ශ්‍රී ලංකාව සමග අපි ඉන්නවා – ඉරාන ජනපතිගෙන් යළි සහතිකයක්

204

වසර 45ක දී ඉරානය ලබාගත් අත්දැකීම් ශ්‍රී ලංකාවේ ප්‍රගතිය හා සංවර්ධනය සඳහා ලබාදීමට සූදානම් බව ඉරාන ජනපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසි මහතා ඊයේ (24 දා) පැවසීය. මහවැලි ව්‍යාපාරයෙන් පසුව මෙරට ක්‍රියාත්මක දැවැන්ත වාරි ව්‍යාපෘතියක් ලෙස ලක් ඉතිහාසයට එක් වන “උමා දිය ජනනි” බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඉරාන ජනාධිපතිවරයා මේ බව පැවසීය.

ඉරානය ලබාගත් අත්දැකීම් ශ්‍රී ලංකාවේ සංවර්ධනයට ලබාදීමට සූදානම්
ඉරාන ජනපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසි

ශ්‍රී ලංකාව සමග අපි ඉන්නවා - ඉරාන ජනපතිගෙන් යළි සහතිකයක්

වසර 45ක් තුළ ඉරානය ලබාගත් අත්දැකීම් ශ්‍රී ලංකාවේ ප්‍රගතිය හා සංවර්ධනය සඳහා ලබාදීමට සූදානම් බව ඉරාන ජනපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසි මහතා ඊයේ (24 දා) පැවසීය.

මහවැලි ව්‍යාපාරයෙන් පසුව මෙරට ක්‍රියාත්මක දැවැන්ත වාරි ව්‍යාපෘතියක් ලෙස ලක් ඉතිහාසයට එක් වන “උමා දිය ජනනි” බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඉරාන ජනාධිපතිවරයා මේ බව පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරාධනයෙන් මෙම අවස්ථාවට එක් වූ ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසි මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉතා උණුසුම් ලෙස පිළිගනු ලැබීය.

දෙරටේ නායකයන් එක්ව සමරු ඵලකය නිරාවරණය කර “උමා දිය ජනනී’ බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ජනතා අයිතියට පවරා දුන් අතර ඩිජිටල් තාක්ෂණය ඔස්සේ විදුලි ජනන යන්ත්‍ර පණ ගන්වා මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීම ද ජනාධිපතිවරුන් දෙදෙනා අතින් සිදු කෙරිණි.

ගෝලීය දකුණේ රටවල් සිය අනන්‍යතාව සහ ස්වාධීනත්වය තහවුරු කිරීමට ඇති කැමැත්ත මෙහිදී සිහිපත් කළ ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් ගෝලීය දකුණේ රටවල් එක්ව නැගී සිටිය යුතු බව ද අවධාරණය කළේය.

මෙහිදී අදහස් දැක්වූ ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතා සඳහන් කළේ මෙම ව්‍යාපෘතිය ඉරානය සහ ශ්‍රී ලංකාව අතර මිත්‍රත්වයේ සංකේතයක් පමණක් නොව ආසියානු කලාපයේ ජාතින් අතර උපරිම සහයෝගිතාව, ඒකාබද්ධතාවය, සහජීවනය සහ එකමුතුකමේ සහතිකයක් ද වන බවයි.

ශ්‍රී ලංකාව සමග මනා හවුල්කාරිත්වයකින් ඉදිරියට යෑමට ඉරානය සූදානම් බව මෙහිදී සහතික කළ ඉරාන ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක විශාල සංවර්ධන ව්‍යාපෘති සඳහා තාක්ෂණික හා ඉංජිනේරු සේවා සැපයීම තුළින් ශ්‍රී ලංකාවේ ප්‍රගතිය සහ සංවර්ධනය සඳහා දායක වීමට ඉරානය සූදානමින් සිටින බවද සඳහන් කළේය.

ඉරානයේ ෆරාබ් සමාගම විසින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර තිබෙන අතර සම්පූර්ණ කොන්ත්‍රාත් මුදල ඇමරිකානු ඩොලර් මිලියන 514 ක් වන අතර කොන්ත්‍රාත්තුව 2010 මාර්තු 15 දින සිට බලාත්මක විය. ඉරානයේ අපනයන සංවර්ධන බැංකුව පළමුව 2013 වන තෙක් ඩොලර් මිලියන 50 ක් අරමුදල් සම්පාදනය කළේය. කෙසේ වෙතත්, ඉරානයට එරෙහිව එම කාලයේ පැනවුණු ජාත්‍යන්තර සම්බාධක හේතුවෙන්, ඔවුන්ට දිගටම ව්‍යාපෘතිය සඳහා මූල්‍ය පහසුකම් සැපයීමට නොහැකි විය. එබැවින් අදාළ කොන්ත්‍රාත්කරු වූ ෆරාබ් සමාගම සමග රජයේ අරමුදල් යොදා ගනිමින් ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යෑමට ශ්‍රී ලංකා රජය තීරණය කළේය.

විදුලිය උත්පාදනය කිරීමෙන් පසු එම ජලය උමගක් ඔස්සේ කිරිඳි ඔය හරහා ඉදිකරන ලද අලිකෝට ආර ජලාශයට හරවා යවනු ලැබේ.

ඉන්පසු එම ජලය උමා ඔය ජලාශයේ වම් ඉවුරේ පිහිටි මෙම ව්‍යාපෘතිය යටතේ ධාරිතාව තුන් ගුණයකින් වැඩි කර ඇති හඳපානාගල ජලාශයට සහ මෙම ව්‍යාපෘතිය යටතේ මොණරාගල දිස්ත්‍රික්කයේ වැල්ලවාය, මහාරගම, තණමල්විල, බලහරුව වැනි ප්‍රදේශවලට ජලය සැපයීම සඳහා උමා ඔය දකුණු ඉවුරේ ඉදි කෙරෙමින් පවතින නව කුඩාඔය ජලාශයටත් හරවා යවනු ලැබේ. මීටර් 60 කට වැඩි දිගකින් යුත් වාරි පද්ධතියක් ද ඉදිවෙමින් පවතී. මෙම වාරි ක්‍රම මගින් යල සහ මහ දෙකන්නයේම දැනට පවතින වගා බිම් හෙක්ටයාර 1500කට සහ අලුතින් සංවර්ධනය කරන ලද ඉඩම් හෙක්ටයාර 4500කට වාරි ජලය සැපයීමට අපේක්ෂා කෙරේ.

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ සෘජු දායකත්වයෙන් ක්‍රියාත්මක වන උමාඔය පහළ ජලාශ සංවර්ධන ව්‍යාපෘතිය මගින් කිරිඳිඔය ද්‍රෝණියේ දීර්ඝ කාලයක සිට ගැටලුවක්ව පැවති ජල හිඟය සම්පූර්ණයෙන් අවසන් වන අතර, ලැබෙන ජලයෙන් උපරිම ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා නව තාක්ෂණය යොදා ගනිමින් ඒකාබද්ධ කෘෂිකර්ම සංවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලෙස රජය අදාළ නිලධාරීන්ට උපදෙස් දී ඇත. එමෙන්ම උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය මගින් බණ්ඩාරවෙල සහ වැල්ලවාය ප්‍රදේශවල පානීය හා කර්මාන්ත අවශ්‍යතා සඳහා ජලය ලබාදීමේ ගැටලුවට ද විසඳුම් ලබා දී තිබේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා :

අද මෙම අවස්ථාවට සහභාගිවීමට කරන ලද ආරාධනය පිළිගැනීම පිළිබඳව මා ඉරාන ජනාධිපතිතුමාට ස්තුතිවන්ත වෙනවා. මෙම අවස්ථාව අප දෙරට අතර වඩා සමීප සබඳතාවක් ඇති කළ අවස්ථාවක් ලෙස මා දකිනවා.

මෙම ව්‍යාපෘතිය ආරම්භ කරනු ලැබුවේ මගේ ධුර කාලයට පෙර සිටි නායකයන් බව කිව යුතුයි. ඒ වගේම වියළි කලාපයට ජලය ලබාදෙන මෙම ව්‍යාපෘතිය පිළිබඳ විශේෂ උනන්දුවක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් දක්වනු ලැබුවා. මෙම ව්‍යාපෘතිය සම්පූර්ණ කිරීමේ වගකීම හිටපු කථානායක චමල් රාජපක්ෂ මහතා විසින් භාරගෙන කටයුතු කළා.

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී විවිධ අභියෝගවලට මුහුණ දීමට සිදු වුණා. නමුත් අප දෙරටටම අභියෝගවලට මුහුණ දී මනා පළපුරුද්දක් තිබෙනවා. ඒ නිසා අපි මෙම අභියෝගයටද සාර්ථකව මුහුණ දුන්නා.

ඒ වගේම මෙම උමා ඔය ව්‍යාපෘතිය අප දෙරටේම පැරණි වාරි සම්ප්‍රදායන් දෙකෙහි එකතුවක් ද වෙනවා. ඉරානයේ පරිසියාව සහ ශ්‍රී ලංකාවේ අනුරාධපුරයේ වාරි සම්ප්‍රදාය මෙහි තිබෙනවා. ඉරානයේ තාක්ෂණික දැනුම නොතිබෙන්නට අපට උමා ඔයේ ජලය කිරිඳිඔයට ගෙන යෑමට අවස්ථාවක් නොලැබෙන බව කිව යුතුයි.

ඉරානයේ තාක්ෂණික හැකියාව සෑම ක්ෂේත්‍රයක් පුරාම විහිදී ගොස් තිබෙනවා. ඉරානය සිය රටේ තාක්ෂණික දියුණුව තමන් විසින්ම පවත්වාගෙන යන රටක් බව ද කිව යුතුයි. ඒ නිසා අප දෙරටටම පොදු කරුණු අප විසින් ශක්තිමත් කරගත යුතුයි. අප සියලු දෙනා ගෝලීය දකුණේ රටවල්. ගෝලීය දකුණේ රටවල් සිය අනන්‍යතාවය සහ ස්වාධීනත්වය තහවුරු කර ගනිමින් සිටින අවස්ථාවක මෙවැනි ව්‍යාපෘති ඉතා වැදගත් වෙනවා.

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය හරහා ඉරානය අපේ රටේ වියළි කලාපයේ ජනතාවට ජලය ලබාදීමට දායක වී තිබෙනවා. එමගින් එම ජනතාවට අනාගතය පිළිබඳ බලාපොරොත්තුවක් ලබා දී තිබෙනවා. වියළි කලාපයට ජලය ලබාදීම යනු එම කලාපයේ ජනතාවට ජීවත්වීමේ අයිතිය ලබාදීමයි. ගිරුවාපත්තුවෙන් මෙහා මාගම්පත්තුවේ තිබෙන නියඟය නිසා එම ජනතාව දැඩි පීඩාවකට පත්ව සිටිනවා. එසේ නම් අද අප සිදු කර තිබෙන්නේ උඩවලවේ තිබෙන බහුකාර්ය ක්‍රමය, කිරිඳිඔයට ගෙන ඒමයි.

එම වාරි ක්‍රමවේදය වගේම හම්බන්තොට දිස්ත්‍රික්කය තුළ නව ආයෝජන කලාපයක් ආරම්භ කිරීමට ද අප සැලසුම් කර තිබෙනවා. ඒ සඳහා චීනයේ සිනොපෙක් සමාගමට ඉන්ධන පිරිපහදුවක් සඳහා අප දැනටමත් අනුමැතිය ලබා දී තිබෙනවා. මේ සමඟ හම්බන්තොට දිස්ත්‍රික්කයට නව ආර්ථිකයක් ලැබෙනවා.

මෙම බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය නිසා හෙක්ටයාර් 6000ක් යල මහ දෙකන්නයේ වගා කිරීමට ගොවි ජනතාවට හැකියාව ලැබෙනවා. ලංකාවේ වැඩිම වී නිෂ්පාදනයක් සිදු කරන්නේ උඩවලවේ ප්‍රදේශයයි. ඒ වගේම දැන් හම්බන්තොට ප්‍රදේශයේද එම කටයුතු සිදු කිරීමට හැකි වනු ඇතැයි අප අපේක්ෂා කරනවා. ඒ සමග කෘෂිකර්ම නවීකරණ වැඩසටහන දකුණු පළාත තුළ ද ආරම්භ කිරීමට අපට හැකියාව ලැබෙනවා. ඒ වගේම බලශක්ති ක්ෂේත්‍රයට ද මෙමගින් විශාල දායකත්වයක් ලැබෙනවා.

ඒ වගේම මෙම ව්‍යාපෘතිය මගින් මෙගා වොට් 120ක ජල විදුලි බලයක් උත්පාදනය කෙරෙනවා. ගෝලීය දකුණේ දියුණුවන රටවල් ලෙස ඉරානය සහ ශ්‍රී ලංකාව එක්ව මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ අනුව ඉරානය සහ ශ්‍රී ලංකාව අතර මීට වඩා සමීප සබඳතා ඇති කර ගනිමින් ඉදිරියට යමු කියා මම ප්‍රකාශ කරනවා.

ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසි මහතා

මෙම අවස්ථාවට සහභාගීවන ලෙස ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මා වෙත කරන ලද ආරාධනාව පිළිබඳව මා ස්තූතිවන්ත වෙනවා. අපගේ රටවල් දෙක අතර සබඳතා තවදුරටත් ශක්තිමත් වන ඒකාබද්ධතාවයේ සංකේතයක් වන මෙම උත්සවයට සහභාගිවීමට ලැබීම ද මා මහත් ගෞරවයක් ලෙස සලකනවා.

මෙම ව්‍යාපෘතිය ඉරානය සහ ශ්‍රී ලංකාව අතර මිත්‍රත්වයේ සංකේතයක් බව කිවයුතුයි. අද, අපි මෙම විශිෂ්ට බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය නිල වශයෙන් විවෘත කරනවා. නමුත් මෙහි පවතින වඩාත්ම වැදගත් කාරණය වන්නේ අපගේ රටවල් දෙක සහ ආසියානු කලාපයේ ජාතීන් අතර උපරිම සහයෝගීතාව, ඒකාබද්ධතාවය, සහජීවනය සහ එකමුතුකම මෙමගින් සහතික කිරීම බව මා විශ්වාස කරනවා.

ඒ වගේම මෙම ව්‍යාපෘතිය අවසන් කිරීමට වඩා වැදගත් වන්නේ ඒ තුළ පවතින අප රටවල් දෙක අතර සහ ජනතාවගේ කැමැත්ත සහ අධිෂ්ඨානය බව කිවයුතුයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමනි, ඉරාන ඉස්ලාමීය ජනරජය සතු නවීන තාක්ෂණ දැනුම ශ්‍රී ලංකාව සමග

බෙදාගැනීමට සුදානම් බව මා ප්‍රකාශ කිරීමට කැමතියි. පසුගිය වසර 45 තුළ ලබා ඉරානය ලබා ගත් අත්දැකීම් ශ්‍රී ලංකාවේ ප්‍රගතිය සහ සංවර්ධනය වෙනුවෙන් බෙදා ගැනීමට අප සූදානම් බවත් ප්‍රකාශ කරනවා. ඒ වගේම ශ්‍රී ලංකාව සමග මනා හවුල්කාරිත්වයිකින් ඉදිරියට යාමට ඉරානය සූදානම් බව මා සහතික කරනවා. ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක විශාල සංවර්ධන ව්‍යාපෘති සඳහා තාක්ෂණික හා ඉංජිනේරු සේවා සැපයීම තුළින් ශ්‍රී ලංකාවේ ප්‍රගතිය සහ සංවර්ධනය සඳහා දායක වීමට ඉරානය සූදානම් වී සිටිනවා.

වාරිමාර්ග , වන ජීවී හා වන සංරක්ෂණ ඇමැති පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය :

ඌව පළාතට සහ හම්බන්තොට දිස්ත්‍රික්කයට අද ඉතා සුවිශේෂී දිනයක් බව කිවයුතුයි. අද දවස මේ මහපොළව තුළ නව ගොවි බිම් හෙක්ටයාර් 1,500 ක් අස්වැද්දිය හැකි නවෝදයක් නිර්මාණය වන දවසක් ලෙස මා දකිනවා. ඒ වගේම පවතින ගොවි බිම් හෙක්ටයාර් 4,500 ක් යල සහ මහා කන්න දෙකේදීම අස්වැද්දිය හැකි යුගයක් ආරම්භ වනවා. බණ්ඩාරවෙල සහ වැල්ලවාය ජනතාවගේ පානිය ජල අර්බුදයට තිත තැබීම ද අද සිදු වෙනවා.ඒ වගේම මෙම ව්‍යාපෘතිය මගින් මෙගා වොට් 120 ක අමතර විදුලි ධාරිතාවයක් ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමද සිදු කෙරෙනවා. ශ්‍රී ලංකික අප ශ්‍රේෂ්ඨ වාරි ශිෂ්ටාචාරයකට හිමිකම් කියන ජාතියක්. අද දින උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය මඟින් එම ශිෂ්ටාචාරයට නව ඉංජිනේරු තාක්ෂණය එක් කෙරෙන බව කිව යුතුයි.

වාරිමාර්ග හා ජල සම්පාදන රාජ්‍ය ඇමැති ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා

මෙම ව්‍යාපෘතිය යථාර්තයක් බවට පත් කර ගැනීම සඳහා අපට වගකීම ලබාදුන් සහ ඒ වෙනුවෙන් දැවැන්ත කාර්යභාරයක් ඉටු කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු මැති ඇමැතිවරුන්ට, රාජ්‍ය නිලධාරීන්ට මෙන්ම ඉංජිනේරුවරුන්ට මාගේ ස්තුතිය පුද කර සිටිනවා.

මොණරාගල දිස්ත්‍රික්කයේ සහ බදුල්ල දිස්ත්‍රික්කයේ ජනතාව ජලය නොමැතිව විශාල පීඩාවකට ලක්ව සිටියා. ජලය නොමැතිව පිළිබඳ ගොවි සංවිධාන නිරන්තරයෙන් මැසිවිලි නැගුවා. මෙම ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීමට කාලය ගත වුවත් ඒ සියල්ල විඳ දරා ගනිමින් අප සමග මේ ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීමට සහයෝගය ලබා දුන් සියලු ජනතාවට සිය ස්තුතිය පුද කර සිටිනවා.

චමින්ද සිල්වා සහ ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment