පාරේ විකුණන මාස්ක් සහ ඔක්සිමිටර් බාල ඇන්ටිජෙන් කිට් මාකට් එකේ

93

බාල බඩු වැහිවැහැලා, ජාවාරම්කාරයෝ බෝවෙලා ප‍්‍රමිතිය ගැන රටේ ජනතාව දන්නෙත් නැහැ

වසංගතය වසන්තයක් කරගත් කූට ජාවාරම්කරුවන් අසරණ මිනිසුන් පසුපස හඹා ගොස් මුදල් ඉපැයීම ආරම්භ කළේ කොවිඞ් වසංගතය ආරම්භයත් සමඟම ය. රට පුරා බොහෝ ඔසුසල්වල මුහුණු ආවරණ හිඟයක් මවාපාමින් රුපියල් විස්සට, තිහට විකුණුම් මිල සටහන් කර තිබූ මුහුණු ආවරණ රුපියල් දෙසීය තුන්සීය වැනි මුදල්වලට විකුණූ සිදුවීම් ඕනෑ තරම් ය. එයිනුත් නොනැවතී කොත්තමල්ලි වෙනිවැල්ගැට, පෙරුම්කායම් ආදී සියල්ල ද මිල පාලනයක් නොමැතිව අලෙවි වන්නට පටන් ගත්තේ කොරෝනාවලින් ආරක්ෂා වීමට මිනිසුන් ඕනෑම දෙයක් මිලදී ගන්නා බව වෙළෙඳුන් හොඳින් අවබෝධ කරගත් නිසාය.

වසංගත තත්ත්වය තව තවත් බැරෑරුම් වෙද්දී බොරදියේ මාළු බාන කූට වෙළෙන්දන්ට එය තවත් සුබ ආරංචියක් පමණක්ම වන්නට ඇත. මුහුණු ආවරණ, විෂබීජනාශක දියර, විවිධ ඖෂධ වර්ග මිල පාලනයකින් තොරව අලෙවි කිරීමට ඔවුහු අවස්ථාව උදාකර ගත්හ. දිවයිනේ කිසිදු ඖෂධ හලක අත්‍යවශ්‍යම ප‍්‍රතිකාරයක් සඳහාවත් විටමින් සී පෙත්තක් සොයා ගැනීම කළුනික සොයනවාටත් වඩා අසීරු කටයුත්තක් බවට පත් විය.

නමුත් දිගින් දිගටම අත්තනෝමතිකව මිල නියම කරමින් අසරණ ජනතාවට වැඩි මිලකට අලෙවි කරන සෞඛ්‍ය උපාංග කට්ටල, ඖෂධ ආදිය ඇතැම් අවස්ථාවල ප‍්‍රමිතියෙන් තොර, තත්ත්ව සහතිකයක් වත් නොමැති ඒවා බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය පෙන්වාදෙයි.

ගුණාත්මක බව සහ ප‍්‍රමිතිය සහතික නොකළ ඖෂධ සහ සෞඛ්‍ය උපාංග කට්ටල භාවිතය මඟින් ජනතාව තවත් ලෙඩ රෝගවලට ගොදුරු විය හැකි බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි. අද වන විට මුහුණු ආවරණ, අත්වැසුම්, විෂබීජනාශක දියර ආදිය අත්‍යවශ්‍යම භාණ්ඩ බවට පත් වී තිබේ. නමුත් මේවා පරිහරණය කිරීමේදී ජනතාව වඩාත් සැලකිලිමත් විය යුතුව ඇත. වෙළෙඳපොළෙහි විකිණීමට තබා ඇති සියල්ලම භාවිතයට සුදුසු ඒවා නොවේ.

  • ඔක්සිමීටර් ගැන මීටරෙන් ඉන්න

කොවිඞ් ආසාදිත පුද්ගලයන්ට ශ්වසන අපහසුතා ඇති වීම ප‍්‍රධාන රෝග ලක්ෂණයකි. එම නිසා ශ්වසනාබාධ ඇත්දැයි නිවසේ සිටම පරීක්ෂා කරගැනීමට ඔක්සිමීටර් භාවිත කළ හැකිය. මෙම උපකරණය මඟින් රුධිරයේ ඇති ඔක්සිජන් ප‍්‍රමාණය මැන බැලීම සිදු කරනු ලබයි. එහිදී සාමාන්‍ය තත්ත්වය 100% ලෙස හඳුන්වන අතර 96% දක්වා අඩුවීම එතරම් ගැටලූවක් නොවුණද ඔක්සිජන් ප‍්‍රතිශතය 96% ට වඩා අඩු වීම ගැටලූකාරී තත්ත්වයක් ලෙස වෛද්‍යවරුන් පෙන්වා දෙයි. කෙසේ වෙතත් පසුගිය දින කිහිපය තුළම ප‍්‍රමිතියෙන් තොර ඔක්සිමීටර් රැසක් දිවයිනේ විවිධ ප‍්‍රදේශවලින් සොයාගෙන ජාතික ඖෂධ නියාමන අධිකාරිය භාරයට ගත් බව එහි ප‍්‍රධාන ආහාර හා ඖෂධ පරීක්ෂක අමිත් පෙරේරා මහතා පැවැසීය.

”තත්ත්වයෙන් බාල ඔක්සිමීටර් භාවිතයෙන් සිරුරේ ඔක්සිජන් මට්ටම පිළිබඳ වැරදි දත්ත ලබා දෙනවා.

මේ හේතුවෙන් ජනතාව අනවශ්‍ය කලබලයට පත් වෙලා රෝහල් ගත වන අවස්ථා තියනවා. ඒත් සමඟ කොවිඞ් ආසාදනය නොවූ පුද්ගලයින් පවා රෝහල්වලට ඇතුළත් වෙනවා. රෝහල් ධාරිතාව ඉක්මවලා තියෙන අවස්ථාවක මෙලෙස රෝගීන් රෝහල් ගතවීමත් ගැටලූවක්. මේ නිසා ජනතාව ඔක්සිමීටර් මිලදී ගන්නවා නම් ප‍්‍රමිතියකින් යුතු ඒවා පමණක් මිලදී ගත යුතුයි. වෙළෙඳපොළට නිකුත් කිරීමට අවසර ලබා දී තිබෙන ඔක්සිමීටර් නිෂ්පාදනවල තොරතුරු ජාතික ඖෂධ නියාමන අධිකාරියේ වෙබ් අඩවියේ ද ඇතුළත් කර තිබෙනවා.”

තත්ත්වයෙන් උසස් ඔක්සිමීටර මිලදී ගැනීමේදී ඊට බිල්පතක් ලබා දීම අනිවාර්යය අතර මාස 06ක වගකීම් කාලයක් ද ලබා දිය යුතු බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය ඖෂධහල් හිමියන්ට මතක් කරයි. ඖෂධහලකින් මෙම උපකරණ මිලදී ගැනීමේදී වගකීම් සහතිකයක් නිකුත් නොකරන්නේ නම් එවැනි ඔක්සිමීටර් මිලදී ගැනීමෙන් වළකින ලෙස ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප‍්‍රධාන ආහාර හා ඖෂධ පරීක්ෂක අමිත් පෙරේරා මහතා අවධාරණය කළේය.

රජයේ ඔසුසැල්වලින් (SPC) සහ ලියාපදිංචි පෞද්ගලික ආයතනවලින් තත්ත්වයෙන් උසස් ඔක්සිමීටර ලබා ගැනීමේ හැකියාව පවතී. ප‍්‍රමිතියෙන් තොර ඔක්සිමීටර් පාරිභෝගිකයින්ට අලෙවි කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට හා එම උපකරණ වෙළෙඳපොළෙන් ඉවත් කිරීමට අඛණ්ඩ මෙහෙයුම් ක‍්‍රියාත්මක බවද අමිත් පෙරේරා මහතා වැඩිදුරටත් කියා සිටියේය.

ප‍්‍රමිතියෙන් තොර වුවත් ඇතැම් ඖෂධ හිමියන් විසින් මිල පාලනයක් පවා නොමැතිව මෙම උපකරණ විශාල මුදලකට අලෙවි කරන නිසා සෞඛ්‍ය අමාත්‍යාංශය විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් ඔක්සිමීටරයක් අලෙවි කළ හැකි උපරිම සිල්ලර මිල රුපියල් තුන්දාහක් බවට දැනුම් දෙන ලදී. එමෙන්ම එම මිල මකා දැමිය නොහැකි ලෙස ඔක්සිමීටරයේ සටහන්ව තිබිය යුතුය.

  • රැපිඞ් ඇන්ටිජන් කට්ටල පිටකොටුවටත්
පාරේ විකුණන මාස්ක් සහ ඔක්සිමිටර් බාල ඇන්ටිජෙන් කිට් මාකට් එකේ

කොවිඞ් ආසාදිත පුද්ගලයෙකු කඩිනමින් හඳුනාගැනීම සඳහා රැපිඞ් ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල භාවිත කරනු ලබයි.

රැපිඞ් ඇන්ටිජන් උපාංග කට්ටල මෙරටට ගෙන්වන්නේ දැඩි නියාමනයක් යටතේ වුවද කූට ලෙස ඒවා ගෙන්වා පිටකොටුවේදී අලෙවි කරන පිරිසක් පිළිබඳව තොරතුරු අනාවරණය විය. රැපිඞ් ඇන්ටිජන් උපාංග මෙරටට ආනයනය කරනු ලබන්නේ සෞඛ්‍ය අමාත්‍යංශය සහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අවසරලත් ආයතන දෙකක් පමණි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවසරලත් ප‍්‍රමිතිගත ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල මෙරටට ගෙන්වා රජයේ හා පෞද්ගලික රෝහල්වලට බෙදා හරිනු ලබයි.

ලෝකයේ ඇතැම් රටවල් රැපිඞ් ඇන්ටිජන් කට්ටල නොමිලයේ බෙදා දෙන අවස්ථා ද ඇත. මෙරට තුළ ඇන්ටිජන් පරීක්ෂණයක මිල ලෙස ජාතික ඖෂධ නියාමන අධිකාරිය රුපියල් 1146 ක මුදලක් අනුමත කර තිබේ. නමුත් එවැනි ක‍්‍රමවේදවලින් බැහැරව ඇතැම් පුද්ගලයින් රුපියල් දෙදාහක් වැනි ඉහළ මිලකට මෙම පරීක්ෂණ සිදු කරයි.

කොරෝනා වෛරසය හඳුනා ගැනීමට භාවිත කරන මෙවැනි උපකරණ අත්තනෝමතික ලෙස අලෙවි කිරීම නීති විරෝධී ක‍්‍රියාවකි. එමෙන්ම පුද්ගලිකව මෙම පරීක්ෂණ සිදු කිරීමේ අවදානමක් ද පවතී.

  • මාස්ක් එක දැනගෙන දාන්න

මේ වන විට නගරයේ බොහෝ තැන්වල මුහුණු ආවරණ අලෙවියට තබා තිබීම නුහුරු දෙයක් නොවේ. විවිධ වර්ණවලින් මෝස්තරවලින්, සහ ප‍්‍රමාණවලින් මුහුණු ආවරණ අලෙවියට තබා තිබුණ ද ඒ සියල්ලම සෞඛ්‍යාරක්ෂිත ද යන්න ගැටලූවකි. ජීවිකාව අහිමි වීමත් සමඟ මුහුණු ආවරණ සහ අනෙකුත් සෞඛ්‍ය උපාංග කට්ටල අලෙවි කිරීම ජීවිකාව කරගත් බව බොහෝ දෙනකු පවසයි. කොවිඞ් වසංගතයත් සමඟ ආර්ථිකය කඩා වැටීම හා මිනිසුන්ගේ ජීවිකාව අහිමි වීම වෙනමම කතා කළ යුතු කාරණාවකි. කෙසේ වෙතත් මේ වන විට විවිධ වර්ගවල මුහුණු ආවරණ වෙළෙඳපොළට පැමිණ තිබේ. ඇතැම් ඒවා සාමාන්‍ය රෙදිවලින් මැසූ ඒවාය.

ජලය කාන්දු නොවන, ලේයර තුනකින් යුක්ත මුහුණු ආවරණ වඩාත් සෞඛ්‍යාරක්ෂිත බව සෞඛ්‍ය විශේෂඥයන් පෙන්වා දෙයි. මුහුණු ආවරණයක් නොපැලඳ සිටිනවාට වඩා රෙදිවලින් නිම කරන ලද මුහුණු ආවරණයක් හෝ පැලඳීම අත්‍යවශ්‍ය බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි. හැකියාව ඇත්නම් උසස් තත්ත්වයේ මුහුණු ආවරණ පැළඳීමෙහි ගැටලූවක් නැති බවත් කොවිඞ්වලින් ආරක්ෂා වීමට නම් නාසය සහ මුඛය ආවරණය වන ලෙසට මසා නිම කළ මුහුණු ආවරණ භාවිත කළ යුතු බවත් හේමන්ත හේරත් මහතා වැඩිදුරටත් කියා සිටියේය.

එමෙන්ම එක් එක් වයස් පරතරවලට ගැළපෙන ලෙසින් මුහුණු ආවරණ තෝරාගත යුතු අතර මුහුණට නොගැළපෙන ලෙස මුහුණු ආවරණ පළඳින විට ලිහිල් කොටස් හරහා වෛරසය ඇතුළු විය හැකිය.

එක් වතාවක් භාවිත කර ඉවත් කළ යුතු මුහුණු ආවරණ පවා ඇතැම් පිරිස් සෝදමින් භාවිත කළද එමඟින් ආරක්ෂාව සියයට සියයක් තහවුරු නොවන බවට වෛද්‍යවරුන් පෙන්වා දෙයි. මේ නිසා මුහුණු ආවරණ මිලට ගන්නා විට ඒවා නිසි ප‍්‍රමිතියෙන් යුතුද යන්න සොයා බලා මිලදී ගත යුතු බව සෞඛ්‍ය අංශ නිලධාරීන් මහජනතාවට දැනුම් දෙයි.

  • සැනිටයිසර් හැම එකක්ම විෂබීජ නාශකද?
පාරේ විකුණන මාස්ක් සහ ඔක්සිමිටර් බාල ඇන්ටිජෙන් කිට් මාකට් එකේ

විෂබීජනාශක දියර භාවිතයද බොහෝ දෙනෙකු සිදුකරන්නේ අනවබෝධයෙන් බව රජයේ දන්ත ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය විපුල වික‍්‍රමසිංහ මහතා පවසයි. විෂබීජනාශක දියර මේ වන විට අත්‍යවශ්‍ය අංගයක් බවට පත්ව තිබේ. සබන් දා හොඳින් අත් සේදීම ප‍්‍රමාණවත් වුවත් කාර්යාලයේදී හෝ අතරමඟදී සබන් යොදා අත් සේදීමට අපහසු නිසා විෂබීජනාශක දියර හෙවත් සැනිටයිසර් භාවිත කරයි. මේ වන විට විවිධ නම්වලින් සහ විවිධ වර්ගවල විෂබීජනාශක දියර වෙළෙඳසල්වල විකිණීමට තබා තිබේ.

හෑන්ඞ් සැනිටයිසර් නිෂ්පාදනය කිරීම සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය උපදෙස් මාලාවක් ලබා දී ඇත. ඒ අනුව ඊතයිල් මධ්‍යසාරය (එතනෝල්) 80% ක් හෝ අයිසෝප්‍රොපයිල් මධ්‍යසාරය 75% ලෙස අවසාන වශයෙන් තිබෙන පරිදි නිෂ්පාදන කටයුතු සිදුකිරීම වඩාත් යෝග්‍ය බව ඔවුන් පෙන්වා දෙයි. මෙම සැනිටයිසර් සඳහා යොදාගන්න අමුද්‍රව්‍ය ඉතා අඩු උෂ්ණත්වවලදී ගිනි ඇවිලෙන සුළු බැවින් සහ ඉතා අඩු උෂ්ණත්වවලදී වාෂ්ප වන බැවින් වායුසමීකරණය කරන ලද හෝ සිසිල් පරිසරයක නිෂ්පාදනය මෙන්ම ගබඩා කිරීම ද යෝග්‍ය බව එම ආයතනය පවසයි.

