ව්‍යාජ ලියවිලි සකසා රට පනින්න ගිය 17 වියැති දරුවා හා කාන්තාව අල්ලයි

95

දැනට එංගලන්තයේ වාසය කරන ශ්‍රී ලාංකික මවකගේ සහ ඇයගේ පුතාගේ තොරතුරු අනුසාරයෙන් ව්‍යාජ ලියකියවිලි සකස් කර වෙනත් කාන්තාවක යොදා ගෙන 17 හැවිරිදි ද්‍රවිඩ ජාතික පිරිමි ළමයකු එරටට රැගෙන යෑමට ගත් උත්සාහයක් ව්‍යාර්ථ කර මෙම ජාවාරමට සම්බන්ධ කාන්තාවන් දෙදෙනකු පසුගිය 26 දා කටුනායක ගුවන් තොටුපළේ දී ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මුලතිව් ප්‍රදේශයේ පදිංචි කාන්තාවක්, පිරිමි දරුවකු ද සමග 26 වැනි දින දහවල් 01.30ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 503 දරන ගුවන් යානයෙන් එංගලන්තයේ ලන්ඩන් නුවර බලා පිටත්ව යෑම සඳහා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

සිය ගුවන් සේවා නිශ්කාශන කටයුතු සිදු කර ගැනීම සඳහා ශ්‍රී ලන්කන් ගුවන් සේවා කවුළුව වෙත පැමිණ සිටියදී, එම ගුවන් සේවා නිලධාරිනියන්ට මෙම ලියකියවිලි පිළිබඳව ඇති වූ සැකය මත මොවුන් දෙදෙනා ගුවන් තොටුපළ

ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් වෙත භාර දී තිබේ .

එහිදී සිදු කළ තාක්ෂණික පරීක්ෂා කිරීම්වල දී මෙම ලියකියවිලි කූට ලෙස සකස් කළ ඒවා බව තහවුරු වී තිබේ.

ඉන්පසුව මෙම පිරිමි දරුවා පසෙකට රැගෙන ගොස් මේ පිළිබඳව විමසීමට ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පියවර ගෙන තිබූ අතර , එහිදී මෙම දරුවා මේ පිළිබඳ සියලු තොරතුරු අනාවරණය කර ඇති අතර ඔහුගේ සත්‍ය මව මේ වනවිටත් කටුනායක ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තයේ රැඳී සිටින බව ද මෙම නිලධාරීන් හමුවේ පවසා තිබේ.

ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ මෙම නිලධාරීන් ඔහුගේ මව සොයා ගොස් අත්අඩංගුවට ගෙන මේ පිළිබඳ වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදු කර ඇති අතර , එහිදී ශ්‍රී ලංකාවේ වර්තමානයේ පවතින දැඩි ආර්ථික දුෂ්කරතා නිසා තම පවුල දැඩි අපහසුතාවලට ලක් වී ඇති බවත් , ඒනිසා තම දරුවාගේ අනාගත සුබ සිද්ධිය උදෙසා මේ ආකාරයෙන් දරුවා විදෙස් ගත කිරීමට උත්සාහ ගත් බව පවසා තිබේ.

මෙම කාන්තාවන් දෙදෙනා ම මුලතිව් ප්‍රදේශයේ පදිංචිකාරිනියන් වන අතර ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගත් ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කටුනායක ගුවන් තොටුපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දී තිබේ.

එම විමර්ශනවලදී එංගලන්තයේ වාසය කරන පුද්ගලයකු විසින් තම බිරිඳගේ සහ පුතාගේ තොරතුරු ඇතුළත් කර විදෙස් ගමන් බලපත්‍ර ඇතුළු අනෙකුත් ලියකියවිලි සකස් කර මේ ආකාරයට ශ්‍රී ලාංකික පිරිමි දරුවන් එංගලන්තය වෙත රැගෙන ගොස් මිනිස් ජාවාරම් කිරීමේ ව්‍යාපාරයක පවත්වා ගෙන යමින් සිටින බවට තොරතුරු අනාවරණය වී තිබේ .
කටුනායක ටී.කේ.ජී.කපිල

advertistmentadvertistment
advertistmentadvertistment