තොරොම්බොල් නොකළ යුතු වතුකම්කරු වැටුප

327

තවත් කම්කරු දිනයක් නිමාවී තිබේ. කම්කරුවන්ගේ අයිතිවාසිකම් කෙසේ වෙතත් දේශපාලන පක්‍ෂවල හයිය පෙන්වීම නම් මෙවර මැයි දිනයේදී ද කැපී පෙනුණි. තම තමන්ගේ දේශපාලන කඳවුරුවල බලය පෙන්වීම මෙන්ම අනාගත දේශපාලනය තහවුරු කර ගැනීම මෙවර මැයි රැලිවල ප්‍රමුඛ අරමුණ විය. කම්කරුවන්ගේ අයිතිවාසිකම් තහවුරු කිරීම සඳහා මෙවර මැයි දින රැලිවලදී තබා තිබූ බර ඉතාමත් අඩුය.

කෙසේ වෙතත් මෙවර මැයි දිනයේදී ලැබුණු වඩාත්ම ආකර්ෂණීය පොරොන්දුව ලැබුණේ වතුකම්කරුවන්ටය. වතුකම්කරුවන්ගේ දෛනික වැටුප වන රුපියල් දහස රුපියල් එක්දහස් හත්සීය දක්වා වැඩි කළ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වතුකම්කරුවන්ගේ සහභාගිත්වයෙන් කොටගලදී පැවැති මැයි දින රැලියේදී ප්‍රකාශ කළේය. වතුකම්කරුවෝ මේ සමඟ මහත් උද්දාමයට පත්වූහ. විසිල් ගැසූහ. බල්ටිද ගැසූහ. වතුකම්කරුවන්ගේ පැත්තෙන් බැලූ විට මෙය ඉතාමත් යහපත් සාධනීය යෝජනාවකි.

එහෙත් මහ පොළොව මත පවතින යථාර්ථය තුළ මෙම වැටුප් වැඩි කිරීම සිදුවේද යන්න ගැටලු සහගතය. වතු කම්කරුවන්ගේ යෝජිත නව වැටුප් වැඩිවීම ක්‍රියාත්මක වන දිනය හෝ වැඩිවන වැටුප් ප්‍රමාණය ගැන මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව ලංකා වැවිලි කම්කරුවන්ගේ සංගමය පවසයි. එම සංගමය වැඩිදුරටත් ප්‍රකාශ කරනු ලබන්නේ කම්කරු කොමසාරිස්වරයා නියම කර ඇති කාලසීමාවේදී වැටුප් වැඩිකිරීමේ යෝජනාවට එරෙහිව විරෝධතා ගොනු කිරීමට කටයුතු කරන බවයි. ජනාධිපතිවරයා වතුකම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් අදාළ ප්‍රකාශය කරන අවස්ථාවේදී වැටුප් වැඩිකිරීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගෙන නොතිබූ බවද එම සංගමය මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර තිබිණි.

වතුකම්කරුවන්ගේ වැටුප් වැඩිවීම සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කරන්නේ වතුකම්කරුවන්ගේ වැටුප් වැඩිවීමට පියවර ගන්නා බවට රජය ප්‍රකාශ කළත් එය රැවටීමක් බවයි. වතුකම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීමේදී අදාළ වතු සමාගම් සහ වෘත්තීය සමිති අතර සාමූහික ගිවිසුමක් පවතින බවත් වැටුප් වැඩි කිරීමට අවශ්‍ය නම් එම ගිවිසුමට අනුව වතු සමාගම් සමඟ අනිවාර්යයෙන්ම සාකච්ඡා කළ යුතු බවද කිරිඇල්ල මහතා කියා සිටී.

කවර තත්ත්වයක් යටතේ වුවද වතුකම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීමට කතිකාවක් ඇතිවීම මේ මොහොතේ අනිවාර්යයෙන්ම විය යුත්තකි. මේ වනවිට වතු කම්කරුවාගේ දෛනික වැටුප රුපියල් දහසකි. පවතින ජීවන තත්ත්වය හමුවේ කම්කරුවාට මෙම සොච්චම් වැටුපෙන් ජීවත් වීමට අමාරුය. ලෙඩක් දුකක් හෝ යම්කිසි කරදරයක වැටුණහොත් එදාට ඔහුට වත්තේ වැඩ කිරීමට අවස්ථාව නොලැබේ. එවිට ඔහුගේ දෛනික ආදායම අහිමිවනු ඇත. වත්තේ දවස් 25ක් වැඩ කළා යැයි උපකල්පනය කළද ඔහුට මාසිකව ලැබෙන්නේ රුපියල් 25,000ක් වැනි ආදායමකි. එම මුදලිනුත් ඊ.පී.එෆ්, ඊ.ටී.එෆ්. ඇතුළු අනෙකුත් වියදම් ද කපා හැරුණු විට වතුකම්කරුවාගේ අතට ලැබෙන මුදල ජීවත්වීම සඳහා කිසිසේත් ප්‍රමාණවත් නැත. වතුකම්කරුවාගේ සරල ජීවන පැවැත්ම නිසා ඔවුන්ගේ ජීවිත රැකෙනවා විනා ඔවුන්ගේ කුසට රසමසවුළු ලැබෙන්නේ නැත. අප රටේ වැවිලි ආර්ථිකයට සිය මුළු ජීවිතයම කැප කර සිටින වතු කම්කරුවාගේ සේවය මෙතෙක් කිසිදු රජයක නිසි ඇගැයීමට ලක්වූවා යැයි අප සිතන්නේ නැත. ඔවුන්ට හරිහමන් නිවාස නැත. වැසිකිළි, කැසිකිළි පහසුකම් නැත. වරප්‍රසාද අහිමි ජනතාවක් ලෙස ජීවත් වන වතුකම්කරුවාගේ ජීවිත සුඛිත මුදිත කිරීම සඳහා පක්‍ෂ විපක්‍ෂ භේදයකින් තොරව සියලු දෙනා සහයෝගය දිය යුතුය. ඡන්ද කාලයේදී දේශපාලනඥයන්ගේ විවිධ පොරොන්දු හමුවේ තොරොම්බෝල් වන වතු කම්කරුවාට සැබෑ නිදහසත්, සැබෑ ජීවන තත්ත්වයත්, සැබෑ කම්කරු අයිතිවාසිකම් ලැබෙන දිනය මෙතෙක් උදාවී නොමැත. එළඹෙන මැයි දිනයට පෙර හෝ වතු කම්කරුවාගේ වැටුප් ඇතුළු අනෙකුත් ප්‍රශ්න විසඳෙන්නේ නම් එදිනට ඔවුනට සැබෑ මැයි දිනයක් සැමරීමට අවස්ථාව ලැබෙනු ඇත.

වතුකම්කරුවන්ගේ පඩිපත වැඩි කිරීම සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් දක්නට නැතත් ඉදිරි දිනවලදී හෝ රජය, හාම්පුතුන් සහ වෘත්තීය සමිතිවල එකඟතාවයෙන් ඔවුනට සාධාරණයක් ඉටුවිය යුතුමය. ඔවුනගේ දෑතින් නෙලන තේ දල්ලෙන්, ඔවුනගේ සේවය ලබාදී එක්කාසු කරන රබර් කිරිවලින් අප රටේ ඩොලර් සංචිතයට එකතු වන සෑම ඩොලරයකම ඔවුනගේ දුක් කඳුළු රැඳී ඇති බව පාලකයන් අමතක නොකළ යුතුය.

advertistmentadvertistment
advertistmentadvertistment