අවුකන පිළිම වහන්සේගේ අනුරුවක් ඇමෙරිකාවේ ටෙක්සාස් නුවරට

91

වරෙක ඔහු මූර්ති ශිල්පියෙකි. තවත් වරෙක කුසලතාපූර්ණ චිත්‍ර ශිල්පියෙකි. එතෙකින් ද නතර නොවන ඔහු තමන් සතු දැනුම මතු පරපුරේ යහපත වෙනුවෙන් ප්‍රදානය කරනු ලබන ගුරුවරයෙකි. ඔහු යටතේ චිත්‍ර ශිල්පය ප්‍රගුණ කළ සිසු සිසුවියන් විශාල පිරිසක් මේ වන විටද ප්‍රාසාංගික කලා විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය හදාරන අතර අදටත් පාසල් සිසු සිසුවියන් විශාල පිරිසක් ඔහු යටතේ චිත්‍ර ශිල්පය හදාරති.

හොරණ නගරයට සමීපව පදිංචි කලා භූෂණ ආරියපාල ගමගේ නම් එම අසිරිමත් සිත්තරා, මූර්ති ශිල්පියා පසුගිය දිනවල සුවිශේෂී නිර්මාණ කටයුත්තක් සඳහා යොමුවන්නේ දැනට ඇමෙරිකාවේ පදිංචි ශ්‍රී ලාංකිකයකුගේ කාරුණික ඉල්ලීමක් පරිදිය. එම සුවිශේෂී නිර්මාණ කටයුත්ත නම් දෙස් විදෙස් සුපතල අවුකන බුදු පිළිමයේ අනුරුවක් නිර්මාණය කිරීමය. එම ඉල්ලීමට අනුව ආරියපාල ගමගේ මහතා විසින් නිම කරන ලද අඩි 10 ක උසකින් යුත් අවුකන පිළිම වහන්සේගේ අනුරුවක් නුදුරු දිනක ඇමෙරිකාවේ ටෙක්සාස් නුවර පිහිටි බෞද්ධ විහාරස්ථානයක තැන්පත් කිරීමට නියමිත අතර එම සුවිශේෂී නිර්මාණ කටයුත්ත පිළිබඳ කලා භූෂණ ආරියපාල ගමගේ මහතා විස්තර කර සිටින්නේ මේ ආකාරයෙන්ය.

“1979 වර්ෂයේ මගෙන් චිත්‍ර ශිල්පය හදාරපු දක්ෂ දරුවෙක් ඉන්නව සිසිර කියලා. දැන් ඒ ළමයා ජීවත් වෙන්නේ ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ. දවසක් සිසිර මට කතා කරලා කිව්වා පුළුවන්කමක් තියෙනවනම් අවුකන බුදු පිළිමයේ අනුරුවක් නිර්මාණය කරලා දෙන්න කියලා. එහෙම දෙයක අවශ්‍යතාවක් ඇති වුණේ මොකද කියල මම ඔහුගෙන් ඇහුවා. ඒ ප්‍රශ්නයට උත්තර දීපු සිසිර කිව්වා ඔහු පදිංචි වෙලා ඉන්න ටෙක්සාස් නුවර බෞද්ධ විහාරස්ථානයක් තිබෙනවා එහි තැන්පත් කිරීම පිණිස අවුකන බුදු බුදු පිළිම වහන්සේගේ අනුරුවක් අවශ්‍යයි කියලා. ඒ ඉල්ලීමට අනුව තමයි පහුගිය අවුරුද්දේ නොවැම්බර් මාසේ ඒ කටයුත්ත පිණිස යොමු වුණේ. මේ සඳහා මගේ පුතා ප්‍රමුදිත ඇතුළු මගෙන් චිත්‍ර ශිල්පය හදාරන දරුවෝ කීපදෙනකුත් සහයෝගය දුන්නා.

මෙම සුවිශේෂී නිර්මාණ කටයුත්ත පිණිස තමන් සම්බන්ධ වූ ආකාරය විස්තර කර සිටි ආරියපාල ගමගේ මහතා ඉන් අනතුරුව විස්තර කර සිටියේ එම නිර්මාණ කටයුත්ත සිදු කළ ආකාරය පිළිබඳවය.

“අවුකන බුදු පිළිමයේ අනුරුවක් නිර්මාණය කරනවා කියන්නේ හරිම සංකීර්ණ කටයුතක්. ඒ නිසා පිළිමය නිර්මාණය කරන්න කලින් මම අනුරාධපුරයට ගිහිල්ලා අවුකන පිළිමය නෙළා තියෙන ආකාරය පිළිබඳව සියුම්ව නිරීක්ෂණය කළා. ඒ කටයුත්ත සඳහා මගෙන් චිත්‍ර ශිල්පය හදාරපු ගෝලයෝ කීපදෙනකුත් මට සහයෝගය දුන්නා. මොකද අවුකන පිළිමයේ නියම හැඩතල මගේ නිර්මාණය තුළින් මතු කරන්න නම් නිවැරදි ආකාරයට ම උස, පළල, දිග, මහත ආදිය මැන ගන්න ඕන. ඒක මට තනිවම කරන්න පුළුවන් වැඩ කටයුත්තක් නෙවෙයි. ඒ සඳහා තමයි මම මගේ ගෝලයන්ගේ සහය ලබා ගත්තේ. ඒ කටයුතු නිසියාකාරව සම්පූර්ණ කර ගත්තට පස්සේ තමයි පිළිමය නිර්මාණය කිරීම ආරම්භ කළේ මේ සඳහා අමුද්‍රව්‍ය ලෙස සිමෙන්ති වැලි සහ යකඩ පාවිච්චි කළා. අඩි තුනක පාදමක් සහිතව අඩි දහයක් උසට පිළිම වහන්සේ නිර්මාණය කරන්න අපට පුළුවන්කම ලැබුණා. මමයි මගේ පුතයි තවත් මගේ
ගෝලයෝ කීප දෙනකුයි බොහොම ඉවසීමෙන් ඒවගේම සංයමයෙන් මාස කීපයක් තිස්සේ මහන්සි වෙලා වැඩ කටයුත්ත නිමාවට පත් කළා. පිළිමයේ ඉහළ කොටස මගේ ගෝලයෝ අතින් නිම වෙද්දි පහළ කොටස මා විසින් නිමාවට පත් කළා…”

ආරියපාල ගමගේ මහතා ඇතුළු ඔහුගේ ගෝල බාලයන් විසින් අවුකන බුදු පිළිමයේ අනුරුවක් නිර්මාණය කරනු ලබන්නේ ඒ ආකාරයෙන්ය. මේ වනවිට වැඩකටයුතු මුළුමනින්ම නිමාවට පත්වී තිබෙන අතර ඉදිරියේදී ඒ ඇමෙරිකාවේ ටෙක්සාස් නුවර බෞද්ධ විහාරස්ථානයක් වෙත වැඩම වීමට නියමිතය. ඒ පිළිබඳව අප කළ විමසීමකට ආරියපාල ගමගේ මහතා විසින් පිළිතුරු ලබා දුන්නේ මේ ආකාරයෙන්ය.

“මා විසින් නිර්මාණය කරන්නට යෙදුණු පිළිම වහන්සේ ඇමරිකාවට වැඩමවන බව මේ රටේ ජීවත්වන ශ්‍රී ලාංකිකයන් තවම දන්නේ නැහැ. ඒ බවක් දැනට දන්නේ මමයි සිසිරයි එම විහාරස්ථානයේ නායක හාමුදුරුවන් වහන්සේ පමණයි. පිළිම වහන්සේ එරටට වඩම්මන උත්සවය සඳහා මටත් සහභාගි වෙන්න අවස්ථාව හිමිවෙලා තිබෙනවා. ඒ අවස්ථාව සඳහා සහභාගි වෙන්න මගේ ලොකු ආශාවක් තිබෙනවා. මේ පිළිම වහන්සේ වැඳපුදාගෙන ඇමරිකාවේ ජීවත්වෙන එක ඇමරිකානු ජාතිකයෙක් හරි බුදු දහම වැළඳ ගත්තොත් ඊට වඩා සතුටක් මට තවත් නැහැ….”

මෙම අසිරිමත් නිර්මාණයේ නිමැවුම්කරු වන ආරියපාල ගමගේ මහතා ගාල්ල ප්‍රදේශයේ ගොවි පවුලක උපත ලද පුද්ගලයෙකු වන අතර 1977 වසරේදී සෞන්දර්ය විශ්වවිද්‍යාලයට ඇතුළත්ව ලලිත කලාවේදී උපාධිය හිමිකරගත් පළමු කණ්ඩායමට අයත් උපාධිධාරියෙක්ය.

ඉන් අනතුරුව 1994 වසරේදී කැලණිය පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය හා සම්බන්ධ වන ඔහු පුරා විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධිය හිමි කරගත් අයෙකි. ඔහු විසින් කරන ලද මූර්ති නිර්මාණ රැසක් මෙරට වැදගත් ස්ථාන රැසක ස්ථාපනය කර තිබෙන අතර තොරණ කලාව තුළ ද ඔහු සුවිශේෂී සුවිශේෂී දක්ෂතා දැක්වූ චිත්‍ර ශිල්පියෙකි.

චිත්‍ර හා මූර්ති ශිල්පියෙක් පමණක් නොව මෙරට ප්‍රසිද්ධ වේදිකා නාට්‍ය රැසක රංගභූමි අලංකරණ සහ කලා අධ්‍යක්ෂවරයෙකු ලෙස ද කටයුතු කර තිබෙන අතර රාජ කපුරු, අබුද්දස්ස කෝලම, රජගහේ නාඩගම, සක්වල කැළඹිලා ආදී ජනප්‍රිය නාට්‍ය රැසක සඳහා දායකත්වය සැපයූ විශිෂ්ට කලාකරුවෙකි.

උද්‍යාන අලංකරණය, බිතුසිතුවම්, මූර්ති ශිල්පය ආදී ඉසව් ගණනාවක් තුළ තම දක්ෂතාවන් දක්වා ඇති ආරියපාල ගමගේ මහතා දරුවන් සිව් දෙනකුගේ පියකු වන අතර තම පියාගේ අඩි පාරේ යන එම දරුවන්ද කලාව සාහිත්‍ය ආදී අංශයන් තුළින් විවිධ දක්ෂතාවන් දක්වා ඇත. තවමත් අනාගත පරපුර වෙත ශිල්ප ලබා දීමේ උතුම් මෙහෙවරක නිරත නිහඬ කලාකරුවෙකු වන ආරියපාල ගමගේ මහතා අවසන් වශයෙන් සඳහන් කර සිටියේ තමන් පැමිණි ගමන් මඟ දෙස ආපසු බැලීමේදී ඉහළම තෘප්තියක් ලබන බවත් ඉදිරියටත් කලාකරුවෙකු ලෙස තමන්ගෙන් ඉටුවිය යුතු යුතුකම රට ජාතිය වෙනුවෙන් ඉටු කිරීම සඳහා තමන් නිරන්තරයෙන් සැදීපැහැදී සිටින බවත්ය.

රුවන් ජයවර්ධන
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment