රාජපක්ෂ පාලනයට දඬුවම් ඉල්ලා ජුලියන් බෝලින්  ගොනු කළ පෙත්සම සලකා බැලීම 4 වැනිදා

304

අප රට මෙවැනි ආර්ථික ප්‍රපාතයකට ඇද වැටීමට මූලික හේතුව වූයේ රාජපක්ෂ පාලන සමයේ ගත් අදූරදර්ශී ආර්ථික කළමනාකරණය හා මහා පරිමාණ බදු කපාහැරීම් බවත් ඒ නිසා එයට වගකිවයුතු සියලු දෙනාට එරෙහිව විධිමත් පරීක්ෂණයක් පවත්වා නිසි දඬුවම් ලබාදෙන ලෙසට නියෝගයක් කරන ලෙසත් ඉල්ලා ජාත්‍යන්තර පදක්කම්ලාභී ක්‍රීඩකයකු වන ජුලියන් බෝලින් මහතා ඇතුළු පිරිසක් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන 4 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේදී කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (01දා) නියෝග කළේය.

අනීතික ලෙස හා අධික ලෙස මහා පරිමාණ ව්‍යාපාරිකයන්ගේ බදු කපාහැරීම්, බදු සහන ලබාදීම් මෙන්ම නිසි කල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගැනීමට නිසි පියවර නොගත් හිටපු අගමැති මහින්ද රාජපක්ෂ, හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ, හිටපු මහ බැංකු අධිපතිවරුන් වන මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන්, අජිත් නිවාඩ් කබ්රාල් හා මහ බැංකු මූල්‍ය මණ්ඩලයට අධිකරණයේ අවසරයකින් තොරව විදේශගත වීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ද ඉල්ලා ගොනු කර තිබූ එම පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේදී කැඳවිණි.

එහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සී.ජයසුන්දර මහතා කළ කරුණු දැක්වීම් සලකා බැලූ විනිසුරු මඬුල්ල එම නියෝගය කළේය.

එම පෙත්සමේ සෙසු වගඋත්තරකරුවන් ලෙස ජනාධිපතිවරයා වෙනුවට නීතිපතිවරයාත්, හිටපු අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි, වර්තමාන අගමැති රනිල් වික්‍රමසිංහ, වර්තමාන මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් එස්. ආර්. ආටිගල හා එම අමාත්‍යාංශයේ වර්තමාන ලේකම් මහින්ද සිරිවර්ධන, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් හා එහි ලේකම් නීතිඥ ඉසුරු බාලපටබැඳි යන මහත්වරුන් නම් කොට තිබිණි.

වරලත් ගණකාධිකාරි චන්ද්‍රා ජයරත්න, ජෙහාන් කනගරත්න හා ජුලියන් බෝලින් හා ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර් නැෂනල් ශ්‍රී ලංකා ආයතනය විසින් නීතිඥ උපේන්ද්‍ර ගුණසේකර මහතා මගින් එම පෙත්සම ගොනු කර තිබිණි.

නීතිඥ මනිෂා දිසානායක ඇතුළු නීතිඥ මණ්ඩලයක් සමග ජනාධිපති නීතිඥ සී. ජයසුන්දර මහතා පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටියේය.

එවැනි ආර්ථික පරිහානියකට හේතු පාදක වූ තීරණ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව, කොප් කමිටුව, මුදල් අමාත්‍යාංශය ඇතුළු ආයතන සතු ලේඛන මෙන්ම ඒ සම්බන්ධයෙන් වගඋත්තරකරුවන් නිකුත් කර ඇති නිවේදන කැඳවා විධිමත් විමර්ශනයක් සිදුකරන්නැයි ඉල්ලා ඇති පෙත්සම්කරුවන් එකී අදූරදර්ශී ක්‍රියාකලාප නිසා තමන් ඇතුළු රට වැසියන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට නිගමනය කරනා ලෙසට ද ඉල්ලා ඇත.

එමගින් රටේ සියලු පුරවැසියන්ට සමානව සැලකීමට ඇති අයිතිය තහවුරුව ඇති ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගන්ති උල්ලංඝනය වී ඇති බවට නිගමනය කරනා ලෙසට ද පෙත්සම්කරුවන් වැඩිදුරටත් ඉල්ලා ඇත.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment