අයියාට පොලු පහරදී සිරුර ගිනි තැබූ මල්ලී කටඅරී

173

මල්ලි විසින් අයියාට පොල්ලකින් ගසා ඝාතනය කර මෘත ශරීරය පුළුස්සන ලදැයි සැකකෙරෙන 55 හැවිරිදි මරණකරුගේ මල්ලීව 01 වෙනි දින අකුරැස්ස පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ අකුරැස්ස, හේනේගම, බලපාත, උඩුගමවත්ත හේන පදිංචිව සිටි 65 හැවිරිදි මනම්පේරිගේ කරුණාදාස නමැති අයෙකි.

මියගිය අයියා සහ පහරදුන් මල්ලීගේ නිවෙස් දෙකම පිහිටා ඇත්තේ එකම ඉඩමක වන අතර මියගිය අයියා බිරිඳ සමග පදිංචිව සිටින්නේ දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේය. කුරුඳු තැලීම ඔහුගේ රැකියාව වන අතර මසකට වරක් ගමේ නිවසට පැමිණ කුරුඳු තලා මුදල් රැගෙන යළි දෙහිඅත්තකණ්ඩියට යන බව සඳහන් වේ.

ඉකුත් ඔකතෝම්බර් මස 28 වෙනි දින නිවසට පැමිණෙන බව කියා සිටියත් ඔහු නොපැමිණීම ගැන ඔහුගේ බිරිඳ විසින් පොලිසියට කරන ලද පැමිණිල්ල අනුව පොලිසිය විසින් විමර්ශනය කරන ලදී. ඒ අනුව සැකකරුගෙන් පොලිසිය කරන ලද ප්‍රශ්න කිරීම් හමුවේ කරුණු රාශියක් අනාවරණය කරගැනීමට පොලිසිය සමත්විය.

පසුගිය ඔක්තෝම්බර් 27 වෙනි දින රාත්‍රී සැකකරු දඩයමේ ගොස් 28 උදේ 4.00 ට පමණ නිවසට පැමිණෙන විට ළිඳ ළඟදී අයියාට පොල්ලකින් පහරදී ඝාතනය කර දින 03 ක් මුළුල්ලේ පෙට්‍රල් දමා මෘත ශරීරය පුළුස්සා ඉතිරි සුන්බුන් අසළ දොළට දමන ලද බව අනාවරණයවී ඇත. වැඩිදුර ප්‍රශ්න කිරීම් හමුවේ සැකකරුගේ බිරිඳ මෙයට වසර දෙකකට පෙර දියේ ගිලී මියගොස් ඇතැයිද ඊට පෙර මියගිය අයියාත් තම බිරිඳත් අතර අනියම් සම්බන්ධයක් තිබූ බැවින් තමන් ඔහු සමග වෛරයකින් පසුවූ බව අනාවරණයවී තිබේ.

අකුරැස්ස සහකාර පොලිස් අධිකාරී මහේෂ් පෙරේරාගේ උපදෙස් මත අකුරැස්ස පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුදත් සුදුසිංහගේ මෙහෙයවීමෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ධර්මවර්ධන මහතා විසින් සැකකරුව අත්අඩංගුවට ගෙන තිබේ. අපරාධ විමර්ශන අංශයේ උප පොලිස් පරීක්ෂකවරුන් වන ලලිත් නූපේහේවා, ප්‍රියන්ත ජයලත්, සැරයන්වරුන් වන (19756) සුගතදාස, (39734) නයනජිත්, (18747) වජිර යන නිලධාරීහු ඉදිරි පරීක්ෂණ කටයුතු මෙහෙයවති.

සමන් උපුල් පිනිදිය – අකුරැස්ස

advertistmentadvertistment
advertistmentadvertistment