ගනුදෙනු හබයෙන් ලේ රත්වී ස්කුරුප්පු නියන් පහරින් තිදරු පියා ජීවිතක්ෂයට

235

මාකොළ සිරි මංගල පාරේ හතරවන පටුමගේ නිවෙසක් අසල දී තිදරු පියෙකුට ස්කුරුප්පු නියනකින් ඇන මරා දැමූ සැකකරුවකු සපුගස්කන්ද පොලිසිය මගින් පෙරේදා (30 වැනිදා) පස්වරුවේ අත්අඩංගුවට ගෙන ඇත.

ඊට පෙරදින (29 වැනිදා) පස්වරු 3.30 ට පමණ මියගිය අය තම මිතුරකුගේ මුදල් ගනුදෙනුවක් සම්බන්ධව කතා කිරීමට එම මිතුරා සමග ත්‍රිරෝද රථයකින් මාකොළ සිරි මංගල පාරේ හතරවන පටුමගේ නිවෙසක තාවකාලිකව පදිංචි වී සිටි සැකකරු හමුවීමට ගිය අවස්ථාවේ ඇතිවු බහින් බස් වීමක් මත මේ ඝාතනය සිදුකර තිබේ.

මේ සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ රොෂාන් චමින්ද නමැති 41 හැවිරිදි තිදරු පියෙකි.

මේ සම්බන්ධව මහෙස්ත්‍රාත් පරීක්ෂණය සඳහා මහර වැඩ බලන මහෙස්ත්‍රාත් දේශාල් පෝල් මහතා පෙරේදා (30 වැනිදා) දහවල් සිද්ධිය වූ ස්ථානයට පැමිණ මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා රාගම මහා රෝහලට යොමු කරන ලෙසට පොලිසියට නියෝග කෙරිණි. අත්අඩංගුවට ගන්නා ලද සැකකරු මාකොළ සිරි මංගල පාරේ හතරවන පටුමගේ තාවකාලික නිවෙසක පදිංචි 37 හැවිරිදි විවාහකයෙකු වන අතර ඔහු මහර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබිණි.

මේ සිද්ධිය සම්බන්ධව සපුගස්කන්ද පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඔසිත ලංකා ද සිල්වා මහතාගේ උපදෙස් අනුව අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ඩී. පී. එස්. එල්. මුතුකුමාරණ, පොලිස් සැරයන්වරුන් වන පෙරේරා (32560), මහේෂ් (35433) හා රත්නායක (67950) යන නිලධාරීහු තවදුරටත් පරීක්ෂණ පවත්වති.

දෙල්ගොඩ – ඩබ්ලිව්. ඩී. විතාන හා බියගම – සුදත් පුබුදු කීර්ති

advertistmentadvertistment
advertistmentadvertistment