අනුරාධපුර කොට්ඨාසයට අනුයුක්ත පොලිසියක සාදයක වලියක්

83

සැරයන් සිංදු කියද්දී, පොලිස් පරීක්ෂකවරයෙක් මයික්‍රොපෝනය උදුරලා

අනුරාධපුර පොලිස් කොට්ඨාසයේ පොලිසියක පෙරේදා (27දා) රාත්‍රියේ සිට මධ්‍යම රාත්‍රිය පසු වනතුරු පැවැති කුඩා සංගීත ප්‍රසංගයකින් අනතුරුව පොලිස් නිලධාරීන් දෙපිරිසක් අතර ඇති වූ බහින්බස්වීමක් ගුටිබැට හුවමාරුවක් දක්වා වර්ධනය වී කීපදෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තාවේ.

සිංහල දෙමළ අලුත් අවුරුද්දට සමගාමීව වාර්ෂිකව මෙම සංගීත ප්‍රසංගයට අමතරව එම පොලිස් ක්‍රීඩාංගණයේදී මත්පැන් සාදයක් පැවැත්වූ බවත් එම සාදය හේතුවෙන් එම පොලිස් වසමේ ආරක්ෂාව සඳහා අවට පොලිසියකින් නිලධාරීන් කැඳවා තිබූ බවද පොලිස් ආරංචිමාර්ග සඳහන් කරයි.

සාදය අතරතුර එම පොලිසියේ අපරාධ අංශයේ සැරයෙන්වරයෙකු ගීත ගායනා කරමින් සිටියදී එම ස්ථානයට පැමිණි, විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයා බව කියන පොලිස් පරීක්ෂකවරයා එම සැරයන්වරයාගේ මයික්‍රපෝනය උදුරා ඇතැයි ද වාර්තාවේ.

එම අවස්ථාවේදී මෙම ගැටුම ප්‍රථමයෙන් හට ගෙන තිබෙන අතර, එම ගැටුම සමථයකට පත් කිරීම සඳහා මැදිහත් වූ, නව පත්වීම් ලද බහු කාර්ය සේවකයෙකුගේ එක් අතකටද තදබල පහරක් වැදී ඇති බව එම ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

එම ගුටිබැට හුවමාරුව රෝහල දක්වා රැගෙන නොයෑමට එම පොලිසියේ ඉහළ නිලධාරීන් වගබලා ගෙන ඇති අතර, නීතිය හා සාමය ආරක්ෂා කරන මෙවැනි ආයතන මීට වඩා පරිස්සමෙන් වැඩ කටයුතු සිදු කළ යුතු බව, මෙම සිද්ධිය පැතිර යෑමත් සමග එම පොලිසිය ආසන්නයේ නගර වැසියන් පිරිසක් පැවසූහ.

මිහින්තලේ – රංග චතූ

advertistmentadvertistment
advertistmentadvertistment