ඒ අනුව ප‍්‍රමිතියෙන් යුතු විෂබීජ නාශක දියරවල ඇල්කොහොල් ප‍්‍රතිශතය සියයට හැත්තැපහක පමණ අගයක් ගත යුතු බව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප‍්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය කමල් ජයසිංහ මහතා පවසයි. එසේ නොවන විෂබීජ නාශක දියර භාවිත කිරීමෙන් ප‍්‍රතිඵලයක් ලැබෙන්නේ නැති නිසා නිකරුණේ මුදල් වියදම් කරමින් ඒවා මිලදී ගැනීම සිදු නොකරන ලෙසට ඒ මහතා ජනතාවට පවසයි.

ඉහත සඳහන් කළ උපාංගවලට අමතරව අත් වැසුම්, ආරක්ෂිත ඇඳුම් කට්ටල ආදිය ද වෙළෙඳපොළේ සුලබය. බොහෝ ඖෂධ මෙන්ම ඔක්සිජන් පවා නිවෙස් තුළට ගෙන ගොස් තබා ගන්නා පිරිසක් ද සිටී.

විශේෂඥ වෛද්‍යවරුන් පවසන්නේ නිසි වෛද්‍ය අනුමැතියක් පවා නොමැතිව මෙලෙස වෛද්‍ය උපකරණ කට්ටල සහ ඖෂධ භාවිත කිරීම භයානක තත්ත්වයක් බවයි. එම නිසා සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකුගේ නිර්දේශයක් නොමැතිව ඖෂධ ලබා නොගන්නා ලෙසටත් සෞඛ්‍ය අංශ අනුමත කළ සෞඛ්‍ය උපකරණ පමණක් මිලට ගන්නා ලෙසටත් සෞඛ්‍ය අංශ ජනතාවට දැනුම් දෙයි. තත්ත්ව පාලනයකින් හා මිල පාලනයකින් තොරව අලෙවි කරන ඖෂධ හා වෛද්‍ය උපකරණ පිළිබඳ තොරතුරු දන්නේ නම් ඒ පිළිබඳව ජාතික ඖෂධ නියාමන අධිකාරියට දැනුම් දෙන ලෙස එම ආයතනය ජනතාවගෙන් ඉල්ලා සිටී.

”මේ වෙද්දි සැනිටයිසර්, මාස්ක් අත්‍යවශ්‍යම අංග බවට පත්වෙලා. ඒත් අවශ්‍යතාවය වැඩි වෙන තරමට ම ඒවායේ නිෂ්පාදනයත් වැඩි වෙලා කියලා අපිට පේනවා. මෙරටට ගෙන්වන හෝ අපේ රටේම නිෂ්පාදනය කරන හැම මාස්ක් එකක්ම, සැනිටයිසර් එකක්ම නිසි ප‍්‍රමිතියෙන් ම ද කියලා තහවුරු කරලා නෑ. ඒ වගේම ඒවා නිසි ලෙස ගබඩා කරනවද කියන එකත් ප‍්‍රශ්නයක්. ඒ නිසා ප‍්‍රමිතිය, තත්ත්වය, මිල පාලනය සම්බන්ධයෙන් මෙරට ප‍්‍රමිති ආයතන සහ නියාමන අධිකාරිය විසින් සොයා බැලිය යුතුයි” ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ ලේකම් වෛද්‍ය කමල් පෙරේරා මහතා අදහස් දැක්වීය. මේ මොහොතේ වගකිවයුතු ආයතන, බලධාරීන්, අලෙවිකරුවන් මෙන්ම ජනතාව ද බුද්ධිමත්ව කටයුතු කළ යුතු බවද වෛද්‍යවරයා වැඩිදුරටත් සිහිපත් කළේය.

නිරෝෂා වාසල

advertistmentadvertistment
advertistmentadvertistment