විනිසුරු ඉලෙන්චෙලියන් ඝාතන සැලසුමේ නඩු විභාගය මැයි 21 වැනිදා

41

එවකට යාපනය මහාධිකරණ විනිසුරුවරයා ලෙස කටයුතු කළ දැනට වවුනියාව මහාධිකරණ විනිසුරුවරයා ලෙස සේවය කරන මානික්කවාසගම් ඉලන්චෙලියන් විනිසුරුවරයා ඝාතනය කිරීමට තැත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වූ නඩු විහාගය මැයි මස 21 වෙනිදා දක්වා යාපනය මහාධිකරණ විනිසුරු ඩෙනිස් ශාන්තන් සූසෙයිදාසන් මහතා විසින් කල් තබනු ලැබීය.

ඉලන්චෙලියන් විනිසුරුවරයා ඉලක්ක කරගෙන අපරාධකරුවකු විසින් වෙඩි තබන ලද පිස්තෝලය අධිකරණය වෙත ඉදිරිපත් නොවීම නිසා මෙම නඩුව කල් තබීමට යාපනය මහාධිකරණ විනිසුරුවරයාට සිදු වුණි.

නඩු විභාගයේදී පොලිස් නිලධාරීන්ට එම පිස්තෝලය හඳුනා ගැනීමට හැකි දැයි යාපනය මහාධිකරණ විනිසුරුවරයා විමසූ අවස්ථාවේදී පොලිස් නිලධාරීන් ඊට ඔව් යනුවෙන් පිළිතුරු දෙන ලද නමුත් පිස්තෝලය අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දැන් වූ අවස්ථාවේදී එය රජයේ රස පරීක්ෂකවරයා වෙත යවා ඇති බවත් එය මේ දක්වා යාපනය පොලිසිය වෙත ලැබී නොමැති බවත් පොලිසිය සඳහන් කොට සිටියහ.

මේ නිසා ඉතා ඉක්මනින් එම පිස්තෝලය යාපනය පොලිසිය වෙත රැගෙන ඒමට පියවර ගන්නා ලෙස පොලිසියට දනුම්දුන් මහෙස්ත්‍රාත්වරයා නඩුව මැයි මස 21 වෙනිදා දක්වා කල් තබනු ලබීය.

ඉලන්චෙලියන් මහාධිකරණ විනිසුරුවරයා යාපනයේ සේවය කරමින් සිටියදී 2017-07-22 දින අධිකරණයේ සිට සිය නිල නිවස වෙත මෝටර් රථයෙන් ගමන් කරමින් සිටියදී යාපනයේ නල්ලූර් කෝවිල් මාර්ගයේ සැඟව සිටි සකකරුවකු එක්වරම පිස්තෝලයක් රැගෙන මහා මාර්ගයට පැන විනිසුරුවරයා ගමන් කරමින් සිටි මෝටර් රථය දෙසට වෙඩි තබන්නට විය.

මේ අවස්ථාවේදී විනිසුරුවරයාගේ ආරක්ෂාවට සිටි පොලිස් සැරයන් හේමචන්ද්‍ර නැමති නිලධාරියා ඉදිරියට පැන පිස්තෝලකරුට වෙඩි තබා ඔහුව මෙල්ල කිරීමට ගිය අවස්ථාවේදී සැරයන්වරයාට වෙඩි වැදී ඔහු ජීවිතක්ෂයට පත් විය.

පසුව පොලිසිය විසින් එම පිස්තෝලකරුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කොට තිබුණි.

ඊට අදාළ නඩුව යාපනය මහාධිකරණයේදී විභාගයට ගත් අවස්ථාවේදී ප්‍රධාන සාක්‍ෂිය ලබා දීමට ඉලන්චෙලියන් විනිසුරුවරයා දැඩි ආරක්ෂාවක් මැද යාපනය මහාධිකරණය වෙත පැමිණ සිටි අතර එම නඩුව එක දිගටම විභාග කරගෙන යෑමට යාපනය මහාධිකරණය තීරණය කොට තිබුණි.

නමුත් අදාළ පිස්තෝලය අධිකරණයට ඉදිරිපත් නොවීම නිසා නඩු විභාගය කල් දැමීමට යාපනය මහාධිකරණ විනිසුරුවරයා තීන්දු කළේය.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment