මිනිසුන් එකිනෙකා මරාගන්නා තත්ත්වයක්

පසුගිය අවුරුදු කීපයේ පිරමිඩ යෝජනාක්‍රම 70කට අධික සංඛ්‍යාවක්

බැංකුවල බදු නිසා පිරමීඩවල ආයෝජන වැඩිවෙලා

තවත් ඇල්බේනියාවකට පාර කපයිද

ගිලෙන මිනිහා පිදුරු ගහෙත් එල්ලෙනවා යැයි අපේ පැරණි ජන වහරේ එන කියමනක් පවතී. අපේ රටත් මේ වන විට පවතින්නේ ගිලෙමිනි. ගිලෙමින් පවතින අවස්ථාවේ අයෙකු තම දැනුම, කුසලතාව ප්‍රයෝජනයට ගනිමින් එයින් බේරී එගොඩ වීමට උත්සාහ කරන අතරේ තවත් අයෙක් කරන්නේ බේරාගනියෝ කියා කෑගසමින් අතට අහුවෙන ඕනෑම දෙයක එල්ලීමයි. නමුත් මේ එල්ලෙන අත්ත ශක්තිමත් ද එයින් තමන්ට දියේ නොගිලී සිටීමට හැකිවේ දැයි කියා ඔවුන් නිකමටවත් සිතා බලන්නේ නැත. සමහරවිට මේ ගන්නා තීරණයෙන් තමා තවත් පහළට ඇදී යා හැක. මෙරට ජනතාවත් මේ පවතින අර්බුදයක් සමග තමන් සතු ධනය ඉතා අරපරෙස්සමින් ප්‍රයෝජනයට ගෙන අර්බුදයෙන් ගොඩ ඒමට උත්සාහ කරන අතරේ තවත් කොටසක් කරන්නේ වැඩි මහන්සියකින් තොරව කෙටි ක්‍රම මගින් ඉක්මනින් දියුණු වීමට ගොස් පස්ස පැත්ත බිම ඇන ගැනීමයි.

මේ වන විට දිනපතා ම පාහේ වාර්තා වන පුවතක් වේ. ඒ පිරමිඩ ජාවාරම් පිළිබඳ ප්‍රවෘත්තියයි. ඒ තරමටම මේ වන විට මෙරට තුළ මෙම ජාවාරම් කාරයන් ක්‍රියාත්මක වේ. විවිධ නම්වලින්, විවිධ සමාගම් පිහිටුවා ගනිමින් මේ ආකාරයට වංචා කරන්නේ මිනිසුන් දුක් මහන්සියෙන් හරි හම්බ කරන ලද මුදල් ය. හරියට කුසට ආහාර වේලක් නොකා සතෙන් සතේ එකතු කළ මුදල්ය. වංචාවෙන් දූෂණයෙන් හරි හම්බ කළ මුදල් නම් තවත් වංචාකාරයෙක් සොරා ගත්තාට අපට ගැටලුවක් නැත. නමුත් මේ පිරමිඩ වංචාකරුවන් වැඩි වශයෙන්ම ගොදුරු කරගන්නේ දුප්පත් අහිංසක මිනිසුන්ය.

මහ බැංකුව විසින් පසුගිය කාලයේ පිරමිඩ සමාගම් අටක් තහනම් කළේය. ඉන්පසු මෑත කාලයේ සිදුවූ විශාලතම පිරමිඩ ජාවාරම වන MTFE සමාගම තහනම් කළේය. ඒ අවස්ථාවේ මහ බැංකුව විසිනුත් ජනමාධ්‍ය විසිනුත් නිරන්තරයෙන්ම මහජනතාව දැනුවත් කළේය. නමුත් දැන් ජනතාව යළිත් වරක් පිරමිඩ ජාවාරම්කාරයෙකුට හසුවී රුපියල් මිලියන 800 ක් පූජා කර අවසන්ය. ඒ කුරුණෑගල ප්‍රදේශය ආශ්‍රය කරගෙන පවත්වාගෙන ගිය එරා මිරකල් පෞද්ගලික සමාගම සහ ජෙනිසිස් නමැති ව්‍යාපාරික ආයතනයේ අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ රණසිංහ ආරච්චිලාගේ ධම්මික රණසිංහ නමැත්තකු වෙතයි.

එක එක කාලයට එක එක ස්වරූපයන්ගෙන් පිරමීඩ ජාවාරම් ක්‍රියාත්මක වේ. එක කාලයකට සෝලාර් පද්ධති විකුණන මුවාවෙන්ද තවත් කාලයකට ඔරලෝසු විකුණන මුවාවෙන්ද තවත් විටෙක යම්කිසි ඩොලර් ප්‍රමාණයක් ආයෝජනය කර මාස දෙකක් වැනි කාලයකින් තමන් ආයෝජනය කළ මුදල මෙන් දෙගුණයක් ඩොලර් ලබාගත හැකි යැයි පවසමින්ද රට පුරා විවිධ ස්වරූපයන්ගෙන් පිරමිඩ ජාවාරම ක්‍රියාත්මක වේ. මේ වතාවේ වංචාකාර පිරමිඩ ජාවාරම්කරුවන් කරළියට පැමිණ ඇත්තේ අධ්‍යාපන පැකේජ මගින් දැනුම ලබාදෙන බව පවසමිනි. කනගාටුවට කරුණ වන්නේ මෙම වංචාවට වැඩිපුරම හසුව ඇත්තේ දරුවන්ට දැනුම ලබාදෙන, දරුවන්ගේ ඇස් පාදන විදුහල්පතිවරුන් ගුරුවරුන් වැනි පිරිසකි. මීට අමතරව මේ ගැන වැඩිපුරම දැනුවත් කොට්ඨාසයක් වන රජයේ නිලධාරීන්, බැංකු නිලධාරීන් සහ ව්‍යාපාරිකයන්ය. ගුරුවරුන් පිළිබඳ අමතක කළත් බැංකු නිලධාරීන් වැනි අය නිරන්තරයෙන්ම මෙවැනි වංචා පිළිබඳ දැනුවත් වන කොට්ඨාසයකි.

අධ්‍යාපනයට මුවාවීම

මහමොළකරුවෝ රටෙන් පැන්නත්-නැතත් තාමත් දුවන පිරමිඩ ජාවාරම්

මෙම වංචාකාර සමාගම ක්‍රියාත්මක වී ඇත්තේ දැනුම විකුණන ආයතනයක් ලෙසිනි. ක්‍රිප්ටො කරන්සි, බිඩ් කොයින් වැනි අන්තර්ජාල ක්‍රම තුළින් මුදල් උපයන ආකාරය උගන්වා ඒ සම්බන්ධව ගන්නා මුදල් ඩුබායිහි පිහිටි සමාගමක ආයෝජනය කර ඉන් ලැබෙන මුදලින් ලාභාංශ ගෙවන බව මෙම සමාගම පවසන ආකර්ෂණීයම බොරුවයි.

ඩොලර් 500ක පැකේජයක් හඳුන්වා දී ඇති මෙම ජෙනිසිස් සමාගම මාස අටත් දහයත් අතර කාලසීමාවක් තුළ තමන් ආයෝජනය කළ මුදල මෙන් හතර ගුණයක මුදලක් උපයා ගත හැකි බව ජනතාවට පවසා ඇත. ඩොලර් පන්සියයක් ආයෝජනය කර මාස හත අටකින් තමන් ලබන දැනුමට අමතරව ඩොලර් 2000ක් උපයාගත හැකිනම් ඊට කිසිවකු අකැමැති නොවනු ඇති. මෙවර පිරමිඩ ජාවාරම්කරුවන් හරිම නිලය අල්ලා ඇත. ඕනෑම කෙනෙක් වැඩිදුර අධ්‍යාපනයට කැමතිය. අන්තර්ජාලය ඇසුරින් ගෙදර සිටම මුදල් හම්බ කරන ආකාරය පිළිබඳ ඉගෙන ගන්නා ගමන් තමන් ආයෝජනය කළ මුදල මෙන් හතර ගුණයක් උපයාගත හැකිනම් හොඳයැයි සිතන බොහෝ දෙනා මෙයට සම්බන්ධ වී ඇත. කෙළින්ම ඩොලර් පන්සීයක් ආයෝජනය කර මාස හත අටකින් සිව් ගුණයක් ලබාගත හැකි යැයි පැවසුවහොත් කිසිවකු ඊට සම්බන්ධ නොවනු ඇත. එසේම නීති අංශවලට මෙන්ම ඕනෑම පුද්ගලයකුට මෙය මෙය පිරමිඩ සමාගමක් බව අවබෝධ වනු ඇත. මේ නිසා දැනුම විකුණන මුවාවෙන් ජනතාව රවටා මුදල් ලබාගෙන ඇත.

මෙම සමාගමත් අනෙකුත් පිරමිඩ සමාගම් මෙන්ම මුල්ම සාමාජිකයන්ට ලාභාංශ ගෙවා ඇත. දෙවැනි කණ්ඩායමටත් යම්කිසි මුදලක් ලාභාංශ ලෙස ගෙවා ඇත. ඒ තව තවත් සාමාජිකයන් බඳවා ගැනීමේ පරමාර්ථයෙනි. නමුත් ඉන්පසු සම්බන්ධ වූ කිසිවෙකුට කිසිදු මුදලක් අද වනතුරු ගෙවා නැත.

කතාවෙන් රට්ටු අල්ලන පිරමීඩ ජාවාරම

ධම්මික රණසිංහ නමැත්තා මුදාහැර ඇති හඬ පට මගින් ඔහු අනෙක් පිරිසට පවසන්නේ මින්පසු ජෙනිසිස් බිස්නස් ස්කූල් ආයතනය පිටස්තර පුද්ගලයන්ට දැනුම බෙදා හරින ආයතනයක් ලෙස පමණක් දිස්වනු ඇති බවයි. ලංකාවේ දෙවැනි ළාබාලතම වරලත් ගණකාධිකාරිවරයා ඔහු බව ධම්මික රණසිංහ නමැත්තා ජනතාවට පවසයි. මේ ව්‍යාපාරවල පවතින අවදානම තමා ඉතා හොඳින් දන්නා බවත් ඒ සඳහා ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් ඔහු ජනතාවට නිතර පවසයි. ඒ වෙන කිසිවක් නිසා නොව ජනතා විශ්වාසය දිනා ගැනීම සඳහාය.

මෙවැනි වංචාකාරයන්ගේ සුවිශේෂී හැකියාව වන්නේ ආකර්ෂණීය වාග් විලාශයයි. සාමාන්‍ය පුද්ගලයන් පමණක් නොව මහ බැංකු අධිපතිවරයා පවා රැවටිය හැකි ආකාරයට කතාබහ කිරීමට මෙවැනි වංචාකරුවන් ඉතා දක්ෂය. ලංකාවේ දේශීය ආර්ථිකය ගොඩනගන්න ලංකාවට ඩොලර් ගේන්න සමත් පුද්ගලයන් දස ලක්ෂයක් බිහි කිරීම තම අරමුණ බව පවසන ඔහු තම සමාගම ඩුබායි රාජ්‍යයේ ලියාපදිංචි කළ බවත් කුමන හෝ තහනම් කිරීමක් සිදුවුවහොත් විදෙස් රටවල සිට ක්‍රියාත්මක වීමට අවශ්‍ය දත්ත පද්ධති සකස් කර ඇති බවත් ඒ නිසා ලංකාව තුළ ශක්තිමත්ම ආයතනය තම ආයතනය බව ජනතාවට ඒත්තු ගන්වයි.

කෙසේ වෙතත් මේ වන විට මෙම සමාගම වසා දමා අවසන්ය. එසේම මෙම ආයතනය නීති විරෝධී ආයතනයක් බව රට හමුවේ ඔප්පු වී හමාරය. පසුගියදා ධම්මික රණසිංහ නමැත්තාට රටින් පිටවීම තහනම් කරමින් අධිකරණ නියෝගයක් පවා පනවනු ලැබිණි.

අධිකරණය තහනම් නියෝගය පනවන විටත් ධම්මික රණසිංහ නැමැත්තා රටෙන් පැනගොස් ඇතැයි ආරංචි මාර්ග පවසයි. ඒ වෙනුවට දැන් මෙම සමාගමේ කටයුතු කරන්නේ ඔහුගේ බිරිඳ වන ගාල්ලේ වඩුගමගේ සමුද්‍රා සුරංගනී හේමචන්ද්‍ර නමැත්තියයි. ඇය විසින් විවිධ හඬපට මගින් ජනතාවට පවසන්නේ ධම්මික රණසිංහ නමැති සභාපතිවරයා තමන්ට මෙම සමාගමේ කටයුතු කරගෙන යෑමට වාචිකව අවසර දී ඇති බවයි.

පිරමීඩ සමාගම් හැම එකක්ම පවසන එකම පොදු බොරුවක් තිබේ. ඒ තමන්ට පහළ සිටින නිලධාරීන් විසින් සිදුකළ වංචා නිසා සමාගම කඩා වැටුණු බවයි. තමන් ඒ කිසිවකට සම්බන්ධ නැති බවත් සමාගමේ ඉහළ නිලධාරීන් මේවනවිට ජනතාව සමග සම්බන්ධ නොවන බවත් පවසන මේ හිමිකරුවන් ඔවුන් පිට වරද පටවා යළි තමන් සමඟ සම්බන්ධ වන ලෙස පැවසීම මෙවැනි පිරමිඩ සමාගම් සෑම එකකම පොදු ලක්ෂණයකි.

තවත් පල් හොරෙකුට හසුවී රුපියල් මිලියන 800ක මුදලක් ජනතාවට දැන් අහිමි වී අවසන්ය. මේ ලංකාවේ ක්‍රියාත්මක වූ මුල්ම පිරමිඩ ජාවාරම නොවේ. එසේම මේ අවසන් ජාවාරම ද නොවේ. ජනතාව තව තවත් මෙවැනි වංචාකරුවන්ට හසු වීමට කුමන හෝ කාරණයක් තිබේ. ඒ පිළිබඳ වැඩිදුරටත් සොයා බැලීමට අප තීරණය කළේ ඉදිරියටත් මෙවැනි වංචා අවම කරගැනීමේ අරමුණිනි.

මෙවැනි පිරමිඩ ජාවාරම්කරුවන් දිනෙන් දින ඉහළ යෑමට ප්‍රධානම හේතුවක් වන්නේ ජනතාවට තමන් ආයෝජනය කරන මුදලට සරිලන පොලියක් විධිමත් බැංකු පද්ධතිය හරහා නොලැබීමය. ජනතාවට ආකර්ෂණීය පොලී මුදලක් ලැබෙනවා නම් ජනතාව මෙවැනි වංචාකරුවන්ගේ පසුපස යන්නේ නැත. එසේම ලැබෙන පොලියටත් මේ වන විට 5%ක බදු මුදලක් ආණ්ඩුව විසින් අය කර ගනී. මෙවැනි ක්‍රියා හමුවේ ජනතාව අවදානම අමතක කර වැඩි වැඩියෙන් මෙවැනි පුද්ගලයන් වෙත යොමු වීම සාමාන්‍ය කරුණකි. කුමන නීති පැන වුවත් කොතරම් මෙවැනි පුවත් ජනමාධ්‍ය මගින් වාර්තා කළත් මෙවැනි සිදුවීම් අවම නොවනු ඇත.

පිරමීඩ ක්‍රම තහනම් කිරීමත් සමග රට පුරා ආරවුල්

මහමොළකරුවෝ රටෙන් පැන්නත්-නැතත් තාමත් දුවන පිරමිඩ ජාවාරම්

නීති විරෝධී පිරමිඩ ජාවාරම් ක්‍රම ශ්‍රී ලංකා මහ බැංකුව විසින් තහනම් කිරීමත් සමගම බොහෝ ස්ථානවල ආරවුල් හටගෙන තිබේ. තමන්ව මේ සඳහා සම්බන්ධ කළ පුද්ගලයන් සොයා ගොස් මුදල් ඉල්ලීමට පටන් ගැනීමත් සමග මෙම ගැටුම හටගෙන තිබේ. එසේම රටේ විවිධ ප්‍රදේශවලින් සියදිවි නසාගැනීම්ද බොහෝමයක් වාර්තා විණි. තවත් සමහරු කෙටි ක්‍රම වලින් පොහොසත් වීමට සිතා තමන් පදිංචි ගෙවල්, ඉඩම් පවා උසස් කොට මුදල් ආයෝජනය කළ අවස්ථා තිබේ. එවැනි පුද්ගලයන්ට මේවන විට අත්ව ඇති ඉරණම පිළිබඳ අමුතුවෙන් සඳහන් කළ යුතු නොවේ.

පසුගිය අවුරුදු කීපයේ පිරමිඩ ජාවාරම්වල වැඩි වීමක්

2019 වසරේ සිට මේ දක්වා කාලය තුළ රටේ විවිධ නම් වලින් විවිධ ස්වරූපයන්ගෙන් මෙන්ම ලොකු කුඩා ආකාරයෙන් ක්‍රියාත්මක වූ පිරමීඩ ජාවාරම් සංඛ්‍යාව හැත්තෑවකට අධිකය. මේ තුළින් රටට අහිමි වූ මුදල කොතෙක් දැයි කිව නොහැක. ඒ මුදල් ආයෝජනය කළ සමහරු නිවැරදි තොරතුරු ඉදිරිපත් නොකිරීම නිසාය. මීට අමතරව කුඩා කුඩා වශයෙන් ක්‍රියාත්මක වූ පිරමිඩ සංඛ්‍යාව අති විශාලය.

ශ්‍රී ලංකාව තවත් ඇල්බේනියාවක් වේවිද?

ඇල්බේනියාව ද මේ ආකාරයෙන්ම දිගින් දිගටම පිරමිඩ ජාවාරම් කරුවන්ගේ ගොදුරක් බවට පත් වූ රටකි. අවසානයේ රට තුළ සිවිල් යුද තත්ත්වයක් පවා ඇතිවිය. එමගින් රටට අහිමි වූ මිනිස් ජීවිත සංඛ්‍යාව දෙදහසකට අධික ය. ඒ මිනිසුන් අතර ඇති වූ කල කෝලාහල හේතුවෙනි. මෙරට තුළද දැනටමත් ගම් නගර රාශියකම මෙවැනි ආකාරයේ ගැටුම් ඇතිවී තිබේ. මෙවැනි වංචාවලට සම්බන්ධ වන පුද්ගලයන්ටද “අපි දැනගෙන නෙමෙයි සම්බන්ධ වුණේ” යන පිළිතුරෙන් සෑහීමකට පත් නොවී මෙවැනි ස්ථානවල මුදල් ආයෝජනය කිරීම නිසා දැඩි දඬුවම් පැමිණවිය යුතුය.

අන් අය බඳවා ගැනීම මගින් ඉක්මනින් පොහොසත් විය හැකි යැයි කිසිවෙකු ප්‍රකාශ කරයි නම් හෝ භාණ්ඩ, අතත්‍ය මුදල් හෝ වෙළෙඳාම් කිරීම මගින් ඉක්මනින් පොහොසතකු විය හැකි යැයි පවසනවා නම් එය අනිවාර්යෙන්ම පිරමිඩ ජාවාරමකි.

ජාවාරම්කරුවන්ගේ බොරු ප්‍රචාර

දැනටත් පිරමිඩ ජාවාරම් පවත්වාගෙන යන සහ පවත්වාගෙන ගිය ආයතන බොහොමයක් ප්‍රචාරය කරනු ලබන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව ඔවුන් හා යම් යම් එකඟතාවන්ට එළැඹ ඇති බවයි. ශ්‍රී ලංකා මහ බැංකුව මෙම ප්‍රකාශ ප්‍රකාශය තරයේම ප්‍රකාශ තරයේම ප්‍රතික්ෂේප කරයි. එවැනි කිසිදු එකඟතාවකට මෙවැනි වංචාකාර සමාගම් සමග එකඟ වී නොමැති බව මහ බැංකුව නැවත නැවතත් ඔබ වෙත සිහිපත් කරන්නේ මෙවැනි වංචාවලින් ඔබව ගලවා ගනු සඳහා ය.

පිරමීඩ ජාවාරම්කරුවන්ට දිය හැකි දඬුවම්

මෙවැනි වංචාවකට කුමනාකාරයෙන් හෝ සම්බන්ධ පුද්ගලයෙකුට බරපතළ වැඩ ඇතිව හෝ නැතිව වසර තුනක සිර දඬුවමක් හෝ උපරිමය මිලියනයක දඩයකට හෝ එම දඬුවම් දෙකම පැනවිය හැක.

තවත් පුද්ගලයෙකු අමාරුවේ දැම්මේ ඒ පුද්ගලයාට අලාභයක් වන බව දැන දැනම නම් බරපතළ වැඩ ඇතිව හෝ නැතිව වසර තුනක් සහ උපරිමය වසර 5ක් දක්වා සිර දඬුවමකුත් රුපියල් මිලියන දෙකක් හෝ බඳවාගත් අය යෙදූ මුදල් මෙන් දෙගුණයක් යන දෙකෙන් වැඩි අගයට සමාන දඬුවමක් හෝ මේ දඬුවම් දෙකම හිමි වේ.

මේ ආකාරයෙන් උපයා ගන්නා මුදල්, මුදල් විශුද්ධිකරණය සඳහා හෝ ත්‍රස්තවාදී කටයුතු සඳහා යොදා ගන්නා බවට තීරණය කළ හැකි අවස්ථාවකදී එම මුදල් රජයට පවරා ගත හැකිය.

මීට පෙර අවස්ථාවකදී සක්විති රණසිංහට රැවටුණු ජනතාව දැන් ධම්මික රණසිංහට රැවටී ඇත. කුමන නමකින් කුමන වේශයෙන් ආවත් ඒවාට නොරැවටී සිටීම ජනතාව සතු වකීමකි. නැතිනම් අවසානයේ සිදුවන්නේ තම හිතවතුන් සමග ගහ මරා ගැනීමටත් තමන්ගේ සල්ලි දියව් කියමින් උද්ඝෝෂණය කිරීමටත්ය.

සමීර කන්නන්ගර

advertistmentadvertistment
advertistmentadvertistment