ස්වයං රැකියා කරන අයටත් 60 න් පසු විශ්‍රාම වැටුපක්

175

විශ්‍රාම වැටුප් සහ සේවක අර්ථසාධක අරමුදලේ හිමිකම් නොලබන ස්වයං රැකියාවල නියුතු සියලු අයට වයස අවුරුදු 60 පිරුණු පසු විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයක් හඳුන්වාදීමට රජය තීරණය කර ඇත.

ඒ සඳහා වන කැබිනට් පත්‍රිකාව එළැඹෙන දෙසතියේදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව සමාජ සවිබල ගැන්වීමේ රාජ්‍ය ඇමැති අනුෂ පැස්කුවල් මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ ට සඳහන් කළේය.

එකී විශ්‍රාම වැටුප් ක්‍රමයට සේවයං රැකියාවල නිරත සියලු දෙනා අනිවාර්යයෙන්ම ඇතුළත් විය යුතු බවත් අවශ්‍ය නම් අර්ථසාධක අරමුදලේ හිමිකම් ලබන අයට ඉල්ලුම් කළ හැකි බවත් හෙතෙම කීවේය.

මේ මගින් ලක්ෂ විස්සක් පමණ පිරිසක් ආවරණය කර සැඳෑසමයට සරණක් වීමට බලාපොරොත්තු වන බව ද හෙතෙම පැවසීය. සිය රැකියා කාලයේදී වසර පහක කාලයක් සමාජ ආරක්ෂක මණ්ඩලයට මාස් පතා නියම කරන ලද (ඇතැම් විට රුපියල් දහයක්) ගෙවීම් ගෙන මෙම රක්ෂණ ක්‍රමයට ඇතුළත් කර ගන්නා බවත් ඉන් අනතුරුව වයස අවුරුදු හැට සැපිරූ පසු විශ්‍රාම වැටුප් සඳහා හිමිකම් ලබා දෙන බවත් රාජ්‍ය ඇමැති අනුෂ පැස්කුවල් මහතා කීය.

වයස අවුරුදු 60 සැපිරීමට මත්තෙන් යම් අයෙකු අනතුරකට හෝ වෙන යම් හේතුවක් මත ආබාධිත තත්ත්වයට පත් වුවොත් එතැන් පටන් විශ්‍රාම වැටුප් ක්‍රමය ක්‍රියාත්මක වන බවත් හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.

සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment