කොටි වැළලූ රන්බඩු සොයා සිලාවතුර කැලෑවක කැණීම් කළ 5ක් දැලේ

266

මන්නාරමේ සිලාවතුර කොක්තුපරයාන් වනයේ කොටි සංවිධානය වැළලූ රන් භාණ්ඩ සොයා එම කැලෑවේ කැණීම් කිරීමට පැමිණි පුද්ගලයන් පස්දෙනකු නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගෙන මන්නාරම පොලිසියට භාරදී ඇත. සැකකරුවන් අතරින් එක් අයකු අනුරාධපුර ප්‍රදේශයේ පොලිසියක සේවය කරන සැරයන්වරයකු බව පැවසේ.

සිද්ධිය සම්බන්ධයෙන් සිලාවතුර පොලිසිය පෙරේදා (21දා) විමර්ශනයන් පැවැත් වූ අතර එහිදී හෙළි වූ තොරතුරු අනුව මෙම කැණීම් සඳහා පොලිස් ස්ථානාධිපතිවරයෙකු ද පැමිණ ඇති බවට අනාවරණය වී තිබේ.

සැකකාර සැරයන්වරයා සේවය කරන පොලිස් ස්ථානයේ සේවයේ නියුතු පොලිස් පරීක්ෂකවරයකු වූ මෙම ස්ථානාධිපතිවරයාගෙන් ප්‍රශ්න කිරීමට සිලාවතුර පොලිසිය කටයුතු කරයි. මෙම පිරිස පුරාවිද්‍යා වටිනාකමින් යුත් භාණ්ඩ සොයා කැණීම් කිරීමට පැමිණි බවට තොරතුරු ඇතත්, උතුරේ යුද්ධය සමයේ කොටි සාමාජිකයන් වැළලූ බව කියන රන් භාණ්ඩ ඇතුළු වෙනත් ද්‍රව්‍ය ගොඩගැනීමේ අරමුණින් මොවුන් පැමිණි ඇති බව පොලිසිය විශ්වාස කරයි.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment