පිස්සෙක් වීම!

කන්දොස්කිරියාවේ ඉන්න බැරි තැන පාරට බැස්සා මං. මට ඕන වුණේ එක දෙයයි. සිහිවිකල් වෙන්න. ඔළුව අවුල් වෙන්න. පිස්සෙක් වෙන්න. පිස්සෙක් වෙන්නෙ කොහොමද මං? තේරෙන්නෙ නෑ මට ඒක.

දෙයියනේ! පිස්සෙක් කියන්නෙ මොන ශ්‍රේෂ්ඨ මිනිහෙක්ද? මොන තරම් පිං රැස්කරන්න ඕනද පිස්සෙක් වෙන්න! නිකන් බලන්න පිස්සෙක් දිහා. පිස්සෙක් ඉන්නෙ මොන සන්තෝසෙකින්ද! පිස්සෙක් ඇවිදින්නෙ කරන්නෙ, මිනිහෙක් දිහා බලන්නෙ, මුහුණෙ ඉරියව් පාන්නෙ මොන අභිමානයකින්ද! ඇත්ත වශයෙන් පිස්සෙක්ගෙ මුහුණෙ සිරියාව අපේ මුහුණුවල නෑ. අපේ මුහුණු කජු ලෙලි වගේ. “අපි සන්තෝසෙන් ඉන්නේ! දුක සෝකය නෑ දන්නේ”…..! අන්න එහෙම ඉන්නෙ පිස්සා. එහෙම පිස්සෙක් වෙන එක කුසල කර්මයක් පටිසන් දීමක්. එහෙම කුසලයක් කරලා නෑ මං. මට පිනක් තිබිලා නෑ කවදාවත් එහෙම කෙනෙක් වෙන්න. ඒත් මට ඕන කරනවා මේ ආත්මෙදීම, මේ භවයෙදීම, මේ දැන්ම පිස්සෙක් වෙන්න. සිහිය නැති, මේ ලෝකෙ වෙන දේවල් ගැන, ජීවිතේ ගැන අවබෝධයක්, වැටහීමක් නැති, අදක් හෙටක් ගැන හිතන්න වෙන්නෙ නැති මිනිහෙක් වෙන්න. ඉතිං කල්පනා කරලා කල්පනා කරලා බැරිම තැන මං පාරට බැස්සෙ. බහින්න දේකුත් තිබුණෙ නෑ මට. පාරට වැටිලා ඉවරයි මං!

මට මුලින්ම හිතුණෙ පිස්සන් කොටුවට යන්න. අංගොඩට හරි මුල්ලේරියාවට හරි. ඒත් ඒවා පිස්සො ඉන්න තැන්ද? මං පිළිගන්නෑ ඒවා පිස්සන් කොටු කියල. මට ඕන ඇත්තම පිස්සො ඉන්න තැනකට යන්න. පාර්ලිමේන්තුව කොහොමද? අන්න, නියම පිස්සන් කොටුවක්. ඒත් බයයි මට එතනට යන්න. සාහසික මිනිස්සු එතන ඉන්නෙ කියල අහලා තියෙනවා මං. පිරිමි ගෑනුන්ගේ බෙලි මිරිකන, ගෑනු පිරිමින්ගෙ කලිසම් ඔළුවෙන් ගලවන, කුණුහබ්බ අමු අමුවේ වමාරන, මැර තර්ජන, බැණ අඬගසාගැනීම් කරන, අරවා මේවා කරකවන, මිරිකන තැනක පිස්සෙකුටවත් ඉන්න බෑ. දැන් බලන්න, පිස්සන්ට ලැජ්ජ – බය නෑ. පාරෙ ඉන්න හුඟක් පිස්සො අඩ නිරුවත්. සමහරු ඇඳුම් ගලවලාම ඇවිදිනවා, බුදියනවා. ඇයි? ලැජ්ජාවක්, බයක් නෑ ඔවුන්ට. පාර්ලිමේන්තුවේ ඉන්න අයට ලැජ්ජාවක්, බයක් තියෙනවාද! තියෙනවා නම් එකකින් ඡන්දෙ අරගෙන අනිකට පනින්නෙ නෑනෙ. ඔවුන්ටයි, කෝට්, සාරි, ජැකට්, ජාතික ඇඳුම් ඇන්දත් හැම වෙලාවෙම ඉන්නෙ ඇඳුම් ගලවන්න බලාගෙන. ලැජ්ජ – බය ගෑවිලාවත් නෑ. පිස්සො නේද?

සාමාන්‍ය ඉස්පිරිතාලෙකට ගියොත් කොහොමද? එතන ඉන්නවාද පිස්සො? ඇයි නෑ කියන්නෙ? හැම ඉස්පිරිතාලයක්ම පිස්සු වාට්ටුවක්. එතන හැබැයි අරිට වඩා භයානකයි. හුඟක් බය එතන දෙන බෙහෙත්වලට. බෙහෙත් කියල දෙන්නෙ වහ සමහර වෙලාවට. එන්නෙම ඉස්පිරිතාලෙට වහ වෙලා බෙහෙත්. බෙහෙත් වහ කරලා, ඒකෙනුත් ගසාකාපු ගොයියා තවම ජම්පරේ පිටින් නේද? බෙහෙත් දෙන අයත් ඉස්පිරිතාලෙ බෙහෙත් වහ කරනවා. දෙන අය, ගන්න අය, ඇණවුම් කරන අය, හදන අය… ඔක්කොම එකතු වෙලා ඉස්පිරිතාලෙ පිස්සු වාට්ටුවක් කරලා. ඇත්ත කිව්වොත් පිස්සන් කොටුවක වුණත් පිස්සු නැති මිනිස්සු දෙතුන් දෙනෙක් ඉන්න ඕන. ඒත් ඉස්පිරිතාලෙ ඉන්න ඔක්කොම පිස්සො. සිකුරිටි තැනගෙ ඉඳලා, ඇටෙන්ඩන්, නර්ස්, මේට්‍රන්, ෆාමසිස්ට්, දොස්තර, පරිපාලක යනකන් ඔක්කොම රාජ පිස්සො. ස්ට්‍රයික් කරන සැටියෙන්ම පේනවානෙ ඒක. ඔය වගේ තව පිස්සු වාට්ටුවක් තියෙනවා. දුම්රිය දෙපාර්තමේන්තුව ඒ. පිස්සු වාට්ටුද රජයේ හැම දෙපාර්තමේන්තුවක්ම අපේ? වෘත්තීය සමිති ව්‍යාපාර වුණත් එච්චරයි. හුඟක් වෘත්තීය සමිතිවල ඉන්නෙ අදාළ ක්ෂේත්‍රයේ වැඩ කරන අයට වඩා වෙන ඒවාට සම්බන්ධ අය. මොන රටේද හෙදියො වෙනුවෙන් පෙනී ඉන්නෙ හාමුදුරු නමක් සභාපති වෙලා! මොකක්ද මේ? පිස්සන් කොටුවල සැටි! දැන් මේ රටේ පෞද්ගලික වෛද්‍යවරු බිහි කරනවාට විරුද්ධයි දොස්තරලා. ඒත් පිටරටින් අරන් ආවාම ඒ උපාධියම ඒකට පුළුවන් මෙහෙ දොස්තරකම් කරන්න! මොකක්ද මේ? පිස්සු! ඒත් මට බෑ මේ වගේ පිස්සො ඇසුරු කරන්න.

විශ්වවිද්‍යාලෙ නැද්ද පිස්සො? බැරිද කැම්පස් එකට ගිහින් පිස්සෙක් හම්බෙන්න? හුඟක්ම සිංහල අංශෙට? මොනවා කියනවාද අයිසෙ මේ! විශ්වවිද්‍යාලයක් වගේ තැනක් පිස්සන් කොටුවට සම කරන්න එපා! සමාවෙන්න මට! මං ඒක හිතලා කිව්වෙ නෑ. එහෙම සන්සන්දනයක් කරන්න නෙවෙයි මං කථා කළේ. මං ඇහුවෙ විශ්වවිද්‍යාලෙ පිස්සො ඉන්නවාද කියල. දන්නවා ඇතිනෙ, හැම උගතෙක්ම පිස්සෙක්. සොක්‍රටීස් පිස්සෙක් නෙවෙයිද! ගැලීලියෝ පිස්සෙක් නෙවෙයිද! ඒත් කියන්න ඕන, පිස්සෙක් නෙවෙයි අපේ සඳගෝමි සර් නම්. ජේ.බී. සර්ත් පිස්සෙක් නෙවෙයි. සුනිල් සර්ට නම් සමහර වෙලාවට පිස්සු හැදෙනවා. ඒත් පිස්සෙක් නෙවෙයි. පිස්සෙක් නම් චිත්‍රපටි හදන්නෙ නෑනෙ. විශේෂයෙන් ඉන්දියානු නළු නිළියො ගෙන්නගෙන. ජැක්සන් ගැන ලියන්නෙත් නෑනෙ එහෙනම්. ඇත්තටම පොදුවේ බැලුවාම ලංකාවේ විශ්වවිද්‍යාල අද බොහොම සුවච, ශික්ෂාකාමී, විෂයධර, විනයධර උගත්තු ඉන්න රටේ උත්තුංග අධ්‍යාපන කේන්ද්‍රස්ථානයක්. උපාධි නිබන්ධන කියල පරණ නිබන්ධන කොපි එළියට ආවාට මොකෝ, කැම්පස් එක රටක් වටින තැනක්. කථිකාචාර්යවරුත් විදග්ධ පඬිවරු. ඒකෙ පිස්සො ඉන්නවා කියල හිතන එකමත් පව්. හැබැයි දුකෙන් හරි කියන්න ඕන පිස්සො ඉන්න කාලෙ තමයි ස්වර්ණමය යුගය තිබුණෙ විශ්වවිද්‍යාලෙ. පනහේ, හැටේ, හැත්තෑවේ දශකවල අපේ විශ්වවිද්‍යාල තනිකර පිස්සන් කොටු නෙවෙයිද? බොරුද මං කියන්නෙ? තනිකර කෙළියෙ පිස්සු නේද? ‘මනමේ’, ‘සිංහබාහු’ වගේ නාට්‍ය වුණත් පිස්සො ඇරෙන්න වෙන කවුද කරන්නෙ! ඒත් අද ඒවායේ පිස්සො නෑ. පිස්සො නැති නිසා මං යන්න කැමති නෑ විශ්වවිද්‍යාලෙ අඩිය ගහන්න.

පිස්සන් කොටු තිබුණා හුඟක් ඉස්සර. ‘අපේ කට්ටිය’ කියන්නෙ හොඳ පිස්සන් කොටුවක් සුගත්ගෙ. හතාගේ තිබුණානෙ වීදි නාට්‍ය පිස්සන් කොටුවක්. ජසයා සහ ලෙංචිනාටලාට, මනෝට, නිරිඇල්ලට, හෙන්රි ජයසේනට, ධර්මසිරිට, විභවියට…. ඔය හැම දෙනාටම, හැම තැනටම තිබුණා පිස්සන් කොටු. දැන් ඒ එක පිස්සන් කොටුවක්වත් නෑ. නැති නිසා ආතභූත වෙනවා ජීවත් වෙනකොට දැන්.

ඒත් මට තේරෙන්නෙ නෑ ඇයි මට පිස්සෙක් වෙන්න ඕන කියල. සිහි විකල වෙන්න, එළඹි සිහිය නැති කරගන්න හිතෙන්නෙ ඇයි මට? ගේ ඇතුළෙ කන්දොස්කිරියාවක්ද? ගේ ඇතුළෙ විතරක් නෙවෙයි, එළියෙ හතර වටෙනුත් ගෝරනාඩුවක් ඇහෙනවා මට. මහා මිනීමැරුමක්, සමූල ඝාතනයක් සිද්ධ වෙනවා. කඩු, කිනිසි, දම්වැල්, යගදා අමෝරාගෙන පහර දෙන්න එනවා පාතාලයො මගෙ පස්සෙන්. උහුලන්න බෑ මට මාව තලා පෙළනවා. පපුව ඇවිලෙනවා මගෙ ගින්දරට. ඇඟ අතපය පිච්චෙනවා. ආතක් පාතක් සොයාගන්න බෑ ඇස් දෙකට. ඇස් දෙකට පේන්නෙ බලන්න බැරි දේවල්. ඇහැට, කනට, නහයට, පපුවට ඔරොත්තු නොදෙන දේවල් ග්‍රහණය වෙනවා. මට ඕන වුණේ ඇස් පියාගන්න. ඒත් ඇස් පියෙව්වාම කනට ඇහෙනවා අපරාධ. ඇඟට දැනෙනවා ලේ විදිනවා. අන්තිමේ හිතුණෙ මං පිස්සෙක් වෙන්න ඕන කියල. පිස්සු හැදිලා පිස්සු තද වෙන්න ඕන වුණා මට. ඒත් තවම මට පිස්සු නෑ. පිස්සුයි කියල කිව්වාට මිනිස්සු පිස්සු නෑ. “ඕකා පිස්සෙක්! කිසි තැනක තියාගන්න හොඳ නෑ”! එහෙම කියන්නෙ මං හැරිලා යද්දි මිනිස්සු. ඒ කියන අය එකට කෑ අය මා එක්ක. හීන් නූලෙන් කොකා ගස්සනවා මං නැති කොට. එකට කෑවත් බොක්ක වෙනස්. බොකු වෙනස් වෙන්න ඕන. බොකු දෙකකින්නෙ උපන්නෙ. ඒත් වෙනසට බැරිද එකඟ වෙන්න!

ඔව්, මං දන්නවා මට පිස්සු නෑ කියල. එච්චර වාසනාවක් නෑ මට. හැබැයි මං ප්‍රාර්ථනා කරනවා පිස්සෙක් වෙන්න. සිහි විකලෙන් ඉන්න, සිහියක් පතක් නැති වෙන්න හිතනවා හැම මොහොතෙම. ඒක විකලත් නැති සිහියත් නැති තත්ත්වයක්. දැන් පිස්සෙකුට රුපියල් සීයක් දුන්නොත් පිස්සා කරන්නෙ මොකක්ද? ඒක ගන්නවා පිස්සා හිනාවෙලා. “ස්තූතියි” ! කියන්න වගේ බැගෑපත් වෙනවා සමහර වෙලාවට. හැබැයි ටික වෙලාවකින් රුපියල් සීයෙන් මොකක්ද කරන්නෙ? සිකුරුයි. කටේ කෙළ පීදනවා මිනිහා. රුපියල් සීයකින් කෙළ පීදනවා! ඒ කරපු දේ හරිද? කොච්චර හරිද කියල තේරෙන්න තමුන්නාන්සෙ බඩුවක් මුට්ටුවක් ගන්න කඩේකට යන්න ඕන. චැනලින් නෙවෙයි, නිකන් බෙහෙත් ටිකක් ගන්න ෆාමසියකට යන්න ඕන. අඩු ගානෙ අයිස් ක්‍රීම් එකක් කන්න පුළුවන්ද සීයට? සිගරට්ටුවක්? සිගරට් ගාන නම් මතක නෑ මට. මං දුම් බීම අත්හැරලා. මං බොන්නෙ ත්‍රෛලෝකවිජයපත්තර. ඉඳහිට කසියා උගුරකට සම්මාදන් වෙනවා හන්දියට ගියාම. ඉතිං සීයෙන් කරන්න පුළුවන් කෙංගෙඩියක් නෑ. අන්න එතකොට හිතෙයි පිස්සාට වුණත් සිහිය තියෙනවා කියල. ඇත්ත වශයෙන් අපට වඩා සිහිය තියෙනවා පිස්සන්ට. අපට හුඟක් උඩින් පිස්සා ඉන්නෙ. අපි

ඌ පිස්සායි කියද්දි පිස්සා අපට මොනවා කියනවා ඇද්ද? මට ඕන අන්න ඒ වගේ පිස්සෙක් වෙන්න. සිහියත් නැති විකලත් නැති තත්ත්වෙකට පත් වෙන්න. උඩ ඉඳන් පල්ලෙහා බලන්න. පල්ලෙහා ඉඳන් නොමැරී ඉන්න.

රවීන්ද්‍ර විජේවර්ධන
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment