බලශක්ති ඇමැතිගේ ගල්අඟුරු මාෆියාව හෙළිදරව්වෙන් රටට බිලියන 1000 ක් ඉතිරි වුණා

1928

ආචාර්ය ඕමල්පේ සෝභිත හිමි

විදුලිබල හා බලශක්ති ඇමැතිවරයා ඇතුළු පිරිසකගේ ‘ගල්අඟුරු මාෆියාව’ හෙළි කර, ඒ හරහා රුපියල් බිලියන 1000 ක පමණ මුදලක් රටට ඉතිරි කර දීමට තමන් වහන්සේට හැකියාව ලැබුණු බව රාමඤ්ඤ මහා නිකායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ ‘දිවයින’ට ඊයේ (29දා) ප්‍රකාශ කළහ.

අදාළ ගල්අඟුරු මාෆියාව වෙනුවෙන් තමන් වහන්සේ අධිකරණයට ගියත්, විදුලිබල හා බලශක්ති ඇමැතිවරයා උසාවියට ඉදිරිපත් නොවී සිටීම තුළින් තමන් වහන්සේගේ ක්‍රියා කලාපය නිවැරදි බව ඔප්පු වී ඇතැයිද උන්වහන්සේ කියා සිටියහ.

මෙවන් තත්ත්වයක් තුළ තමන් වහන්සේට සහ රටේ ජනතාවට ආත්මාර්ථකාමී ලෙස වෛරී ප්‍රකාශ නිකුත් කරන විදුලිබල ඇමැති කංචන විජේසේකර මහතාට එසේ නොකරන ලෙසට තමන් වහන්සේ කරුණාවෙන් අනුශාසනා කර සිටින බවද උන්වහන්සේ පැවසූහ.

වැඩිදුරටත් අදහස් දැක්වූ ආචාර්ය, ඕමල්පේ සෝභිත හිමියෝ මෙසේද පැවසූහ.

“ගල්අඟුරු සිද්ධියට ඇමැතිවරයා උරණ වී ඇති බව පැහැදිලියි. නමුත් එතුමාට අධිකරණයේ නිවැරදි වෙන්න තිබූ අවස්ථාවට ඉදිරිපත් වුණේ නෑ. මේ ගල්අඟුරු මාෆියාවට අදාළ සෑම කෙනෙකුගේම තොරතුරු මා සන්තකයේ තිබෙනවා. අවශ්‍ය නම් ලබා දෙන්න සූදානම්. මගේ ශාසනික සේවාව ගැනත් එතුමා ප්‍රශ්න කර තිබුණා. එතුමාට ඒ ගැන විමසීමෙන් බලන්න කියලා කියනවා. මම භික්ෂු මධ්‍යස්ථාන 75 ක් පවත්වාගෙන යන හිමි නමක්. ජාතිකවත්, ජාත්‍යන්තරවත් සේවාවන් ලබාදෙන ගමන් ළමා, වැඩිහිටි, අංගවිකල නිවාස පවත්වාගෙන යමින්, සෞඛ්‍ය, අධ්‍යාපනය සහ සුබසාධනය වෙනුවෙනුත් මහා පරිමාණ මෙහෙවරක යෙදෙනවා. මේ ශාසනික සහ සාමාජීය මෙහෙවර ජනතාව දන්නවා. මම දැන් මන්ත්‍රී හිමිනමක් නෙවී. ඒ තනතුර එතුමන්ට අගය වුණාට මට එහි අගයක් නෑ.”

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment