පරිසරයට මහ බරක් වූ අතහැර දැමූ වැලි වළක් සංචාරක පාරාදීසයක් කළ මිනිසකුගේ කතාව…

පුත්තලම පැත්තේ සිමෙන්ති හදන්න හුණුගල් හාරපු වළවල් තාමත් එහෙමමයි. වැලි හෑරිල්ල නිසා කැලණි, කළු, ගිං, නිල්වලා සහ වලවේ වගේ මහා ගංගාවල් අද මුහුදට වඩා ගැඹුරුයි. ගඩොල් කපන්න මැටි ගන්න පහත රට තෙත් කලාපයේ ගඟවල් දෙපැත්තෙ හාරපු වළවල් අද මාරක ජලාශ බවට පත්වෙලා. එතකොට ගල් කඩලා ඉවරවෙලා අත්හැර දාපු ගල්කොරි, මැණික් හාරලා ඉල්ලම් අරගෙන අත්හැර දාපු දෝනා සහිත මැණික් පතල්, අත්හැරපු මිනිරන් පතල්, අතහැරපු බොරළු වළවල් ආදියෙන් පරිසරයට සිදුවන විනාශය ගැන මම ඔබට අමුතුවෙන් කිවයුතු නැහැනේ. භූ විද්‍යා හා පතල් කාර්යාංශය වගේ නීතිය ක්‍රියාවේ යොදවන ආයතනවලින් මේ ගැන මොනතරම් නීති රීති තිබුණත් වංගු ගහලා ඒවායින් බේරෙන කර්මාන්තකාරයෝ ජාවාරම්කාරයෝ නිසා අද ඒ ආයතන සුදු අලි.

හැබැයි අද මම මේ කියන්න යන්නේ ඔන්න ඔය තත්ත්වය උඩු යටිකුරු කරලා කණපිට ගැසූ මිනිහෙක් ගැන අපූරු කතාවක්. ඒක ඇහුවම ඔබටත් හිතේවි, අනේ… මෙහෙමත් මිනිස්සු තව දහ දෙනෙක් මේ රටේ හිටියනම් කියලා. දැන් අපි ඒ කතාව අහමු.

මිහිමත නිමවුනු ජල මත පාවෙන සංචාරක පාරාදීසය…!

කැලුම් පෙරේරා කියලා කියන්නේ පුංචි තැනක ඉඳලා උඩට ආපු, උත්සාහයෙන් දියුණු වෙච්ච ව්‍යාපාරිකයෙක්. ඉදිකිරීම් ක්ෂේත්‍රයේ කොන්ත්‍රාත්කරුවෙක් කියලා කිව්වට කමක් නැහැ. ඒ මොකද දිවුලපිටිය කටාන ආසනවලට මායිම් වන “මා ඔයේ” වම් ඉවුරේ වැලි හෑරීම, මැටි හෑරීම වගේ ප්‍රාථමික කර්මාන්තවල ඉඳන් උළු ගැඩොල් හැදීම, බෝක්කු පාලම් මංමාවත් හා ගොඩනැඟිලි ඉදිකිරීම ආදී මහා පරිමාණ කර්මාන්තවලටත් ඔහු රුසියා. ජීවත් වුණේ කොච්චිකඩේ.

ඉතින් ඔන්න ඔය විදිහට කැලුම් ජීවිකාව තුළ ව්‍යාපාර අරඹද්දි එක්තරා දවසක් භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ ගම්පහ කාර්යාලයේ ඉංජිනේරුවෙක් ඔහුට මෙන්න මෙහෙම කියනවා…

මේ මාඔය දෙපැත්තේ වැලි මැටි හාරන පතල්කරුවන්ගෙන් තමන් හාරන පතලේ වැඩ ඉවර වුණාම ඒක යළි තිබුණු තත්ත්වයට පුරවලා පුනරුත්ථාපනය හරියට කරන අය ඉන්නේ ඔයා විතරමයි. අපේ තියෙනවා ගොඩ ගන්නම බැරි පතල් ප්‍රදේශ කීපයක්. බැරිද ඔයාට ඒවා කොන්ත්‍රාත් අරගෙන ගොඩ කරලා අපට ආපහු භාර දෙන්න…”

ඒ විදියට භූවිද්‍යා ඉංජිනේරු කුෂාන් ගුණසේකර මහත්තයා කැලුම්ට භාර කළේ කොන්ත්‍රාත්තුවකට වඩා විශාල අභියෝගයක්. සෙල්ලමක් නෙවෙයි අඩි හතළිහක් විතර යටට හාරලා වැලි සහ මැටි ඉවත් කරපු වතුර පිරුණු, බේරේවැව තරම් විශාල ජලාශයක්. ඒකට කිව්වේ කොච්චිකඩේ මඩම්පැල්ල පාරේ බෝලගල ගමේ හල්පේවිල නිල් වළ ජලාශය කියලායි. කට්ටියක් හල්පෙවිල කියලත් කිව්වා.

මිහිමත නිමවුනු ජල මත පාවෙන සංචාරක පාරාදීසය…!
ජල මත පාවෙන නාන තටාකය

හල්පෙ නිල්විල වගේ ජලාශ දිවුලපිටිය කටාන පැත්තේ මාඔය දෙපැත්තේ තිබුණේ එකක් දෙකක් නම් නෙවෙයි. සිය ගණනක් මැටිවළවල් මැටි අරන් එකින් එක එකට යා වුණාම පරක්‍රම සමුද්‍රය වගේ ජලාශ හැදිලා තිබුණා.

සාමාන්‍යයෙන් මාඔය දෙපැත්තේ මේ ආකාරයේ ඉඩම්වල මුලින්ම හමුවන්නේ අඩි දහයක් තරම් ගණකම් මැටි නිධියක්. ගඩොල් කපන්න උළු කර්මාන්තයට මේ මැට්ට කදිම නිසා ඒ පැත්තේ ඒවාට තියෙන්නෙ විශාල ඉල්ලුමක්. අඩි දහයක් ඝනකමට තියෙන අවුරුදු ලක්ෂ ගාණක් තිස්සේ තැන්පත් වුණු මේ මැටි නිධිය කපලා ඉවර කරාම ඊට යටින් තියෙන්නේ පිරිසිදු සුදෝ සුදු වැල්ල. ඒක සමහර තැන්වල අඩි විස්සක් තරම් ගැඹුරටත් තියෙනවා කියලයි තතු දත්තෝ අපිට කිව්වේ. මේ වගේ ඉඩම් අක්කරයක පළමුව මැටි තට්ටුවක් දෙවනුව වැලි තට්ටුවත් කපලා ඉවත් කරගත්තට පස්සේ පතල්කරුවා පරම්පරා ගාණකට හම්බ කරලා ඉවරයි. ඒ කිව්වේ කෝටි ගණනාවක්. ඒත් මහපොළොවට අන්තිමේ ඉතිරි වන්නේ කිසිවකුටත් වැඩක් නැති පරිසරයට බරක් වෙච්ච විශ්ඵල ජලාශයක් විතරයි.

අන්න ඒ වගේ එකක් තමයි මේ හල්පෙ නිල් වළ ජලාශය කියලා කියන්නේ. ඒක නිරීක්ෂණය කරපු කැලුම් තම හිතවත් ඉංජිනේරු මහත්තයට මෙන්න මෙහෙම කිව්වා…

“සිරිපාද කන්ද කපලා ගෙනත් පිරෙව්වත් මේක පුරවන එක ලේසි නෑ සර්. එහෙම නෙවෙයි අපි මෙතන පරිසරයේ හැටියට මොකක් හරි සංවර්ධන කටයුත්තක් කරමු. පාවෙන හෝටලයක් වගේ. කවදාවත් වතුර හිඳෙන්නෙ නැති ජලාශයක්නෙ මේක.”

මිහිමත නිමවුනු ජල මත පාවෙන සංචාරක පාරාදීසය…!
කැලුම් පෙරේරා

කොච්චිකඩේ මඩම්පැල්ල පාරේ හල්පේ බෝලගල ඇග්රි ෆ්ලෝටීන් රිසෝර්ට් (Bolagala Agri floating resort) පාවෙන හෝටලය හැදෙන්න සමාජ දේශපාලන අත්තිවාරම සැකසෙන්නේ එහෙමයි. කැලුම් දඩිබිඩි ගාලා ඒකට අවශ්‍ය ව්‍යාපෘති වාර්තාව හැදුවා. අවශ්‍ය අංශවල අනුමැතිය ලැබුණා. ඒ අනුව තමයි පාවෙන හරිතාගාරයක් පාවෙන නාන තටාකයක්, පාවෙන අවන්හලක් සහිත කබානා 50කින් සමන්විත බෝලගල රිසෝර්ට් හදන්න 2017දී මුල පුරන්නේ. එතකොට මේක කරන්න ඇස්තමේන්තු වෙලා තිබුණේ රුපියල් මිලියන 1200යි.

ඔන්න ඔහොම අතීත නිධාන කතාවක් ඇති බෝලගල රිසෝට් අද වන විට හල්පේ නිල්වල ජලාශයේ පාවෙන මිහිපිට ආශ්චර්යයක්. අපි ගියා පහුගිය දිනක ඒ අශ්චර්යය සියැසින් දැකබලා ගන්න.

ඇතුළු වෙනකොටම අපට දැනුනේ මේක හෝටලයක්ද එහෙම නැත්නම් පාවෙන ගොවිපළක්ද කියන හැඟීම. උඩින් පෙනුනේ ඝන සුදු ඉටිරෙදිවලින් හෙවිළි කළ වහලය යට සරුසාර පාවෙන වගාවක්. මොනවද එතන නැත්තේ. හරිත පැහෙන් ඔපවත් සරුසාර සලාද වර්ග, බෙල් පෙපර්, බටු, මිරිස්, තක්කාලි, කොළ ගෝවා,

මල්ගෝවා, බෝංචි, දඹල ආදී ඔක්කොම. එතකොට කැකිරි කොමඩු වගේ පළතුරුත් කොමඩු වන් පිටරට පළතුරු වර්ගත් කිහිපයක් එහි පිළිවෙළට වගා කරලා තිබුණා. මේ බොහෝ භෝග දැන් ඵල බර වෙලා.

ඒ හරිතාගාරයේ බෝග අතරින් සැදි ලෑලි මාවතේ කෙළවර අමුත්තන් වෙනුවෙන් ඉදිකළ සුවපහසු පාවෙන කබානාව දක්නට ලැබුණා. එක් පැත්තක් හරිතාගාර වගාවට, අනික් පැත්ත ජලාශය දෙසට විවෘතයි. කබානා වල බැලු බැලූ හැම තැනම තිබුණේ නෙතට සිතට සුවබර දසුන්.

මේ හැම කබානාවකටම එළවළු පලතුරු හා සොබාදහමේ සොඳුරු දසුන් පිරි වටපිටාවක් නිර්මාණය වී තිබීම හරි අපූරුයි. නෙතට වගේම සිතට මොනතරම් සුවයක්ද…

සැලසුම්සහගත රටාවකට පෙළ ගැසුණු කබානාවල සිට එළවළු හා පළතුරු වගාව මැදින් කවාකාර පාවෙන මාවත් දෙකක්. දෙපසින් ඈත්ව යළි ළං වුණු කවාකාර මාර්ග දෙකෙන්ම ළං වුණේ ජලාශය මැද යෝධ හතරැස් කොටුවක් සේ පෙනුන තවත් පීඨිකාවකට. විශ්මයක්…! ඒ පීඨිකාව මැද විශාල නාන තටාකයක්. ජලාශය මැද පාවෙන, ජලයෙන් පිරි තවත් නාන තටාකයක්. එතනම ඊට යාබදව අමුත්තන් සීයකට පමණ එකවර ආහාර ගත හැකි විවෘත පාවෙන අවන්හල.

“කැලුම්… මේ ඔක්කොම සැලසුම් කළේ ලෝකෙ කොහේ හරි ඔබ දැකපු පාවෙන රුිදරඑ එකක ආකෘතියකට අනුව නෙවෙයිද..?” මට අහන්නම හිතුණු නිසා ඇහුවා.

“අනේ නැහැ. මම කොහේවත් මේ වගේ දෙයක් දැකලා නැහැ. මට ඕන වුණේ කවදාවත්ම ජලය නොසිඳෙන අඩි 25ක් පමණ ගැඹුරු ජල තලයක් මත ලංකාවේ කොහේවත් ලබන්න බැරි අත්දැකීමක් නිර්මාණය කරන්න. මම මේ සැලසුම ඉදිරිපත් කළා. ඉංජිනේරු මහත්තුරු තුන් හතර දෙනෙක් ඒ සැලසුම මිහිමත ඉදිකරන ක්‍රමවේදය සැකසුවා. සම්පත් බැංකුව අත දිගු කළා. ඒ වගේම මේ රටේ ඉන්න ප්‍රකටම වෛද්‍යවරු කීපදෙනෙක් ඉංජිනේරු මහත්වරු කීපදෙනෙක්, ලංකාවේ ප්‍රසිද්ධම ක්‍රිකට් ක්‍රීඩකයෝ කීපදෙනෙක්, තව ව්‍යාපාරිකයෝ කීප දෙනෙක් දැන් මේ වැඩේ හවුල්කාරයෝ වෙලා ඉන්නවා. ඔන්න ඔහොමයි මේක යථාර්ථයක් වුණේ. අපට ඕන සංචාරකයකුට ලංකාවේ කොහෙවත් විඳින්න නැති අත්දැකීමක් මෙතනදී ලබා දෙන්න. අනකි සැලකිල්ලේ හා සත්කාර කිරීමේ විශේෂත්වය, අනිත් අතට ලෝකෙ කොහේවත් දක්නට නැති කෑම බීම. ඒ තුළින් අපට ඕන වුණේ සංචාරකයන්ට ලෝකයේ කොහේවත් විඳින්න බැරි අත්දැකීමක් ඒ වගේම ලංකාවේ කොතනකවත් නැති අත්දැකීමක් මේ පාවෙන අවන්හල හා බැඳුණු සංස්කෘතිය තුළ ඔවුන්ට ලබා දෙන්න.

මිහිමත නිමවුනු ජල මත පාවෙන සංචාරක පාරාදීසය…!

ඒකට පාවෙන සංචාරක නිකේතනයේ තිබෙන ක්‍රියාකාරකම් වගේම මෙතනින් පිට ගොඩබිමේ තියෙන “ගැමි ගමේ” ක්‍රියාකාරකම් හා අත්දැකීම් සියල්ලක් ඉවහල් වේවි…”

කැලුම් මහත්තයා ඔය ටික කිව්වේ ඉමහත් විශ්වාසයෙන් වගේම ආඩම්බරයෙන්. එතකොටයි මට බෝලගල ඇග්‍රෝ ෆ්ලෝටින් රිසෝර්ට එක සමග යාවුණු ගැමි ගමේ තියෙන ක්‍රියාකාරකම් ටික ගැන කතා කරන්න මතක් වුණේ.

ගැමිගම කියන්නේ ඉස්සර අපේ රටට නිදහස ලැබෙන්නට කලින් ඉංග්‍රීසි ආණ්ඩුව යටතේ පැවතුන සාම්ප්‍රදායික වැඩවසම් ගම. හැබැයි ඒ ගම ස්වයංපෝෂිතයි. ඉංග්‍රීසි ආණ්ඩුවට වග කියන ආරච්චි කෙනෙක් ගම පාලනය කළා තමයි. ඔහුගේ පාලනය යටතේ ගොවියෝ ගොවිතැන් කළා. කම්මල්කරුවෝ ගොවිතැන් කරන්න වුවමනා අවි ආයුධ ගෙවල්වලට වුවමනා හිරමනා, පිහි, පොරෝ ටික තනා දුන්නා. කුඹල් ගෙදරින් ගමට අවශ්‍ය වළන් ටික සාදා දුන්නා. වෙද ගෙදරින් ගමේ උන්දැලාට අවශ්‍ය බේත් හේත් ටික සත්කාර කළා. ගුරු ගෙදරින් ඉගැන්නුවා. රෙදි ගෙදරින් ගමේ උන්දලාගේ රෙදි පිළි ටික හෝදා දුන්නා. කිරි ගෙදරින් බොන කිරි ටික මුදවාපු කිරි ටික, ගිතෙල් ටික ලබා දුන්නා. හකුරු ගෙදරින් හකුරු හා පැණි ටික ආවා. ඉතින් මුළු ගමම ජීවත් වුණේ භාණ්ඩ හුවමාරු කරගෙන පරිභෝජනය කරමින්. මෙන්න මේ පැරණි අපේ ගමේ සාම්ප්‍රදායික ජීවන රටාව කැලුම් එම ගම තුළ ප්‍රතිනිර්මාණය කරන්න යෝජනා කර තිබුණේ ඒ ඒ වෘත්තීන් වෘත්තීන්වල නියැළෙන අයම යොදා සක්‍රීය ගමක් නිර්මාණය කරමින්. සංචාරකයන්ට ඒ ගමේ නිවාස වලට ගොස් අපේ පැරැන්නෝ ඒ ශිල්ප පවත්වාගෙන ගිය ආකාරය දැකබලා ගන්න විතරක් නෙවෙයි ඒවායින් ලැබෙන ආහාර හා පරිභෝජන භාණ්ඩ මිලදී ගන්නත් භුක්ති විඳින්නත් අවස්ථාව සලසා දීම යෝජනා වුණා. අපේ නර්තන කලාවන් උගන්වන ශිල්ප ශාලා, අපේ කැටයම් කලාව, අපේ වේවැල් කලාව, අපේ වෙස් මුහුණු කලාව, අපේ බීරළු කලාව දැක බලාගත හැකි මධ්‍යස්ථානත් ඒ තුළ තිබුණා. ඒ විතරක්ද ඇයි අංගම්පොර සටන්. කුවේණියගේ සිට අපේ පැරැන්නෝ ඇඳිවත වෙනුවෙන් රෙදි පිළි වියාගත් අත්යන්ත්‍ර පෙහෙකම්. මේ සියල්ල දැක බලාගෙන වෙහෙස වුණාම සංචාරකයන්ට වුණත් පුංචි රා පොල්කට්ටකින් සප්පායම් විය හැකි දේශීය රා කඩයක් ගමේ ස්ථාපිත කරන්නත් කැලුම් සැලසුම් කර තිබුණා. කැලුම්ට වුවමනා වුණේ අපේ සාම්ප්‍රදායික ගමෙහි ප්‍රතිබිම්බයක් භෞමිකව සංස්කෘතිකව හා සාංකල්පිකව පාවෙන සංචාරක නිකේතනයට යාබද ගොඩබිමේ පවත්වාගෙන යන්න. ඒ මගින් ඉතා හොඳ අධ්‍යාපනයක් හා අත්දැකීමක් සංචාරකයන්ට දෙන්න. ඒ විතරක්ද ගමේ සක්‍රීයව ජීවත් වෙමින් අත්දැකීම් බෙදා හදා දෙන ශිල්පීය පවුල්වල ගැමියන්ටත් හොඳ ආදායමක් ලබාදෙන්න.

ගැමි ගම පාවෙන සංචාරක නිකේතනයේ දෙවන පියවර ලෙසයි කැලුම් සැලසුම්කර තිබුණේ. ඒ නිසා ගැමි ගම භෞමිකව දැකබලා ගැනීමේ වරම් අපිට ලැබුණෙ නෑ.

අපි මේ බෝලගල පාවෙන හෝටලයට එන සංචාරකයෝ ගැනත් කතා කළා. කැලුම් කියන්නේ ඔහු මේ හෝටලය ගැන ජාත්‍යන්තර මාධ්‍ය ඔස්සේ ලොකු ප්‍රචාරයක් ගෙන යන බව. සංචාරක වෙබ් අඩවි හා බ්ලොග් අඩවි මෙන්න සමාජ මාධ්‍යවලත් උදව් උපකාර ඔහු මේ සඳහා ගන්නා බව ඔහු කියනවා. ඒකට හේතුව මේකයි…

“මට ඕන ලංකාවේ කොහේ හෝ හෝටලයකට ඇදිලා එන විදේශ සංචාරකයෝ ගලවලා මේකට ගන්න එක නෙවෙයි. මාලදිවයින, හොංකොං, සිංප්පූරුව, තායිලන්තය, පිලිපීනය වගේ රටවලට ඇදිලා යන සංචාරකයන්ගේ අවධානය මෙතෙන්ට යොමුකර ගන්න”

මිහිමත නිමවුනු ජල මත පාවෙන සංචාරක පාරාදීසය…!

මාලදිවයින වගේ රටක තියෙන්නේ මුහුද හා සමගාමී අත්දැකීම් විතරයි. ඒත් බෝලගල පාවෙන සංචාරක නිකේතනයේ හා ඊට යාබද ගැමි ගමේ ඊට වඩා ක්‍රියාකාරකම් කොතෙක්ද, අත්දැකීම් කොතෙක්ද…

අනාගතයේදී ජලය හා බැඳි ක්‍රියාකාරකම් රැසක් එක් කරන බවයි කැලුම් කියන්නේ. මේ ඔක්කොම අත්දැකීම් සංචාරක යුවළකට එක් දිනකදී ඩොලර් 400 කට නොවැඩි මුදලකින් අත්විඳින්නට ලබා දෙන්නයි කැලුම්ගේ සැලසුම. දේශීය සංචාරකයන්ට නම් මේ මුදල තරමක් ලොකු එකක් බව සැකයක් නෑ. එනමුත් තරු හතරේ හෝටලයක් බැවින් අය කිරීම් බාල කරලත් බැහැ…

හෝටලය හා ඒ ආශ්‍රිත පහසුකම් බොහොම ඉහළයි. සංචාරකයන්ගේ සුවපහසුව හා ආරක්ෂාව වෙනුවෙන් ලොකු සැලැස්මක් කැලුම්ට තිබුණා. එක කබානාවකට එක පවුලකට හෝ එක සංචාරකයකුට එක් සේවකයකු බැඳීම් යෙදවීමයි ඔහුගේ අපේක්ෂාව. හුදු ස්ටුවට් කෙනකු නොවන මේ පුහුණු සේවකයන් ආත්මාරක්ෂාව ජල ක්‍රීඩාව සංචාරක සත්කාරය වගේම ශ්‍රී ලංකාවේ සංස්කෘතිය, ශ්‍රී ලාංකික ආහාර, දේශීය ඇවතුම් පැවතුම් හා සම්ප්‍රදායික හර පද්ධතිය ගැනත් විශේෂ අවබෝධයක් ප්‍රවීණත්වයක් හා නිපුණතාවක් ඇති අය විය යුතුමයි කියලා ඔහු කියනවා. යමෙකුට ජලජ පරිසරයේදී යම්කිසි අනතුරකට මුහුණ පාන්නට වුවහොත් ඔහු හෝ ඇය මුදාගැනීමේ ක්ෂණික මෙහෙයුම්වලටද විශේෂ ආරක්ෂක පද්ධතියක් හා ආරක්ෂකයන් යොදවනා බවයි කැලුම් කිව්වේ. මෙවන් මඟපෙන්වන්නන් හා ආරක්ෂකයන් රැසකින් සපිරි මේ පාවෙන හෝටල් පරිශ්‍රය නිසැකවම සංචාරකයාට අමුතුම වින්දනයක් හා ආශ්වාදයක් සපයනා බව සැකයක් නැහැ. ඒ විතරක්ද ඇයි දැනුමක්…

කොහොම වුණත් ජල මත පාවෙන මේ සංචාරක පාරාදීසය තව නොබෝ දිනකින් සංචාරකයන් වෙනුවෙන් විවෘත වේවි. දැනටමත් ජාත්‍යන්තර මට්ටමින් ප්‍රචාරක කටයුතු අරඹා ඇති මෙම ව්‍යාපෘතියට සංචාරකයන්ගේ හා සංචාරක සමාගම්වල අවධානය හා උනන්දුව අඩුවක් නැතිලු. මොන තරම් ආඩම්බරයක්ද. පල් වතුර පිරෙමින් ප්‍රදේශයටම බරක් හිරිහැරයක්, පරිසරයට විපතක් වෙමින් තිබූ මහා ජලාශයක අක්කර 400 ක් රටට වැඩදායක සංචාරක පුරවරයක් බවට පත්වීම ආශ්චර්යක්ම තමයි.

එහෙම බලනකොට කැලුම් කියලා කියන්නේ මුළු රටටම ආදර්ශයක් සැපයූ වටිනා සංකල්ප සාදකයෙක් නොවේද. ඔහු වැනි අරමුණු සාදකයින් සංකල්ප සාදකයින් අලුතෙන් සිතන නිර්මාණශීලී මිනිසුන් රටකට මොනතරම් අවශ්‍යද. එසේ නම් මේ කැලුම්ලා රටට තව තවත් අවශ්‍ය කාලය නොවේද. කැලුම් වැනි අරමුණු ඇති නිර්මාණශීලී ව්‍යවසායකයන් තව දහ දෙනෙක් රටට සිටියා නම්…

සම්බන්ධීකරණය
චන්දන කාරියවසම්.

බුලිත ප්‍රදීප් කුමාර

advertistmentadvertistment
advertistmentadvertistment