළපාළිවලින් ඇසෙන්නේ බයිලා හෝ වෙනත් ගීත බව රහසක් නොවේ. කොළඹ වීදි විචිත්‍ර කළ ඒ මැයි පෙළපාළි අද නැත. ජනතා සටන්කාමිත්වය දුබල කරමින් මැයි වේදිකාව ගීත සංදර්ශනයක් කළේ එජාප නායකයන්ය. භාරත ගායන තරු පවා එදා මෙරටට රැගෙන ආ බව අපට මතකය. එජාපයේ එම ප්‍රතිචාරය එදාත් විවේචනයට ලක්විය. මැයි දිනය බජව්වක් ලෙස අවමානයට පත් කළ බවට චෝදනාවක් ද නැඟුණි. එහෙත් ඒ මැයි බජව් සඳහා ජනතාව රොක් වූ බවද කිව යුතුය. අසූව දශකයෙහි ජවිපෙ රෝහණ විජේවීර ප්‍රමුඛ නායකයන් සහභාගි වූ මැයි පෙළපාළියක් දුටු එවක පාලකයා වූ ජේ.ආර්. ජයවර්ධන තැතිගත් බවක් ද කියති. 1987 මැයි දින තහනමක් ද සිදුවිය. ඒවා නොතකා මැයි පෙළපාළි සිදුවීම මෙන්ම කීපදෙනකුට ජීවිතවලින් වන්දි ගෙවීමට ද සිදුවිය. ජයවර්ධන පාලන සමයෙහි මැයි දිනයකදී සෝමපාල නම් අයෙක් දිවි පිදූ ශෝකීය පුවත ද ඉමහත් ආන්දෝලනයකට තුඩු දුන්නකි. කොහොමටත් මැයි දිනය දෙස එජාප පාලකයන් බොහෝවිට බලා ඇත්තේ පහන් සිතකින් නොවන බවද පෙනී යයි.

අද මැයි දිනය පවත්වනු ලබන්නේ සමස්ත දේශපාලනයම කුණු වී තිබෙන පසුබිමකය. එජාපයට අනුව ඔවුන්ගේ මැයි දිනය ජනාධිපති රනිල්ට උපහාරයකි. ‘රනිල්ට ඉඩ දෙමු’ යන තේමාවෙන් යුතු යතුරුපැදි පෙළපාළියක් ද එජපය සූදානම් කර තිබේ. ඔවුන්ගේ මැයි රැලිය මාලිගාවත්තේ පැවැත්වෙන අතර පොහොට්ටුව කැම්බල් පිටියේ වෙනම මැයි දිනය සමරයි. සජබ මැයි රැලිය ද කොළඹය. ජවිපෙ මැයි රැලි 4ක් සූදානම් කර ඇත. මේ වනවිට දෙපළු වී තිබෙන ශ්‍රීලනිපයේ පිරිසක් ගම්පහදී මැයි රැලියක් පැවැත්වීම ද විශේෂත්වයකි. අද ශ්‍රීලනිපය නඩු භාණ්ඩයකි. වැඩබලන සභාපති හා ලේකම් ද වාරණයකට යටත්ව සිටිති. චන්ද්‍රිකා කුමාරතුංග විසින් ශ්‍රීලනිපය අර්බුදයකට ඇද දමනු ලැබ ඇතැයි පිරිසක් චෝදනා කළත් ඇය මාධ්‍ය හමුවකදී පැවසුවේ තමන්ගේ අරමුණ පක්ෂය නඟාසිටුවීම බවය.

මෙවර මැයි දිනය මෙරටේ අතිශය තීරණාත්මක ජනාධිපතිවරණයකට පෙර නැතහොත් ජනාධිපති ඡන්දයක් කටේ තබාගෙන පැවැත්වෙන්නකි. ඒ නිසාම මේ මැයි දිනය ඒ ඒ පක්ෂවල විශේෂයෙන් එජාප, ජාජබ හා සජබ මහජන සහභාගිත්වය විදහාපාන ජනබලය ප්‍රදර්ශනය කරනු ලබන අවස්ථාවක් ද වනු ඇත. ඒ සඳහා කෙබඳු ධන සම්භාරයක් – මිනිස් සම්පතක් යොදා ගනු ඇද්ද? කුමක් වුවත් මහජන ගංගාවක් තමන් සමඟ සිටින බව රටටත් ලොවටත් පවසන මේ දේශපාලනය ගැන කුමක් කිව හැකිද? ඉහත සඳහන් කළ පරිදිම මැයි දිනය – අඳෝමැයි කීම හැර වෙනත් අදහසක් තිබිය හැකිද?

ගාමිණි සුමනසේකර

advertistmentadvertistment
advertistmentadvertistment