රමේෂ්ගේ මන්නය මොට්ට කිරීම

1052

(දේශබන්දුට එය කළ හැකිය)

පුරුද්දට මෙන් මිනී මැරුවේ යැයි කියන, fun එකට මෙන් දාමරිකකම් කෙරුවේ යැයි කියන මන්නා රමේෂ් නමැති පාතාල නායකයා ඉතා බුද්ධිමත් අපරාධකරුවකු බව පෙනේ. ලංකා ඉතිහාසයේ ආයුධ පෙන්වීමට ගිය සියලු දෙනාගේම ඉරණම හරිආකාරව දැන සිටි හෙතෙම පොලිසියෙන් ප්‍රශ්න කිරීමේදී ආයුධ තිබෙන තැන් හරියටම කීවේය. මේ අනුව අවිස්සාවේල්ලේ තිබෙන ඔහුගේ නිවසේ සඟවන ලද අත් බෝම්බයක්, ටී 56 උණ්ඩ 10 ක් සහ යතුරු පැදියක් සොයාගැනීමට පොලිසියට හැකි විය. ඊට අමතරව ටී 56 තුවක්කුවක් සහ පිස්තෝල දෙකක් සැඟවූ තැන් ද ඔහු හෙළිකර තිබේ. ඒවා ද පහසුවෙන්ම අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකිවනවා ඇත. අවිස්සාවේල්ලේ නිවසින් හමු වූ යතුරු පැදිය මනුෂ්‍ය ඝාතන සඳහා අපරාධකරුවන් ප්‍රවාහනය කළ වාහනය විය හැකිය. මේ දේවල් සියල්ල මෙතරම් ඉක්මනින් සොයාගැනීමට ලැබීම පොලිසියේ වාසනාවකි. හැබැයි මෙතැන කිසිම drama එකක් නැත. මාකඳුරේ මධූෂ් වැනි අය ආයුධ පෙන්වීමට ගිය අවස්ථාවලදී ත්‍රාසජනක තත්ත්වයක් මතු විය. ඒ ත්‍රාසජනක තත්ත්වයේදී විපක්ෂයේ දේශපාලනඥයන් හැර අන් කිසිම කෙනෙක් කනගාටුවට පත්වුණේ නැත. මන්නා රමේෂ්ගේ බිරිඳ සාජා නුවර බියුටි පාලර් එකක් පවත්වාගෙන යනු ලැබේ. රත්නපුරේ සහ අවිස්සාවේල්ලේ මැණික් ව්‍යාපාරිකයන්ගෙන් කෝටි ගණන් කප්පම් ගත් රමේෂ්, සිය බිරිය අරාබි ගැහැනුන්ගේ මුහුණවල් පාට කරන අතර කප්පම් මුදල් සාජා නගරයට ගෙන්වාගෙන ඉතා සුඛෝපභෝගී ජීවිතයක් ගත කළේය. රමේෂ්ගේ බිරිඳගේ බියුටි පාලර් එක කළු සල්ලි සුදු කිරීම සඳහා යොදාගත් camouflage එකකි. සියලු දෙනාම මතක තබාගත යුතු වැදගත් කාරණයක් තිබේ. කන්ජිපානි ඉම්රාන්ට ඇප දුන්නාක් මෙන් රමේෂ්ටත් ඇප ලැබුණොත් ඔහු ද වැල්වැටිතුරේ හරහා ඉන්දියාවට ගොස් එතැනින් නැවත වරක් සාජා නගරයට පැන ගන්නවා ඇත. ඇප ලබන භයානක පාතාල අපරාධකරුවන් සියලු දෙනා ඉස්සර කාලයේ කළාක් මෙන් ආයුධ පෙන්වීමට රැගෙන ගිය යුතුම බව අපි යෝජනා කරමු. මෙහිදී හරක් කටා ගැන ද සිහිපත් කරනු ලැබේ.

1977 දී ලෝකයේ හටගත් globalization රැල්ලට මැදිවූ අහිංසක දුප්පත් ශ්‍රී ලංකාව ඉතා ඉක්මනින් සාපරාධී රාජ්‍යයක් බවට පත්විය. ඒ වන විට ලංකාව විවෘත ආර්ථිකයක් බවට පත්ව තිබිණ. මේ සම්බන්ධයෙන් ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිට දොස් කීමට ද අපට නොහැක. ශ්‍රී ලංකාව යනු ස්වාභාවික සම්පත් ඉතාම හිඟ අලුත් ලෝකය සමග උරෙනුර ගැටෙමින් ඉදිරියට යෑමට හැකියාවක් නැති භූමියකි. මෙය කෘෂිකාර්මික රටක් වුවද කුසීත මිනිසුන් ද මී හරක් නිලධාරීන් ද බූරු දේශපාලනඥයන්ද සිටි රටක් වූ බැවින් කෘෂිකර්මයෙන් ඉහළට ඒමට අපට බැරි විය. ඊශ්‍රායලය කොපමණ යුද කරදර තිබුණ ද එළවළු සහ පලතුරු වගාකර පිටරට යවයි. ඊශ්‍රායලයට තිබෙන යුද කරදර අපට තිබෙන්නේ නම් මේ රටේ ජනයා නිතර නිතර භීතියෙන් බඩ බුරුල් කරගෙන වැසිකිළියට යෑමට වැඩි යමක් සිදුවන්නේ නැත. එයට හේතුව කුසීතකම සහ පසුගාමීත්වය මේ රටට උප්පත්තියෙන්ම ලැබී තිබීම ය. කුණු වළකට නිල මැස්සන් පැමිණීම ඉතා සාමාන්‍ය තත්ත්වයකි. ඒ අනුව සමාජ සහ දේශපාලන අඩුලුහුඬුකම් බෙහෙවින් ඇති ශ්‍රී ලංකාව වැනි රටක් තුළ කුලියට මිනී මරන්නන්, කුඩු විකුණන්නන්, හොර සල්ලි අච්චු ගසන්නන් ඇතුළු වෙනත් අපතයන් බිහිවීම වැළැක්වීමට නොහැක. තිබෙන කරදර නැතුවාට අපට තිස් අවුරුදු යුද්ධයකට ද මුහුණ දීමට සිදුවිය. ආණ්ඩුව යුද්ධය වෙත අවධානය යොමුකරමින් එයින් ගසාකද්දී ආරක්ෂක හමුදාව එකා පිට එකා මැරෙමින් නන්නත්තාර වූහ. මෙහිදී සිදු වූයේ අනීතිය බලවත් වීමත් සාපරාධී ජාවාරම්කාරයන් හිස එසවීමත් ය. ඒ අතර බොහෝ අවස්ථාවල පොලිසිය ද පතෝල කරලක් මෙන් ඔහේ තිබිණ. මේ තත්ත්වයට සාපේක්ෂව බලන කල දේශබන්ධුගේ පොලිසිය ඉතා හොඳ ගේමක් play කරන බව පෙනේ. අපරාධවලින් 99% ක්ම පැය 24 ක් තුළ එළිකර ගැනීමට එම පොලිසියට හැකිය. ඒ අතර සාම්ප්‍රදායික අගුණ කිහිපයක් ද එසේම පවතී. උදාහරණයක් වශයෙන් වංචා විමර්ශන අංශයේ නිලධාරීන් තුන්දෙනෙක් පසුගියදා සිවිල් වැසියන් කිහිප දෙනකු ද සමග එක්ව රොබරියක් දීම සඳහන් කළ හැකිය. මෙය වංචා විමර්ශන අංශයේ වරද නොව මනුෂ්‍යත්වයේ වරදය. පොලිසියේ සිටින්නේ ද මිනිස්සු ය. මිනිස්සු වැරදි කරති. ඒවාට එරෙහිව වහා පියවරගත හැකිය. එහෙත් මන්නා රමේෂ්, කන්ජිපානි ඉම්රාන්, මාකඳුරේ මධූෂ් වැන්නවුන් මැද පෙරදිග රටවල සිට රිමෝට් කන්ට්‍රෝල් යොදාගෙන ලංකාවේ අපරාධ මෙහෙයවීම තරම් හානියක් ඒ කිසිවකින් සිදුවන්නේ නැත. ඒ නිසා මන්නා රමේෂ්ගේ මන්නය මොට්ට කිරීමත් කන්ජිපානි ඉම්රාන්ගේ නාසයෙන් ගලන හොටු ටික පිස දමා ඔහු අත්අඩංගුවට ගැනීමත් හරක් කටාගේ කට වෙනත් කවර වර්ගයක හෝ කටක් බවට පත්කර සාපරාධී රහස් අනාවරණය කරගැනීමත් කරගත යුතුව තිබේ. දේශබන්දුගේ පොලිසිය මේ ගේම ගහන බව අපට විශ්වාසය.

advertistmentadvertistment
advertistmentadvertistment