හිප්හොප් කියන්නේ කුණුහරුපයක් නෙමෙයි – රන්දීර්ගෙන් ඇල්බමයක්

90

ඕනෑම ක්‍ෂේත්‍රයක ඩ්‍රග්ස් ගන්න අය ඉන්නවා

මල්මද හාස පීදෙනා” නාමල් මිටක් සුදු දෝතින් අරන් වැනි ගීත හරහා තාරුණ්‍යයේ ආදරයට පාත්‍ර වුණු තාරුණ්‍යයේ වෙනස්ම ගායකයෙක් තමයි රන්දීර් විතාන. පසුගිය කාලයේ වැඩි සද්ද බද්දයක් නැතිව හිටපු රන්දීර් කාලෙකට පස්සෙ අලුත්ම වැඩක් කරලා. මේක ටිකක් වෙනස් වැඩක්. රන්දීර් ‘සංග්‍රාම. කියලා නම් කරපු මේ වැඩේ හිප්හොප් ගීත එකතුවක්. හිප්හොප් ගීත කලාවෙන් කරළියට ආපු රන්දීර් කාලෙකට පස්සෙ මෙහෙම වැඩක් කළේ ඇයි?

මේක මම නිර්මාණය කරපු හිප්හොප් ඇල්බම් එකක්. බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නවා මමත් හිප්හොප් කලාවේ පුරෝගාමියෙක් කියලත්. ඇත්තටම ලංකාවෙ පළමු හිප්හොප් කණ්ඩායමේ සාමාජිකයෙක් විදිහට පළමු රූපරචනාව නිර්මාණය කළෙත් මමයි. ඊට පස්සෙ මම දිගටම ගායකයෙක් විදිහට තමයි වැඩ කළේ. අන්තිමේ මම තීරණය කළා හිප්හොප් ගීත කලාවෙන් ගීත එකතුවක් “සංග්‍රාම” කියලා එළිදක්වන්න.

හිප්හොප් කියන්නේ කුණුහරුපයක් නෙමෙයි - රන්දීර්ගෙන් ඇල්බමයක්

මේ සංග්‍රාමය ට කවුද එකතු වුණේ?

සංග්‍රාම නිර්මාණයට කෙන් ලැපත්” යසස් මැදගෙදර” කැනීෂියස් ෆර්නෑන්ඩු වගේම මම දායක වුණා. පද රචනයෙන් චමත් නාලක” කැනීෂියස් ෆර්නෑන්ඩු” නිමල් ජයසිංහ” චන්ද්‍රදාස ෆර්නෑන්ඩු සම්බන්ධ වුණා. මික්සින් ඇන්ඩ් මාස්ටරින්” මහේෂ් කංකානිගේ.

රන්දීර් කාලයක් හිප්හොප් කලාවෙන් ඈත් වුණා?

මම කාලයක් ගායකයෙක් විදිහට වැඩ කළා. එතකොට මට හිප්හොප් කලාවට පූර්ණ කාලීනව සම්බන්ධ වෙන්න බැරි වෙනවා. නමුත් මම ප්‍රසංග වේදිකාවල පවා හිප්හොප් ගීත ගායනා කළා.

පසුගිය කාලයේ රන්දීර් ප්‍රසංග කලාවට වැඩිපුර කාලය වෙන් කළා?

අපි මොන නිර්මාණය කළත් මේක වෘත්තීය මට්ටමින් කරන්න නම් ප්‍රසංගවලට සම්බන්ධ වෙන්න ඕනෑ. යූටියුබ්වල” ඩිජිටල් ෆ්ලැට්ෆෝම්වල කොච්චර වීව්ස් තිබුණත් ඕනෑම කලාකරුවකුගේ ආදායමෙන් සියයට හැත්තෑවක් විතර එන්නේ ප්‍රසංග වේදිකාවෙන්. නමුත් ගොඩක් වෙලාවට ප්‍රසංග වේදිකාවල හිප්හොප් ආර්ටිස්ට්ලා නෑ. ඒකට හේතුව මම හිතන්නේ” හිප්හොප් සංගීතය ගැන මිනිස්සු දැනුවත් නෑ.

හිප්හොප් කියලා කුණුහරුප කියනවා කියලත් සමහරු චෝදනා කරනවා?

ඔය ආකල්පය තමයි මම දැන් මේ කඩන්න හදන්නේ. හිප්හොප් සංගීතයේ ඉතිහාසයට ගියොත් ඒක ඇත්තටම ජන ගී සම්ප්‍රදායක්. ඇමරිකාවේ කළු ජාතිකයන්ගේ එහෙමත් නැතිනම් සමාජයෙන් කොන් කරපු පිරිසකගෙන් පැවත එන කලාවක් විදිහටත් සමහරු හඳුන්වනවා. ඔය වගේ වැරදි ආකල්ප හැදෙන්න හේතු කිහිපයක් තිබෙනවා.

ඒ මොනවාද?

සමහරු ඇමරිකානු සංස්කෘතිය වැරදියට ඉදිරිපත් කරලා තමයි” ඔය කියන වැරදි ආකල්පය සමාජය පුරා පැතිර ගියේ. තැනේ හැටියට ඇණේ ගහන්න එපායැ. ඇමරිකානු සංස්කෘතියෙන් මිදිලා මේ ශෛලිය අපි අපේ සංස්කෘතියට ගැළපෙන ආකාරයට ඉදිරිපත් කරන්න ඕනෑ. ඇත්තටම හිප්හොප් කියන්නේ කුණුහරුපයක් නෙමෙයි. හිප්හොප් ආර්ටිස්ට් කෙනෙක් අඳින ඇඳුම් සහ හැසිරීමත් වෙනම විදිහක්නේ. ඒකත් මාධ්‍යයෙන් වැරදි විදිහට පෙන්වලා” හිප්හොප් ආර්ටිස්ට්ලාගේ නම කැත වුණා.

හිප්හොප් ආර්ටිස්ට්ලා මත්ද්‍රව්‍ය භාවිත කරනවා කියල කතාවක් පැතිරෙනවා?

ඔව්” මේ ඔක්කොම කටකතා. ඩ්‍රග්ස් ගැන කතා කළොත් ඕනෑම ක්‍ෂේත්‍රයක ඩ්‍රග්ස් ගන්න මිනිස්සු ඉන්නවා. මම කියන්නේ ඒක හිප්හොප් සංස්කෘතියත් එකක් බැඳිච්ච දෙයක් නෙමෙයි. ඉතින් මට තේරුණ දෙයක් තමයි” ඔය වගේ ප්‍රශ්න හින්ද තමයි අපේ ඉන්න හුඟාක් කලාකරුවන්ට අවස්ථා හිමි වෙන්නෙ නැත්තෙ කියලා.

මේ නිසාද සංග්‍රාම ඇල්බම් එක කළේ?

මට ඕනෑ වුණා හිප්හොප් කලාව් මම ගරු කරන චරිත කිහිපයක් එකතු කරලා ඇල්බම් එකක් කරන්න. ඒක තමයි මේ සංග්‍රාම කියලා නම් කළේ. මම දන්න හඳුනන වගේම ක්‍ෂේත්‍රයේ මගේ යාළුවෝ වගේ ඉන්න ආර්ටිස්ට්ලා 23 දෙනක් එකතු කරගෙන තමයි මේ ගීත එකතුව නිර්මාණය කළේ. ඇත්තටම මට පෙන්වන්න ඕනෑ වුණේ හිප්හොප් කියන්නේ කුණුහරුප සංස්කෘතියක් නෙමෙයි කියන කාරණාවයි. අනික මේක කලාවක්” ඒ වගේම මේක ජන ගී සම්ප්‍රදායක්. විවිධ මාතෘකාවලට ගීත 12 ක් නිර්මාණය කළා.

රන්දීර්ගෙන් වැඩක් එළියට ආවේ සෑහෙන කාලෙකට පස්සෙ?

මම හිතන්නේ මේක කරන්න අවුරුදු එකහමාරක් විතර ගියා. නමුත් මගේ වැඩක් එළියට ආවේ අවුරුදු දහයකට විතර පස්සේ.

දැන් භාතිය සන්තුෂ් එක්ක වැඩ කරන්නේ නැතිද?

මම භාතිය සන්තුෂ් එක්ක වැඩ කරනවා. ඒ වගේම මම ඕනෑ කෙනෙක් එක්ක වැඩ කරනවා. කාටවත් සීමා වෙලා වැඩ කරන්නේ නැහැ. එළැඹෙන සතියේ භාතිය සන්තුෂ් එක්ක ඔස්ටේ්‍රලියානු සංචාරයකට සහභාගි වෙනවා.

සංග්‍රාම එක්ක රන්දීර්ට ලැබෙන ප්‍රතිචාර?

සෑහෙන හොඳයි. මේ ටිකේ මගේ ඉන්ස්ටර්ග්‍රෑම්” ෆේස්බුක් එකේ මැසේජස් පිරිලා තියෙන්නේ. හුඟක් දෙනෙක් ඇල්බම් එකට හොඳ කියලා තියෙනවා.

හැමෝම අහනවා රන්දීර්ගේ කොන්සර්ට් එක කවදාද කියලා?

ඒක අනිවාර්යයෙන්ම මේ අවුරුද්දෙ කරනවා. ඒ ගැන මම කිට්ටු කරලා කතා කරනවා.

මේ ගමන ගැන තෘප්තිමත් ද?

මම හුඟක් වාසනාවන්තයි. ඇත්තම කිව්වොත් නාමල් මිටක් ගීතය එළිදක්වලා අවුරුදු 15 ක් හෝ 16 ක් විතර වෙනවා. මම ගොඩක් අගය කරන්නේ මෙච්චර කාලයක් ක්‍ෂේත්‍රයේ රැඳිලා ඉන්නවා කියන්නෙම ලෙහෙසි පහසු දෙයක් නෙමෙයි. හුඟක් කට්ටිය යූටියුබ් එකට සින්දුවක් දෙකක් දානවා ඊට පස්සෙ ඒක හිට් වෙනවා. අන්තිමේ හොයා ගන්නවත් නැහැ. අවුරුදු දහසයකට පස්සෙ අදටත් ප්‍රතිචාරවල අඩුවක් නැහැ.

ඒ කාලෙ ගීතයක් හිට්කරගන්න පහසු වුණේ නැහැ?

අපි මේ ක්‍ෂේත්‍රයට ආවෙ ඩිජිටල් ෆ්ලැට්ෆෝම් මොකුත්ම නැති කාලෙකනේ. ඒ කාලෙ ප්‍රේක්ෂකයන්ට සින්දු අහන්නම වෙන්නෙ රේඩියෝ එකෙන් සහ ටීවී එකෙන් විතරයි. දැන් කාලෙ යූටියුබ්වල සින්දුවක් දාල හිට් කරගන්නවා කියන්නේ හරි ලේසියි. නමුත් ඒ කාලෙ පොඩි පොඩි බාධා තිබුණා. මේක අපි ඒ කාලෙ හදාගත්තු ෆෑන් බේස් එකක්. ඒ වගේ ෆෑන් බේස් එකක් තිබෙන එකත් හරි වාසනාවන්තයි.

මහේෂ් එදිරිසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment