පහත දැක්වෙන්නේ විශිෂ්ට විකට රූපණවේදී චාලි චැප්ලින් 1947 ජූනි 7 වන දින කැලිෆෝනියාවේ ස්වකීය නිවසේදී වාර්තාකරුවකු හා කරන ලද සම්මුඛ සාකච්ඡාවක් ඇසුරෙන් ලියූ සටහනකි. චැප්ලින් සිය සුපුරුදු විකට ශෛලියෙන් ඔබ්බට ගිය වෙනස් චිත්‍රපටයක් නිර්මාණය කොට මහත් ආන්දෝලනයකට ලක්ව සිටි අවධියක මේ සම්මුඛ සාකච්ඡාව සිදු කොට ඇත. ඒ වනවිට 58 වන වියේ පසු වූ ඔහු, ද කිඩ්, අ වුමන් ඉන් පැරිස්, ද ගෝල්ඩ් රෂ්, ද සර්කස්, සිටි ලයිට්ස්, මොඩර්න් ටයිම්ස්, ද ග්‍රේට් ඩික්ටේටර් හා සාකච්ඡාවට ප්‍රස්තූත වන මොන්සෙයර් වර්ඩොක්ස් යන චිත්‍රපට නිර්මාණය කොට තිබිණි. මේ සාකච්ඡාව පැවැත්වෙන්නේ ආන්දෝලනාත්මක හා පෙරළිකාර චිත්‍රපටයක් වූ මොන්සයර් වර්ඩොක්ස් (‘මොන්සයර්’ යනු ප්‍රංශ බසින් මහතා යන අර්ථය ගෙන දෙයි) තිරගත වීමට පටන්ගෙන සති දෙකතුනකට පසුවය. මොන්සයර් වර්ඩොක්ස් චිත්‍රපටයේ චාලි සිය ආවේනික විකට රංගනය හා බැඳුණු එහෙත් ඊටම අනුගත නොවුණු ඉතා සංකීර්ණ විශිෂ්ට චරිතාංග රංගනයක යෙදෙයි. එය චාලිගේ සුපුරුදු විකට චරිතයට හුරුවී සිටි ප්‍රේක්ෂකයන් විශ්මයට පත් කරවන්නේය.

එසේම මෙම සම්මුඛ සාකච්ඡාව පවත්වනු ලබන්නේ චිත්‍රපටයට එරෙහිව සටනට වන් අමෙරිකානු මාධ්‍ය පිළිබඳව හා ඒ පිළිබඳව චැප්ලින් මහත් කම්පනයෙන් හා බියෙන් සිටි අවස්ථාවකය. ඔහුගේ චිත්‍රපටය විසින් අමෙරිකාව මේ සා කැළඹීමට හා බියට පත් කෙරෙතැයි චාලි කිසිසේත් නොසිතන්නට ඇත. මොන්සෙයර් වර්ඩොක්ස් කතාව පිළිබඳ අදහස මුලින්ම චැප්ලින්ගේ හිසට දමන්නේ ප්‍රකට චිත්‍රපට අධ්‍යක්ෂ ඕසන් වෙල්ස් විසිනි. ප්‍රංශයේ ජීවත් වූ බිහිසුණු දාම ඝාතකයෙකු වූ හෙන්රි ඩිසයර් ලැන්ඩෘ (මේ දාම ඝාතකයා වනාහී 1915 දෙසැම්බර් සිට 1919 ජනවාරි අතර කාලය තුළ කාන්තාවන් 7 දෙනකු ඝාතනය කළ බැව් හෙළිවූ බිහිසුණු පුද්ගලයෙකි. හෙළි නොවූ තවත් ඝාතන විශාල ප්‍රමාණයක් ඔහු කරන්නට ඇතැයි සැක කෙරේ.) පිළිබඳව චිත්‍රපටයක් තැනීම ඕසන් වෙල්ස්ගේ අදහසක්ව තිබිණි. එය ඔහු චැප්ලින්ට පැවරූ අතර ඉන් ‘නියම කොමඩියක්’ කළ හැකි බව තීරණය කළ චැප්ලින් ‘අදහස’ වෙනුවෙන් වෙල්ස්ට ඩොලර් 5000 ක් පිරිනැමුවේය.

මගේ ජාතිය මනුෂ්‍ය ජාතියයි - චාලි චැප්ලින්

මොන්සෙයර් වර්ඩොක්ස් චිත්‍රපටය තුළින් චැප්ලින් එවකට අමෙරිකාවෙහිද ක්‍රියාත්මක වූ ධනවාදී පාලන ක්‍රමය නිර්දය ලෙස විවේචනයට ලක් කළ අතර ජන ඝාතනයන්ට අනුබල දෙන ලෝක යුද්ධ හා සමූල ඝාතන අවි නිෂ්පාදනය පිළිබඳව ඔහුගේ බලවත් පිළිකුල ප්‍රකාශ කළේය. මොන්සෙයර් වර්ඩොක්ස් චිත්‍රපටයෙහි මංගල දර්ශනය 1947 අප්‍රේල් 11 වැනි දින නිව්යෝර්ක්හි බ්‍රෝඩ්වේ තියටර්හි පැවති අතර එහිදී පිරිසක් චැප්ලින්ට ‘හූ’ කියූ අතර චිත්‍රපටය ඉල්ලා අස්කරගන්නා ලෙස කෑගැසූහ. වාණිජමය වශයෙන් හා විචාරාත්මක වශයෙන් අමෙරිකා එක්සත් ජනපදය තුළ අසාර්ථක වූ පළමු චැප්ලින් චිත්‍රපටය වූයේ මොන්සෙයර් වර්ඩොක්ස් ය. එහෙත් අමෙරිකාවෙන් පිට විදේශයන්හි එය අතිසාර්ථක ලෙස ප්‍රදර්ශනය විය. එසේම 1947 ඇකඩමි සම්මාන උළෙලේදී හොඳම තිරනාටකය සම්මානය සඳහා චාලි චැප්ලින් විසින් රචිත මොන්සෙයර් වර්ඩොක්ස් තිරනාටකය නිර්දේශ විය. පසු කලෙක සිය ස්වයං චරිතාපදානය ලියන චැප්ලින් මොන්සෙයර් වර්ඩොක්ස් චිත්‍රපටය නිර්මාණය කිරීම පිළිබඳව තමන් ආඩම්බර වන බව පැවසීය. “මම මෙතෙක් නිර්මාණය කළ චිත්‍රපට අතරින් විදග්ධ හා වඩාත් විශිෂ්ට චිත්‍රපටය වන්නේ මොන්සෙයර් වර්ඩොක්ස් ය” යනුවෙන් ඔහු එහි සඳහන් කරයි.

සිය අලුත්ම චිත්‍රපටය පිළිබඳව කතා කිරීම පිණිස චාලි චැප්ලින් කැලිෆෝනියාවේ පිහිටි සිය විශාල නිවසේ ගිනි උඳුන ඉදිරියේ වාඩි වී සිටියේය. සිය පෙර ජීවිතයේ මතකයන්හි කම්පනයන් සමග සිටින මේ කුඩා මිනිසා තම සිතැඟි අප හමුවේ හෙළි කරන්නට සූදානම්ව සිටියි.

කැලිෆෝනියානු ශීත ඍතුවේ ඒ සන්ධ්‍යාවෙහි කටුක සීතලට එරෙහිව උඳුනෙහි අඟුරු දැවෙමින් තිබිණි. අපගේ සත්කාරක මහතා ටෙනිස් ඇඳුමෙන් සැරසී සෙරෙප්පු පැළඳ සිටියි. එය සුන්දර නිහඬ එහෙත් ගාම්භීර රාත්‍රී භෝජන සංග්‍රහයකට පසු ගෙවී ගිය හෝරා කිහිපයක් විය. අඳුරු ඇස් ඇති ඔහුගේ බිරිඳ, සාර්ථක ලෙස පෞද්ගලික රඟහලක් පවත්වාගෙන යන අවුරුදු 20 ක් හා 22 ක් වයසැති ඔහුගේ පුතුන් දෙදෙනා ද එහි වාඩිවී සිටිති. චාලිගේ කල්පනාවට අනුව එක් පුත්‍රයෙකු මනා රඟපෑමේ හැකියාවකින් යුක්තය. සතියකට ඩොලර් 2000 ක වැටුපකට රඟපෑමට අවස්ථාවක් ලද මොහොතේ පුත්‍රයා එය කාරුණිතව ප්‍රතික්ෂේප කළේ තමන් තවමත් රඟපෑම ඉගෙන ගනිමින් සිටින බව පවසමිනි. චැප්ලින් තම පුත්‍රයාගේ අදහස් ගැන මහත් සතුටින් සිටියි.

චැප්ලින්ගේ හිස කෙස් දැන් සුදු පැහැයට හැරෙමින් තිබේ. නමුත් ඔහු සැහැල්ලු බර බොක්සිං ක්‍රීඩකයෙකුගේ බඳු සිරුරකට හිමිකම් කියයි. ඒ ඔහුට තම වෘත්තිය සඳහා ශාරීරික යෝග්‍යතාව ඉතා වැදගත් හෙයිනි. ඔහු දුම් පානය නොකරයි. කලාතුරකින්වක් මත්පැන් පානය කරන්නේ නැත. එසේම චිත්‍රපට සංගම් විසින් සංවිධානය කරන සාද සඳහා සහභාගිවන්නේ නැත. දවසෙහි අනිවාර්ය අංගයක් ලෙස යම් වේලාවක් ටෙනිස් ක්‍රීඩාවෙහි යෙදෙයි. එසේම චිත්‍රපටයක වැඩ කරන විට උදේ ආහාරයේ සිට මධ්‍යම රාත්‍රිය දක්වා වුවද වැඩ කරන්නට නොපැකිලෙයි. චාලි චැප්ලින් ජීවිතය සැහැල්ලු ලෙස සලකන්නේ නැත. මිනිසුන්ව හිනැස්සවීමට ඔහු ප්‍රිය කරයි. ලොව පුරා මිලියන ගණනක ජනතාවකගේ ආදරය ලබන ඔහු පුංචි සිනහවක් මුවගට නගා ගනිමින් එම සතුට නිරහංකාරව විඳින්නේය. නමුත් හුදෙක් විකට නළුවෙකු වීම ඔහුගේ අභිලාෂය නොවන බව ඔහු අප සමග පැවසීය. ඔහු උර මත දරා සිටින්නේ සකල මනුෂ්‍ය වර්ගයාගේ දුක්ඛ දොමනස්සයන් ය. එම දුක්ඛ දෝමනස්සයන් ඔහුව ශෝකයට පත් කරන අතර ඒ තුළ පවත්නා අයුක්තිය ඔහුගේ ආත්මය අවදි කරන්නේය. එබැවින් ඔහු තමාව හඳුන්වන්නේ උපහාසාත්මක නළුවෙකු ලෙසින්ය.

මොන්සෙයර් වර්ඩොක්ස් (Monsieur Verdoux) නම් ඔහුගේ නවතම චිත්‍රපටය සර්වකාලීන ලෙස සමාජ අසාධාරණයන්ට නියම උපහාසාත්මක ප්‍රහාරයක් එල්ල කිරීමට සමත් වී තිබේ. “මම මොන්සෙයර් වර්ඩොක්ස්ට කැමතියි” චැප්ලින් පවසයි. “මා මෙතෙක් නිර්මාණය කළ චිත්‍රපට අතුරින් අතිශයින්ම වැදගත්ම චිත්‍රපටය එයයි” ලජ්ජාශීලී සිනහවක් සමගින් ඔහු “එහි පවතින්නේ මහා ඉංග්‍රීසි උපහාස කතාකරුවන්ගේ සම්ප්‍රදායයි. විශේෂයෙන් ඩීන් ස්විෆ්ට්ගේ සම්ප්‍රදාය…” යනුවෙන් පවසයි.

වර්ඩොක්ස් යනු ප්‍රංශ බැංකු ලිපිකරුවකු වන අතර සිය රැකියාව අහිමිවීමෙන් පසු ඔහු සිය රෝද පුටුවෙහි සිටින බිරිඳගේ හා පුත්‍රයාගේ අදහසකට අනුව ධනවත් වැන්දඹු කාන්තාවන් විවාහ කරගෙන පසුව ඔවුන් මරා දමා ඔවුන්ගේ ධනය හිමි කරගැනීමේ ක්‍රියාවක නිරතවෙයි. එක් මිනීමැරුමකින් පසු මුදල් සොරා ගන්නා ඔහු බැංකු පළපුරුද්දෙන් යුතුව ඒවා ගණන් කරයි. එසේ කර බැංකු ලීලාවෙන් සිය බ්‍රෝකර්වරයා අමතා ඒවා ආයෝජනය කරයි. ඔහුගේ ආදර්ශ පාඨය වන්නේ ‘ව්‍යාපාර යනු ව්‍යාපාර’ යනුවෙනුයි. එහෙත් මේ ආයෝජන අවසන් වන්නේ ඔහු දිනෙක පොලිසියට හසුවීමෙනි. මරණ දඬුවම නියම වීමෙන් පසු මරණය එන තෙක් මරණ දඬුවමට නියම කළ සිරකරුවන් රඳවන සිර මැදිරියෙහි සිටියදී දෙවියන් වහන්සේගේ අවසන් ආශිර්වාද පණිවිඩය දීම පිණිස පැමිණෙන පූජකයා ‘දෙවියන් වහන්සේගේ සමග සාමයේ නිවහනට පැමිණෙන ලෙස’ ඔහුට කියයි. ඊට වර්ඩොක්ස් පවසන්නේ “මම දැනටමත් සිටින්නේ දෙවියන් හා සාමයෙන් තමයි. මගේ ආරෝව තිබෙන්නේ මිනිසුන් සමගයි” යනුවෙන්ය.

මේ ආකාරයට මොන්සෙයර් වර්ඩොක්ස් අමෙරිකානු මාධ්‍ය හා සමාජ හා ආගම් සංවිධාන කෝප කරවනු ලැබීය. මින් හැඟෙන්නේ ලෞකිකව සාර්ථක වන්නේ දෙවියන්ගේ ආශිර්වාදය මත බව යන ඇදහීම බැහැර කරන මිනිසුන්ට අමෙරිකාව අකැමති බවය. ධනවාදය, ශිෂ්ටාචාරය හා ආගම පිළිබඳ අමෙරිකානු ඇදහිල්ල ප්‍රශ්න කරන ඕනෑම කෙනෙකුට අනුකම්පා විරහිත ලෙස පහර දීමට අමෙරිකාව පසුබට වන්නේ නැත. පසුගිය සති කිහිපය තුළ චාලි චැප්ලින්ට එල්ල වූ මාධ්‍ය ප්‍රහාරවලින් අමෙරිකානු සමාජයේ බිහිසුණු පැතිකඩක් අනාවරණය වෙයි.

මගේ ජාතිය මනුෂ්‍ය ජාතියයි - චාලි චැප්ලින්

මොන්සෙයර් වර්ඩොක්ස් පිළිබඳව අමෙරිකානු මාධ්‍යයන්හි හැසිරීම ඉතා කනගාටුදායක විය. චිත්‍රපටයේ ප්‍රවර්ධන කටයුතු කිරීමේදී මාධ්‍ය, චැප්ලින් ඉතා සතුරු සැලකිලිවලට භාජනය කරන ලද්දේය. ප්‍රචාරණ අවස්ථා අහුරා දමන ලද්දේය. පළ වූ විචාරවලදී චිත්‍රපටයෙහි උසස් තත්ත්වය සැඟවිය නොහැකි වුවද අනියම් ආකාරයෙන් හෙළා දකින ලද්දේය. ‘නිව්යෝර්ක් ටයිම්ස්’ පුවත්පතෙහි විචාරක බොස්ලි ක්‍රෝතර් පැවසුවේ මෙම චිත්‍රපටය බොහෝ ප්‍රදේශවල ඉතා වෙහෙසකර හා මන්දගාමී අන්දමින් ප්‍රදර්ශනය වුවද චැප්ලින්ගේ කාර්යය උද්යෝගිමත් ලෙස කැපී පෙනෙන බවයි. ‘වොෂින්ටන් පෝස්ට්’ පුවත්පතෙහි රිචඩ් කෝ නම් විචාරකයා සඳහන් කළේ එය නිර්භීත, දීප්තිමත් හා විනෝදජනක වුවද කටුක චිත්‍රපටයක් බවය. විචාරක එව්ලින් වෝ පැවසුවේ ‘මොන්සෙයර් වර්ඩොක්ස්’ විශ්මයජනක පරිණත කලාකෘතියක් වුවද එහි අඩංගු පණිවුඩය ඉතා නින්දිත එකක් බවය. චිත්‍රපටයෙහි විශිෂ්ටත්වය සැඟවිය නොහැකි බැවින් එය සඳහන් කොට යටින් පහර දීමේ ක්‍රියාවලියක් බොහෝ විචාරකයන් විසින් ව්‍යාපාරයක් ලෙස ගෙනයන ලද්දේය.

මොන්සෙයර් වර්ඩොක්ස් ප්‍රදර්ශනය කළ නිව් ජර්සිහි සිනමාහල්වලට මහත් බාධා පමුණුවනු ලැබූ අතර ‘කතෝලික යුදවිරුවෝ’ (Catholic War Veterans) නම් බැප්ටිස්ට් කතෝලික සංවිධානයක් විසින් මොන්සෙයර් වර්ඩොක්ස් චිත්‍රපටයට එරෙහිව උද්ඝෝෂණ මාලාවක් සංවිධානය කරන ලද්දේය. ඔවුන් ඔසවාගෙන සිටි පුවරුවල සඳහන් ප්‍රධාන පාඨය වූයේ චාලි චැප්ලින් අමෙරිකාවෙන් පිටුවහල් කළයුතු බවය. ‘අමෙරිකානු මහා හමුදාව’ (American Legion) නම් සංවිධානයක් විසින් කළ අඛණ්ඩ උද්ඝෝෂණ නිසාවෙන් ඩෙන්වර් ප්‍රදේශයේ සිනමාහල්හි චිත්‍රපටය ප්‍රදර්ශනය අත්හිටුවන්නට සිදු විය. ඊට අමතරව ටෙනසි හා මෙම්ෆිස් ප්‍රාන්තයන්හි වාරණ මණ්ඩල විසින් එම ප්‍රදේශයන්හි සිනමාහල්හි මොන්සෙයර් වර්ඩොක්ස් චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කරන ලද්දේය.

චිත්‍රපටය පිළිබඳ ප්‍රථම මාධ්‍ය හමුව පිණිස චැප්ලින් පසුගියදා නිව්යෝක් නුවරට පැමිණියේය. “ඔවුන් පැමිණියේ හරියට වෘකයන් රැළක් වගෙයි” මාධ්‍ය හමුව පිළිබඳව විස්තරය හෙළි කරමින් ඔහු අප සමග පැවසුවේය. “ඔවුන් මා වෙත කඩා පැන්නා. ‘ඔබ කොමියුනිස්ට්වාදියෙක්ද? ඇයි ඔබ අමෙරිකන් පුරවැසියෙක් නොවේද? ඔබ මුදල් උපයන්නේ මේ රටෙන් නේද? එහෙම නොවේද?’ එය තනිකරම වනචාරී සටනක් වගේ. නමුත් මම ඒ වනචාරී සටනෙන් වින්දනයක් ලැබුවා.” චැප්ලින් උඳුනෙහි ගිනිදැල් දෙස බලාගෙන පවසයි. ඔහුගේ මුහුණෙහි සටහන් වන හැඟීම් කියවා ගැනීමට මම උත්සාහ කළෙමි. “මම දේශපාලනය ගැන උනන්දුවක් නොදක්වන බවත්, කිසිදා ඡන්දය භාවිතා කර නොමැති බවත් මම ඔවුනට කිව්වා. රංගන ශිල්පියෙකු හා කලාකරුවකු ලෙස ඒ පිළිබඳව මම මා ගැන සහතික වශයෙන්ම සතුටු වෙනවා. මම ඔවුනට කිව්වා, මම හැමදාමත් ජාතිවාදයට විරුද්ධයි කියලා. මම අයිති මනුෂ්‍යත්වයටයි. සෑම රටකම සිටින මිනිසුන්ගේ හැඟීම් මට දැනෙනවා. මම එංගලන්තයේ ඉපදුන එක අත්වැරැද්දක්. ඒකට වගකියන්න ඕනෙ මම නොවෙයි, මගේ අම්මා.” ආවේගශීලී ලෙස දිගටම තම හැඟීම් පිට කළ ඔහු මඳ වේලාවක් නිහඬව සිටියි. ඔහු තම මව පිළිබඳ වූ දුක්බර මතකයන් සමග හුදකලා වූ බවක් මට හැඟී ගියේය. “ඔවුන් ඔබේ ආදායම ගැනත් සඳහන් කළා නේද?” යැයි මම චැප්ලින්ගේ හැඟීම්බර නිහඬතාවය බිඳ දැමුවෙමි. “මගේ ආදායම ගැන කියනවා නම් ඉන් විශාල කොටසක් පිටරටින් මේ රටට එන ධනය. සෑම් අන්කල් ඉන් සෑහෙන කොටසක් බදු ලෙස අයකර ගන්නවා. ඉතින් මම මේ රටට ආදායම් බදු ගෙවන ප්‍රයෝජනවත් වැදගත් පුද්ගලයෙක්.”

පැහැදිලිවම චැප්ලින් වෛර කිරීමට කැමති නැත. නමුත් ඔහුට දැනෙන්නේ ඔහු අමෙරිකාව තුළ අනාරක්ෂිත බවකි. ඔවුන්ගේ කෝපය ඔවුන් කෙතරම් දුරකට ගෙන යාදැයි චැප්ලින් කල්පනා කරමින් සිටින බව අපට හැඟෙයි. අනෙකුත් බොහෝ අමෙරිකානු ලිබරල්වාදීන් මෙන් ඔහුටද එළැඹෙන්නට නියමිත ව්‍යසනය පිළිබඳ හැඟීමක් ඇත්තේය.

මගේ ජාතිය මනුෂ්‍ය ජාතියයි - චාලි චැප්ලින්

ලන්ඩනය පාදක කොටගෙන නිෂ්පාදනය වන තම අලුත් චිත්‍රපටයේ කටයුතු සඳහා ඊ ළඟ අවුරුද්දේ චාලි චැප්ලින් එංගලන්තයට යෑමට සැලසුම් කරගෙන සිටින බව අපට පැවසීය. එය වේදිකාවට අදාළ කතාවක් බව ඔහු පවසයි. “වේදිකාවේ සිටින බයිබල් ජනතාව, මේ භයානක ලෝකයේ දෙවියන් කෙරෙහි විශ්වාසයෙන් සිටින දරුවන් ආදීන් සම්බන්ධ සරල කතාවක්” ඔහු පවසයි. ‘වේදිකාව’ යනුවෙන් ඔහු අදහස් කළේ කුමක්දැයි මට වැටහුණේ නැත. කතාව තවමත් වැඩෙමින් පවතින්නේ ඔහුගේ සිතෙහිය. සියල්ල කරනු ලබන්නේ ඔහු විසින්ය. කතාව, තිරපිටපත, සංගීතය පමණක් නොව නිෂ්පාදනය හා අධ්‍යක්ෂණය ඇතුළු සියල්ල ඔහුගේය. “මගේ රංගන හැකියාව පිළිබඳව මට සංතෘප්ත වියහැක්කේ එවිට පමණයි” ඔහු කියයි. ප්‍රතිපත්තියක් ලෙස ඔහු තම චිත්‍රපට සඳහා යොදාගන්නේ හොලිවුඩ්හි පිහිටි ඔහුගේම චිත්‍රාගාරය වුවද ඊළඟ චිත්‍රපටයේ කොටසක් ඔහු එංගලන්තයේ නිෂ්පාදනය කිරීමට තීරණය කොට තිබේ. එංගලන්තය පිළිබඳව සඳහන් කරන විට ඔහු පවසන්නේ තම පෙර ජීවිතයේ මුල්, එංගලන්තය හා බැඳී ඇති බැවින් තමා යුරෝපීයෙකු බවට දැනෙනා හැඟීම කිසිදා නැති නොවන බවයි. ඔහු ඒ ගැන කතාකරන විට නැගෙනහිර එංගලන්තයේ බෝව් දේවස්ථානයේදී උපත ලද සිය දරුවන් පිළිබඳ සිහිනයෙහි ගැලී සිටියේය. “දවසක, සමහර විට” ඔහු සිනා මුවෙන් පවසයි “මම ඩෙවොන්ෂයර් හෝ කොන්වෝල්වල ගොවිපළක ජීවත් වෙන්නටත් පුළුවන්.”

කැලිෆෝනියානු ශීත ඍතුවේ මේ අමතක නොවන රාත්‍රියෙහි හෝරා කිහිපයක් ගෙවී ගොස් තිබුණි. චාලි චැප්ලින් නම් විශිෂ්ට විකට රූපණවේදියාට, පුදුමාකාර මිනිසාට සමුදෙමින් අපි හිඳ සිටි අසුන්වලින් නැගී සිටියෙමු. ඔහුගේ විසල් නිවසෙහි මනහර ගෙඋයනෙහි නවත්වා තැබූ අපේ වාහනයට නැගී පිටත්වන්නට පෙරාතුව මම හැරී නිවසේ දොරටුව දෙස බැලුවෙමි. ඇදහිය නොහැකි කුසලතාවයන්ගෙන් හෙබි කුඩා මිනිසා අප සමග පසුගමන් පැමිණ දොර රාමුව මැද සිටගෙන අප පිටත්ව යන දෙස බලා සිටියේය.

● නිමල් ෆ්‍රැන්සිස්

advertistmentadvertistment
advertistmentadvertistment