වසන්ත සමරසිංහට සවන් දෙමු

995

දූෂණ විරෝධී හඬ නමැති සංවිධානයේ කැඳවුම්කරු වන ජනතා විමුක්ති පෙරමුණේ වසන්ත සමරසිංහ සාමාන්‍යයෙන් වාමාංශික දේශපාලන වේදිකාවේ දක්නට ලැබෙන වෙනත් දේශපාලන ගිරවුන්ට වඩා වෙනස්ය. ඔහු පසුගිය ටිකේම අවශ්‍ය දේ පමණක් අවශ්‍ය තැනදී කතාකර ඇත. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනකු මිනිස් ජාවාරමක් සිදුකරමින් සිටින බවත් රජයේ තනතුරු දරන පුද්ගලයන් බවට ව්‍යාජ ලෙස හැඳුනුම්පත් සකසා මිනිසුන් රට ගෙන යන බවත් ඔහු කියා තිබේ. ඔහුට අනුව එක මිනිසකු රට පැන්නීම සඳහා අයකරන මුදල රුපියල් ලක්‍ෂ 30 – 45 ත් අතර ගණනකි. මේ සම්බන්ධයෙන් තමා සතුව සාක්‍ෂි ඇති බව ඔහු කියයි. එබැවින් මේ රටේ දේශපාලනඥයන් මේ කතාව සෙල්ලම් ලෙස ගණන් නොගත යුතුය. වසන්ත සමරසිංහ තමන් සන්තකයේ යැයි තිබේ යැයි කියන මිනිස් ජාවාරම් සාක්‍ෂි තොගය එළියට ඇද්දොත් එම කර්මාන්තයේ නිරත උදවියට යන එන මං නැතිවීම ස්ථිරය.

ව්‍යාජ ලිපි ලේඛන සකසා මිනිසුන් රට පැටවීම ඉතා පරණ කතන්දරයකි. මෙය 1980 පසු මුදල් උපයන ජාවාරමක් ලෙස මේ රට තුළ ප්‍රචලිත විය. හොරෙන් රට පනින මිනිහා වඩාත් කැමැති වන්නේ ඇමරිකාව, එංගලන්තය, ප්‍රංශය, ඉතාලිය, ජර්මනිය වැනි රටක් සිය ගමනාන්තය කරගැනීමටය. මේ ගමන එක්කෝ ගුවන් මගින් කළ හැකිය. නැත්නම් බෝට්ටුවෙන් කළ හැකිය. රුපියල් ලක්‍ෂ 40 ක් දුන් විට මාළු බෝට්ටුවක දමාගෙන ගොස් මිනිසුන් ඉතාලියට රිංගවන ඒජන්ට්ලා මේ රටේ බහුලව සිටිති. ඉතාලි ගමන බොහෝවිට පටන් ගන්නේ මීගමුවෙනි. මීගමුව ආශ්‍රිත ධීවර වරායකට එන බහුදින ට්‍රෝලර් යාත්‍රාවක් මේ සඳහා යොදාගනු ලැබේ. බෝට්ටුවෙන් ඉතාලි යෑමට මාසයකට වැඩි කාලයක් ගතවේ. මේ ගමන ඇතැම් විටදී කෙළින්ම ඉතාලියෙන් කෙළවර වන්නේ නැත. රොමේනියාව වැනි රටකට කිට්ටුම වෙරළ තීරයෙන් රට පනින එවුන් බාන බහුදින බෝට්ටු කාරයා ආපසු ලංකාව බලා ගමන් අරඹයි. බෝට්ටුකාරයාගේ ගමනද ජීවිතය සහ මරණය අතර සටනකි. ජාත්‍යන්තර මුහුදු සීමා කිහිපයක් පසුකරන්න වන හෙයින් ඇතැම් විට ඔහුට වෙරළාරක්‍ෂක බෝට්ටුවකින් වෙඩි කන්නට සිදුවේ. තවත් විටෙක එම වෙරළාරක්‍ෂක බෝට්ටුවලට මහ මුහුදේදීම ඩොලර්වලින් පගාවක් දී බේරී යෑමට පුළුවන. බෝට්ටුකාරයා හොරට රට පනින

අයගෙන් ලක්‍ෂ 40 ක් ගන්නේ මෙකී ගාස්තුද ඇතුළත්වය. සමහර විට මෙවැනි බෝට්ටුවකින් වරකට පනස් දෙනකු පමණ පන්නාගෙන යනු ලැබේ. එම මුදලේ මුළු එකතුව රුපියල් කෝටි විස්සකි. දැන් වෙරළට බාන ලද අයට කුමක් සිදුවන්නේ දැයි සොයා බලමු. මේ පිරිස බාර ගැනීමට රුමේනියාවෙන් ඒජන්ට් කෙනෙක් එන අතර ඔහු විසින් දේශසීමාවල සිටින ආරක්‍ෂකයන්ට පගා දී බෝඩරය පන්නා එම පිරිස රුමේනියාවට ඇතුළු කරති. රුමේනියාවට යන කෙනෙකුට ඒ රටේ බෝඩරය පැන ඉතාලියට, ජර්මනියට, ඔස්ටි්‍රයාවට හෝ ප්‍රංශයට පැනගත හැකිය. එහෙත් මේ ගමන ඉතා භයානකය. දේශසීමා ආරක්‍ෂක හමුදාවලට පගාදීමට බැරිවූ විට වෙඩි කන්නට සිදුවේ. හොරට පනින්නේ කාන්තාවන් නම් දේශසීමා ආරක්‍ෂකයන් විසින් ඔවුන් දූෂණය කරනු ලැබේ. මේ දිනවල මේ රටේ ජනයා බහුල වශයෙන් රොමේනියාවේ රැකියාවලට යති. එසේ යන අය දිගින් දිගටම වෙනත් රට වලට පනින්නට පටන් ගත්තොත් ශ්‍රී ලංකාවෙන් ශ්‍රමිකයන් ගෙන්වීම නැවැත්වීමට රුමේනියන් රජය පියවර ගන්නවා ඇත. එබැවින් විදේශ රැකියා නියුක්ති කාර්යාංශය මේ ගැන සැලකිලිමත් විය යුතුය. වීසා නැතිව යුරෝපයට රිංගන හෝ විවිධ තැරැව්කරුවන් විසින් ගෙන ගොස් බාන තරුණියන්ට නිතරම පාහේ සිදුවන්නේ ගණිකාවන් ලෙස සේවය කිරීමටය. මෙවැනි කාන්තාවන් ගණිකා මඩම්වල අයිතිකරුවන්ට අසුවූ විට බරපතළ ලෙස සූරාකෑමට ලක්වේ. එයට හේතුව ඔවුන්ට වීසා නැතිවීමය. තමන් කියන දෙයට අකමැති වුවහොත් තරුණියන් පොලිසියට අල්ලා දෙන බව ගණිකා මඩම් හිමියා කියන අතර හිරේ විලංගුවේ වැටීමට වඩා නිදහසේ සිටීම මැනවයි කල්පනා කරන එම තරුණියෝ ඔහුට එකඟ වෙති.

අප මේ සඳහන් කළේ පුරවැසියන් පිළිබඳව සහ මිනිස් ජාවාරම පිළිබඳව පහළම ස්ථරයේ කතාවයි. ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ රජයේ උසස් නිලධාරීන් කරන ජාවාරම මීට වඩා වෙනස්ය. ඔවුන් පිටරටවලට මිනිසුන් ගෙන ගොස් බාන්නේ මෙරට රජයේ සේවය කරන ඉහළ නිලධාරීන් ලෙස ඇඟවෙන පරිදි ඔවුන්ට නිසි අක්ත පත්‍ර සහ හැඳුනුම්පත් හදාදී ඒ ඔස්සේ සංචාරක වීසා බලපත් ලබාගැනීමෙනි. සංචාරක වීසාවකින් රට යන එකෙකුට තුන් මාසයකට වඩා ඒ රටේ නැවතීමට ඉඩක් නැත. ඒ නිසා ඔවුන් කරන්නේ ඒ රට තුළ ගල්වීමය. එනම් නැවත ශ්‍රී ලංකාවට නොගොස් නැවතීමය. මෙවැනි පුද්ගලයෙක් ගෙන ගොස් බෑම සඳහා අඩුම තරමේ රුපියල් පනස් ලක්‍ෂයක් අය කරනු ලැබේ. ආණ්ඩුවෙන් පිටරට යන ඩෙලිගේෂන් හෙවත් නියෝජිත කණ්ඩායම්වලට මෙවැනි අය බස්සනු ලැබේ. ඒ සඳහා දේශපාලනඥයාට බලය ඇත. දැනට මිනිස් ජාවාරම් තදේටම සිදුකරන රටවල් අතර බෙලරුස්, මධ්‍ය අප්‍රිකානු ජනරජය, චීනය, එරිත්‍රියාව, ඉරානය, උතුරු කොරියාව, රුසියාව, සුඩානය, සිරියාව, වැනිසියුලාව යන රටවල් ප්‍රමුඛස්ථානයේ සිටිති. තායිලන්තය තුළ සිටින ජාවාරම්කරුවන් මේ කර්මාන්තය මගින් අවුරුද්දකට උපයන ගණන ඩොලර් බිලියන 12 කි. ඉහත සඳහන් රටවල් ලැයිස්තුවට ලංකාවේ නමද ක්‍රමයෙන් ඇතුළත් වෙමින් පවතී.

ශ්‍රී ලංකාවේ විදේශ ගමන් බලපත්‍රයට මේ වනවිට කිසිදු වටිනාකමක් නැත. රටවල තත්ත්වය බාල වන්නේ මිනිස් ජාවාරම වැනි මනුෂ්‍යත්වයෙන් පරිබාහිර ක්‍රියාකාරකම් නිසාය. මේ නිසා වසන්ත සමරසිංහ කියූ දේ කෙරෙහි අවධානය යොමුකරන ලෙස අපි රජයෙන් ඉල්ලමු.

advertistmentadvertistment
advertistmentadvertistment