උසස් පෙළ ඉහළින්ම සමත් දූ පුතුන්

2204

කලා අංශයෙන් දිවයිනෙන් ප්‍රථමයා කෑගල්ල ශා.ජෝශප් බාලිකාවේ සචිනි සත්සරණී

උසස් පෙළ ඉහළින්ම සමත් දූ පුතුන්

මෙවර පැවැත්වූ අධ්‍යාපන උසස් පෙළ විභාගයෙන් කලා අංශයෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය කෑගල්ල ශාන්ත ජෝශප් බාලිකා විද්‍යාලයේ ඩබ්ලිව්. ඒ. ඇම්. සචිනි සත්සරණි අදිපත්තු ශිෂ්‍යාව විසින් හිමි කරගෙන තිබේ.

වරකාපොළ ඇත්නාවල සංවර්ධන ඉඩමේ පදිංචිව සිටි ඇය භූගෝල විද්‍යාව, චිත්‍රකර්මය, තොරතුරු සන්නිවේදන තාක්ෂණය, ඉංග්‍රීසි භාෂාවෙන් උසස් පෙළ විභාගය සඳහා ඉදිරිපත්වී මෙම ජයග්‍රහණය ලබා තිබේ.

මෙම ජයග්‍රහණය පිළිබඳව අදහස් දැක්වූ සචිනි සත්සරණි ශිෂ්‍යාව මෙවැනි ජයග්‍රහණයක් ලැබීම පිළිබඳව මම ගොඩක් සතුටු වෙනවා. මම විභාගයට මුල ඉඳන්ම ගොඩක් මහන්සි උනා. මම මගේ විෂයන්වලට අදාළ පාඩම් කිරීම සඳහා ක්‍රමවේද සොයා ගෙන ගොඩාක් මහන්සි උනා. පසුගිය වර්ෂවල ප්‍රශ්න පත්‍ර කළා. පාසලේ එදිනෙදා උගන්වනූ ලබන විෂයන් ගෙදර ඇවිත් දිනපතා නැවත පාඩම් කළා. එසේ කළ නිසා මට මේ ජයග්‍රහණය ලබාගන්නා හැකි වුණා යැයි පැවසුවා ය.

මගේ පියා ඩබ්ලිව්. ඒ. ඇම්. මුදියන්සේ. ඔහු දැදිගම පොලිසියේ උ.පො.පරීක්ෂකයකු වශයෙන් සේවය කරනවා. මගේ මව ඇම්. පී.ඇම්. රාජපක්ෂ. ඇය නිවටුව මහා විද්‍යාලයේ ගුරුවෘතියේ නියැළෙනවා. අධ්‍යාපන කටයුතු කිරීම සඳහා දෙදෙනාම උදව් කළා. ඉගෙනුම් කටයුතු කිරීමට බල කළේ නැහැ. මට සිටින්නේ වැඩිමහල් සහෝදරියක් විතරයි. ඇය කැලණිය විශ්වවිද්‍යාලයේ ජපන් ගෞරව උපාධිය කරනවා. ඇයත් අධ්‍යාපනය ලැබුවේ කෑගල්ල ශාන්ත ජෝශප් බාලිකා විද්‍යාලයේ.

විශේෂයෙන් මම මගේ අම්මටයි, අප්පච්චිටයි, විද්‍යාලයේ විදුහල්පතිනියට, මට ඉගෙනුම් කටයුතු සිදු කළ ගුරුවරුන්ට, විදුහලේ ආචාර්ය මණ්ඩලයේ සියලුම දෙනාට හා උපකාරක පන්තිවල ගුරු මණ්ඩලයට මාගේ ස්තුතිය ප්‍රකාශ කරනවා යැයි පැවසුවාය.

වරකාපොළ සරත් ආනන්ද ලියනගේ සහ කෑගල්ල එම්.බී. පහළවත්ත

වාණිජ අංශයේ දෙවන ස්ථානය ඇහැළියගොඩ ජාතික පාසලේ පසිඳු හේශාන්ට

මෙවර අ.පො.ස.උසස් පෙළ ප්‍රතිඵල අනුව වාණිජ අංශයෙන් දිවයිනේ දෙවන ස්ථානය සහ රත්නපුර දිස්ත්‍රික්කයේ පළමු ස්ථානය ඇහැළියගොඩ ජාතික පාසලේ පසිඳු හේශාන් සිසුවා හිමිකර ගෙන ඇත.

උසස් පෙළ ඉහළින්ම සමත් දූ පුතුන්

එම පාසලේ සසිඳු රශාංගිකා පීරිස් සිසුවිය වාණිජ අංශයෙන් දිවයිනේ අට වැනි ස්ථානයත්, රත්නපුර දිස්ත්‍රික්කයේ දෙවැනි ස්ථානය ද හිමි කර ගෙන ඇත.

මේ අතර එම පාසලේම කාලිංද දයාශාන් සිසුවා වාණිජ අංශයෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ තෙවැනි ස්ථානය හා දිවයිනේ හතළස් අට වැනි ස්ථානය හිමිකර ගෙන ඇති බව ඇහැළියගොඩ ජාතික පාසලේ විදුහල්පතිනි ඩී. එම්. එස්. කේ. දිසානායක මහත්මිය පැවසුවාය.

ඇහැළියගොඩ උපාලි ප්‍රේමතිලක

මොනරාගල ජීවවිද්‍යා ප්‍රථමයා තණමල්විල ජාතික පාසලේ හසිත මධුරංග

උසස් පෙළ ඉහළින්ම සමත් දූ පුතුන්

තණමල්විල ජාතික පාසලේ හසිත මධුරංග ශිෂ්‍යයා 2022 අපොස උසස්පෙළ විභාගයේ ජීවවිද්‍යා අංශයෙන් මොනරාගල දිස්ත්‍රික් ප්‍රථම ස්ථානය හිමිකරගෙන ඇත.

කුඩාඔය බෝධිගම පදිංචි හසිතගේ දෙමව්පියන් ගොවිතැන් කරමින් ජීවත්වන අතර ඔහුට බාල සහෝදරයින් දෙදෙනෙකු සිටී.

තණමල්විල ජාතික පාසලේ රසායන විද්‍යාව සඳහා ගුරුවරයෙකු නොමැතිව ඔහු මෙම ජයග්‍රහණය ලබාගෙන ඇත.

බඩල්කුඹුර රවිඳු ගුණතිලක

උසස්පෙළ විභාගයෙන් ලංකාවෙන් ම පළමු වැනියා ගාල්ල, රිච්මන්ඩ් විද්‍යාලයේ සමුදිත

තාත්තගේ තුන්මාසේ පින්කම දා මගේ විභාග ප්‍රතිඵල ලැබුණා

තාත්තා නැතිවෙලා තුන්මාසයේ පින්කම දිනය දා විභාග ප්‍රතිඵල ලැබුණා. තාත්තා ආශා කරපු විදියටම අධ්‍යාපන අංශයෙන් ඉහළ තැනක ඉන්න ලැබීම ගැන සතුටට පත්වෙනවා යැයි ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාව යටතේ 2022 වර්ෂය වසරේ පැවැති අ.පො. ස. උසස්පෙළ විභාගයෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකරගත් ගාල්ල, රිච්මන්ඩ් විද්‍යාලයේ කේ.පී.සමුදිත නයනප්‍රිය සිසුවා පැවසීය.

උසස් පෙළ ඉහළින්ම සමත් දූ පුතුන්

ගාල්ල, හීනටිගල පාර, උණවටුන ප්‍රදේශයේ පදිංචි සමුදිත නයනප්‍රිය සිව් දෙනෙකුගෙන් යුත් පවුලක බාලදරුවා ය. ඔහුගේ මව ඇඳුම් මැසීමේ නිරතවන අතර සිය ජයග්‍රහණය පිළිබඳ අදහස් දක්වමින් මෙසේ කිවේය.

මම ගාල්ල උණවටුන මහා විද්‍යාලයේ ප්‍රාථමක අධ්‍යාපනය හැදෑරුවා. ශිෂ්‍යත්ව විභාගයෙන් සමත්වෙලා ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයට උස්ස අධ්‍යාපනය හැදෑරීමට ගියා. සා.පෙළ විභාගයෙන් විෂයන් 09ට ම ඒ සමාර්ථ ලබාගත්තා. තාක්ෂණ විෂය ධාරවෙන් 2022 වර්ෂයේ උසස්පෙළ විභාගයට පෙනී සිටියා. ඇත්තට ම සතුටුයි. තාත්තා නැතිවෙලා තුන්මාසයේ පිංකම දිනයදා විභාග ප්‍රතිඵල ලැබුණා. තාත්තා ආශා කරපු විදියට ම අධ්‍යාපන අංශයෙන් ඉහළ තැනක ඉන්න ලැබීම ගැන සතුටුයි. විභාගය සමත්වන බව දැනගෙන හිටියා. නමුත් ලංකාවෙන්ම පළමු තැනට පත්වේවී කියලා හිතාගෙන හිටියේ නැහැ. ඒකනම් පුදුමයක්.

උපාකරක පන්තිවලට ගියා. මම 01,02,03,04 යන පන්තිවල දී මාගේ තාත්තා මාව හුරුකළා පාසල් අධ්‍යාපනයට. මම කුඩාකාලයේ සිට කැමැති බාහිර අධ්‍යාපනක්‍රමවලට. තාත්තා මට කුඩා කාලයේ දී උගන්වපු දේවල් හා තාත්තා මාව ගයිඩ් කරපු විදිය නිසා තමයි මට අද මෙම තත්ත්වයට එන්න පුළුවන් වුණේ. තාත්තා ඒ විදියට නොකරන්න සමහර විට අද මම මෙතැන නොඉන්න පුළුවන්.

උසස්පෙළ විභාගයේ විශිෂ්ට ප්‍රතිඵලයක් ගන්න අනිවාර්යෙන් මහන්සි වෙන්න ඕන. කවුරුහරි කියනවානම් කිසිදු මහන්සියන් නොවී එවැනි පතිඵලයක් ගන්න පුළුවන් කියලා එක ඇත්තටම බොරුවක්. මමත් මහන්සිවුණා. නමුත් මම දකින දෙයක් තමයි ළමයි මහන්සිවුණාට කාර්යක්ෂමතාවය අඩුයි. ගොඩක් දේවල් අපතේ යනවා. හොඳම උදාහරණය තමයි ජංගම දුරකථනය. වත්මන් අධ්‍යාපන ක්‍රමය එක්ක ජංගම දුරකථනය නැතිව අධ්‍යාපන කටයුතු කරගෙන යන්න අපහසුයි. කොවිඩි වසංගතයටත් අපිට මුහුණ දෙන්න වුණා. දුරකථනය හා අන්තර්ජාලය අත්‍යවශ්‍ය දෙයක්. උසස් පෙළ විභාගය ලියන්නේ වැඩිහිටි සිසුන්. ඒ නිසා මෙවා පරිහරණය කිරීමේ දී වැරදි දේවල්වලට යොමු නොවීමට ඒ අය වගබලාගත යුතුයි.

උසස් පෙළ ඉහළින්ම සමත් දූ පුතුන්

2023,2024 විභාගයට පෙනී සිටින නංගිලා, මල්ලිලා ඒ අයගේ කාලය ඍනාත්මක දේවල්වලට වෙන්කරලා තියෙනවා වැඩියි. මගේ අරමුණ පාත් එක තොරාගත්තේ මම. තාත්තා මගේ පාත් එකේ යන්න ඉඩදුන්නා.මගේම විදියට ඉදිරියට යන්න මම බලාපොරොත්තු වෙනවා. ඉදිරියේ දී මාගේ නම මාව දැනගන්න පුළුවන් විදියට මම වැඩකරන්න බලාපොරොත්තු වෙනවා. ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයට ගියාට පසු තමයි මම ලෝකය දකින්න පුරුදුවුණේ. විවිධ සංස්කෘතික වෙනස්කම් දකින්න පුළුවන් වුණා. ලෝකයේ දේවල්වලට හුරුවෙන්න පටන්ගත්තේ රිච්මන්ඩ් විද්‍යාලයට ගියාට පස්සේ. විද්‍යාලයේ ආචාර්යවරු අමතර පන්ති පැවැත්වුවා. විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලයට මෙහිදී මගේ ස්තුතිය පුදකරනවා යැයි ද සමුදිත නයනප්‍රිය සිසුවා කිවේය.

ලලිත් චාමින්ද සහ එස් .කේ කළුආරච්චි ගාල්ල හිනිදුම රවින්ද්‍ර චන්ද්‍රලාල්

දෑසම නොපෙනෙන තිවංක මහනුවරින් ප්‍රථමයා වේ

මගේ එකම අරමුණ විදෙස් විශ්වවිද්‍යාලයකින් අධ්‍යාපනය ලබා මහාචාර්යවරයකු වීමටයි

මෙවර අ.පො.ස. උසස් පෙළ විභාගයෙන් මහනුවර දිස්ත්‍රික්කයේ කලා අංශයේ ප්‍රථමයා ලෙස ගෙලිඔය ශ්‍රී ප්‍රඥාරතන මධ්‍ය මහා විද්‍යාලයේ තිවංක රණබාහු සිසුවා තේරී පත්ව තිබේ.

උසස් පෙළ ඉහළින්ම සමත් දූ පුතුන්

උඩුනුවර වේගිරිය ප්‍රදේශයේ පදිංචි මෙම සිසුවා උසස් පෙළ විෂයන් ලෙස සිංහල බෞද්ධ සංස්කෘතිය ජන සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය යන විෂයන් හදාරා තිබේ.

මෙම සිසුවා පූර්ණ දෘශ්‍යාබාධිත අයකු වන අතර එම තත්ත්වයට පත්ව ඇත්තේ ඔහු පාසලේ 10 වසරේ ඉගෙනුම ලබමින් සිටියදීය. ඉන්පසු ඔහු වාචික ක්‍රමය භාවිත කරමින් අධ්‍යයන කටයුතු සිදු කර තිබේ.

ගෙලිඔය ශ්‍රී ප්‍රඥාරතන මධ්‍ය මහා විද්‍යාලයේ පළමු වසරේ සිටම අධ්‍යාපනය ලැබූ මෙම සිසුවා අපොස සා පෙළ විභාගයෙන් ද විශිෂ්ට ලෙස ලෙස සමත්ව තිබේ.

ඒ වන විටත් අන්ධභාවයට පත්ව සිටි ඔහු එම විභාගයේ විශිෂ්ට සාමාර්ථ හතරක් බී සාමාර්ථ තුනක් සමග සමත්ව තිබේ.

පියා ද නොමැති මෙම සිසුවා මව සමග වේගිරියේ ප්‍රදේශයේ කුලී නිවසක ජීවත් වන අතර වසර විස්සක් පුරා මවගේ ශක්තිය ලැබුණු බව තිවංක පවසයි.

තිවංක ගේ එකම අරමුණ විදේශ විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය ලබා මනෝ විද්‍යා මහාචාර්යවරයෙක් වීමය.

ගායනයට ද දක්ෂ ඔහු රට ම පිළිගත් ගායකයෙකු වීමට ද සිහින දකී.

මෙම සිසුවා කුඩාකල සිටම ගෙලිඔය කරමඩ විහාරස්ථානයේ දහම් පාසල් අධ්‍යාපනය ලබා ඇති අතර එම විහාරස්ථානයේ විහාරාධිපති හා ප්‍රඥාරතන මධ්‍ය මහා විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති ගලහා සිරි සාන්ත හිමියෝ මොහුගේ අධ්‍යාපන හා ආර්ථික කටයුතු සඳහා දායකවී තිබේ.

පාසලේ විදුහල්පති ඩබ්ලිව්. එම් .කේ. වීරසිංහ විෂයභාර ගුරුවරු වන සනත් කුමාර ඩී.එම්.එම්. සත්සරණි රේණුකා දිසානායක ඇතුළු පාසලේ ආචාර්ය මණ්ඩලයේ ද නොමද සහය මොහුට ලැබී ඇත.

තිවංක රණබාහුගේ මව වන නිරෝශනී සුජීවා කුමාරි ඉල්ලා සිටින්නේ තම දරුවාගේ ඉදිරි බලාපොරොත්තු ඉටුකර ගැනීම සඳහා සියලු දෙනාගේ සහාය ලබා දෙන ලෙසයි.

ගම්පොළ -සුරංග දිල්හාන්-මහනුවර-සමන්ති වීරසේකර

උසස් පෙළින් යාපනය හා මුලතිවු දිස්ත්‍රික්ක පළමු තැනට

උසස් පෙළ ඉහළින්ම සමත් දූ පුතුන්

2022 වසරේ අපොස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව යාපනයේ හින්දු විද්‍යාලය ප්‍රථම ස්ථානයට පත්ව තිබේ.

එම විද්‍යාලයෙන් විභාගයට පෙනී සිටි සිසුන් අතරින් 33 දෙනෙකු විෂයන් තුන සඳහාම ඒ( A) සාමාර්ථයන් හිමි කරගෙන ඇත.

යාපනය දිස්ත්‍රික්කයේ ජීව විද්‍යා අංශයේ ප්‍රථම ස්ථාන පහ සහ ඉංජිනේරු අංශයේ දිස්ත්‍රික් මට්ටමින් පළමු ස්ථාන හය යාපනය හින්දු විද්‍යාලයට හිමිව තිබීම ද විශේෂත්වයකි.

එමෙන්ම මුලතිව් දිස්ත්‍රික්කයෙන් වාණිජ අංශයෙන් පළමු ස්ථානයට පත් ඩොරීන් රූපකාන්තන් ශිෂ්‍යාවගේ පියා අවසන් යුද්ධයේ දී මියගොස් ඇති අතර ඇය කිසිදු රැකියාවක් නොමැති මවගේ හා මිත්තණියගේ සෙවණේ සිට විභාගයට පෙනී සිට ඒ ( A ) සාමාර්ථ තුනක්ම ලබා ගෙන ඇත.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment