තිදෙනකුට පහරදී එක් අයකු ICU යැවූ මුල්ලේරියාවේ චණ්ඩි පාසල් සිසුවෝ 3ක් යළි රිමාන්ඩ්: 12කට ඇප

88

මුල්ලේරියාව ප්‍රදේශයේ පාසලක ක්‍රීඩා උත්සවයකින් පසු පෙම් පලහිලව්වකට පහරදීමකින් තුවාල ලැබූ කාන්තාවක ඇතුළු තිදෙනකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත. මෙම සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකරුවන් 15 දෙනා ඊයේ (29දා) කොළඹ අලුත්කඩේ අංක 08 මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු තිදෙනකු ලබන 05 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු බවත් අනිත් 12 දෙනා ශරීර ඇප මත මුදාහැරිය බවත් මුල්ලේරියාව පොලිසිය පවසයි.

රෝහල් ගතව සිටින තිදෙනාගෙන් කාන්තාවක ඉතා අසාධ්‍ය තත්ත්වයෙන් දැඩි සත්කාර ඒකකයේ පසුවන බවද පොලිසිය කියයි.

මුල්ලේරියාව ප්‍රදේශයේ පාසලක 9 වැනි ශ්‍රේණියේ සිසුවියක සමග ප්‍රේම සබඳතාවක් ඇති කර ගැනීමට 10 වැනි ශ්‍රේණියේ සිසුවකු කාලයක සිට උත්සාහ ගෙන ඇති නමුත් සිසුවිය එය ප්‍රතික්ෂේප කර ඇත. දිගින් දිගටම එම සිසුවා සිසුවියට බලපෑම් කිරීම නිසා සිසුවිය මේ ගැන තම වැඩිමල් සොහොයුරාට පවසා තිබේ.

පසුගියදා එම විදුහලේ පැවති ක්‍රීඩා උත්සවයට පැමිණි ඇගේ සොහොයුරා සිසුවිය සමග ප්‍රේම සම්බන්ධයක් ගොඩනඟා ගැනීමට උත්සාහ ගත් සිසුවා හමුවී සොයුරිය තවමත් පාසල් යන වයසේ පසුවන බැවින් ඇයට ප්‍රේමයකට බලපෑම් නොකරන ලෙස ඔහුට පවසා තිබේ.

පසුව එම සිසුවා දුරකථන ඇමතුමක් දී සිය මිතුරන් ගෙන්වාගෙන පාසල් භූමියෙන් පිටතදී පාසල් සිසුවියගේ වැඩිමහල් සොයුරන් දෙදෙනාට හා එම එක් සොයුරකුගේ බිරිඳට පහරදී තිබේ. එම පිරිස පහරදෙන ආකාරය අසල සී.සී.ටී.වී. කැමරාවක සටහන් වී තිබේ.

මේ පිළිබඳව මුල්ලේරියාව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ. ජී. සුසන්ත මහතාගේ උපදෙස් මත නිලධාරීහු කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ සිදු කරති.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment