වී ගන්න මණ්ඩලය පොලියට ණය ගනී

30

මහ කන්නයේ වී මිලදී ගැනීම සඳහා රජය මගින් මුදල් ලබානොදීම නිසා කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ පවතින ගොවිජන භාර අරමුදලෙන් සියයට 08 ක පොලියක් යටතේ වී අලෙවි මණ්ඩලය මුදල් ලබාගෙන ගොවීන්ගේ වී මිලදී ගැනීම හම්බන්තොටින් ආරම්භ කර ඇත.

වී අලෙවි මණ්ඩලය ලබාගත් ණය මුදලින් නාඩු වී කිලෝවක් රුපියල් 105 ක මිලටත්, සම්බා වී කිලෝවක් රුපියල් 120ක මිලටත් ලෙස වී කිලෝ 30,000ක් පමණ මිලදී ගත් බව හම්බන්තොට දිස්ත්‍රික් ප්‍රාදේශීය කළමනාකරු ඩී. ඉන්දික උපේන්ද්‍ර මහතා ‘දිවයින’ට පැවසීය.

ගොවීන්ගේ වී අස්වැන්න මිලදී ගැනීම සඳහා විෂය භාර ඇමති, අමරවීර මහතා විසින් කැබිනට් පත්‍රිකා දෙකක් ඉදිරිපත් කර ඇති බවත්, එයට අනුමැතිය නොලැබීම නිසා මුදල් අනුමත වනතෙක් වී මිලදී ගැනීම හම්බන්තොටින් ආරම්භ කළ බවත් ඔහු කීය.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගොවීන් වගා කළ රතු වී වලට වෙළෙඳපොළේ ඉල්ලුම අඩු බවත්, එම වී වලට මිලක් ලබාදීම සඳහා හම්බන්තොටින් වී මිලදී ගැනීම ආරම්භ කළ බවත් ඔහු කීය. වී අලෙවි මණ්ඩලය වී මිලදී ගැනීම ආරම්භ කරනු ලැබුවේ ගොවීන්ගේ වී කිලෝවක් සඳහා රුපියල් 100 කට වඩා වැඩි මිලක් ලබාදීමට බවත් ඒ මහතා තවදුරටත් කීය.

චමින්ද සිල්වා, දෙබරවැව – ඒ. ඒ. පේමසිරි

advertistmentadvertistment
advertistmentadvertistment