පැය 7ක් කතා කළත් ඔළුව වෙනස් කරන්න බැරි වුණා – අතපසු වීමක් වුණා නම් දරුවන්ගේ ජීවිත විනාශයි

1050

නරුම පියාගෙන් නොදරුවන් බේරාගත් මෙහෙයුම ගැන STF බෝම්බ නිෂ්ක්‍රීය අංශයේ ප්‍රධානියා කියයි

“අහිංසක නොදරුවො දෙන්නවත් තුරුලු කරගෙන පින් එක ගලවපු අත්බෝම්බයක් අතේ තියාගෙන ඒක පුපුරවලා මහා විනාශයක් කරන්න සිටිය පුද්ගලයා එක්ක පැය 7ක් තිස්සේ කතා කරලා එයාගේ මනස වෙනස් කරන්න බැරි වෙච්ච තැන දොරවල් කඩාගෙන ගෙට පැනලා දරුවො දෙන්නගෙ ජීවිත බේරගෙන මහ විනාශයක් වැළැක්වූවා”යැයි පොලිස් විශේෂ කාර්ය බළකායේ බෝම්බ නිෂ්ක්‍රීය අංශයේ ප්‍රධානී පොලිස් අධිකාරි දිමුත් සමරනායක මහතා ‘දිවයින’ට ඊයේ (06දා) කියා සිටියේය.

එක තත්පරයක අතපසුවීමක් වුණා නම් ඒ අහිංසක දරුවන්ගේ ජීවිත විනාශ වෙන්න තිබුණා. මේක ඇත්තටම බෝම්බ නිෂ්ක්‍රීය කරපු මගේ රාජකාරි ජීවිතයේ සුවිශේෂීතම සිදුවීම යැයි ද සමරනායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.

බෝම්බයක් පුපුරවාගෙන සිය ජීවිතය සහ දරු දෙනොගේ ජීවිත විනාශ කරගැනීමට උත්සාහ කරමින් සිටි පියා වූ 39 හැවිරිදි කැලුම් නමැත්තා ඊයේ අලුයම පොලිස් විශේෂ කාර්ය බළකාය මඟින් අත්අඩංගුවට ගෙන පසුව හංවැල්ල පොලිසිය වෙත භාර වී තිබිණි. පැය 7කට අධික කාලයක් නිවසේ මරණ බියෙන් දැඩි ලෙස පීඩනයට ලක්ව සිටි අවුරුදු 9ක් වයසැති දියණිය සහ අවුරුදු එකහමාරක් වයසැති පුත්‍රයා පොලිස් විශේෂ කාර්ය බළකායේ පොලිස් අධිකාරි දිමුත් සමරනායක මහතා විසින් බේරාගෙන පසුව හෝමාගම රෝහලට ඇතුළත් කර ඇත.

පවුල් ආරවුලක් සම්බන්ධයෙන් ඇතිවූ ගැටලුවකින් පසු කැලුම් නමැත්තා හංවැල්ල ජල්තර ප්‍රදේශයේ නිවසකට කඩාවැදී සිය බිරිඳට බෝම්බ ගසා ඇය ඝාතනය කිරීමට උත්සාහ කර ඇත්තේ පෙරේදා රාත්‍රි කාලයේදීය.

එහෙත් බිරිඳ සැමියාගෙන් බේරී පලා ගොස් ඇති අතර පසුව පියා සිය දරුවන් දෙදෙනා ඝාතනය කරන බව කියමින් බිරිඳ ආපසු ගෙන්වා දෙන ලෙස ඉල්ලමින් තර්ජනය කර තිබිණි. එහෙත් පොලිස් විශේෂ කාර්ය බළකායේ දක්ෂ නිලධාරීහු කණ්ඩායමක් විසින් මෙම නිවසට කඩාවැදී බෝම්බකරු සිය ග්‍රහණයට ගෙන දරුවන් දෙදෙනා බේරා ගත්හ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් වූ කැලුම් නමැති පුද්ගලයා වෘත්තියෙන් ඡායාරූප ශිල්පියෙකි. තොරතුරු තාක්ෂණය සම්බන්ධයෙන් ඉහළ දැනුමක් ඇති මෙම පුද්ගලයා දෙදරු පියෙකි. මොහු සිය බිරිඳ සහ දරුවන් දෙදෙනා ද සමග හොරණ ප්‍රදේශයේ පදිංචිව සිට ඇත.

කැලුම් නමැත්තා වෙනත් කාන්තාවක් ඇසුරු කරන බවට ලැබුණු තොරතුරු මත බිරිඳ ඔහු සමග නිතර ආරවුල් ඇතිකරගෙන තිබිණි. මෙම ගැටලුව දුරදිග යෑමෙන් පසු කැලුම් සහ බිරිඳ අතර නිතර නිතර ආරවුල් ගැටුම් ඇති වී තිබිණි.

මීට වසරකට පමණ පෙර කැලුම් විදේශගත වූ අතර බිරිඳ දරු දෙදෙනාත් සමග තනිවම ජීවත් වී ඇත. නැවත ශ්‍රී ලංකාවට පැමිණි කැලුම් සිය දරු දෙදෙනා සහ බිරිඳ සෙවීමට දැඩි උත්සාහයක් ගත්ත ද එය ව්‍යර්ථ විය.

මේ අතර සිය බිරිඳ වෙනත් පිරිමින් ඇසුරු කරන බවට කැලුම් වෙත තොරතුරු ලැබීම නිසා බිරිඳ කෙරෙහි ඔහුගේ වෛරය තවත් වැඩිවී ඇත. සිය තාක්ෂණ දැනුම උපයෝගි කරගෙන ජංගම දුරකථනය ඔස්සේ සිය බිරිඳ සහ දරුවන් දෙදෙනා නවාතැන් ගෙන සිටින ස්ථානය සොයාගැනීමට කැලුම් සමත් වී ඇත.

හංවැල්ල ජල්තර ප්‍රදේශයේ නිවෙස සොයාගෙන පැමිණි කැලුම් බිරිඳ මරා දැමීමට සූදානම් වෙද්දී ඇය ජීවිතය බේරා ගැනීමට නිවසින් පැන ගොස් ඇත. පසුව කැලුම් සිය දියණිය සහ පුත්‍රයා ග්‍රහණයට ගෙන බෝම්බයක් පුපුරුවා ගන්නා බව කියමින් තර්ජනය කර තිබේ.

හංවැල්ල පොලිසිය මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ අතර එහි නිලධාරීන් සිද්ධිය වූ ස්ථානයට ගොස් කැලුම්ගෙන් දරුවන් බේරාගැනීමට උත්සාහ කළ ද එය ව්‍යර්ථ විය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතාට ලැබුණු තොරතුරක් මත එම සිද්ධිය වූ ස්ථානය වෙත පොලිස් අධිකාරි දිමුතු සමරනායක මහතා පිටත්කර යවා තිබේ.

පෙරේදා රාත්‍රී 7.30ට පමණ එම ස්ථානයට ගිය දිමුතු සමරනායක මහතා බෝම්බකරු සමග කතා කර ඔහුගේ මනස වෙනස් කර දරුවන් දෙදෙනාගේ ජීවිත බේරා ගැනීමට දැඩි උත්සාහයක නිරත වී ඇත. බෝම්බකරු පසුදා අලුයම 3.30 පමණ වනතුරුම පොලිස් අධිකාරිවරයා සමග කතා කරමින් සිට ඇතත් සිය සැලසුමෙන් ඉවත්වීමට කැමති වී නැත.

“මල්ලි උඹ මේ බෝම්බය පුපුරුවා ගත්තොත් මේ අහිංසක දරුවො දෙන්නගේ ජීවිත නිකරුණේ බිලි වෙනවා. ඒ අහිංසකයො උඹලගෙ පවුල් ප්‍රශ්නවලට පලි නෑ. උඹට නෝනා එක්ක ප්‍රශ්නයක් තියෙනවානම් දරුවො දෙන්නගෙන් පලිගන්න හදන්න එපා”යැයි කියමින් බෝම්බකරුගේ මනස වෙනස් කිරීමට සමරනායක මහතා උත්සාහ කළ ද එය සාර්ථක වූවේ නැත.

කෙසේ වෙතත් දරුවන් දෙදෙනාගේ ජීවිත අනාරක්ෂිත තත්ත්වයට පත් වෙමින් තිබෙන නිසා නිවසට බලහත්කාරයෙන් ඇතුළුවීමට විශේෂ කාර්ය බළකායේ නිලධාරීහු සැලසුම් කළහ. ඒ අනුව ඊයේ අලුයම 3.30ට පමණ නිවසේ දොර කඩාගෙන එහි ඇතුළු වූ දිමුත් සමරනායක මහතා ඇතුළු නිලධාරීහු දරුවන් දෙදෙනා ද තුරුලු කරගෙන බෝම්බයක් පුපුරවා ගැනීමට සූදානමින් සිටි පුද්ගලයා සිය ග්‍රහණයට ගත්හ. පසුව පින්එක ගලවා පුපුරවා හැරීමට සූදානම් කර තිබූ අත්බෝම්බය ද නිෂ්ක්‍රීය කිරීමට පොලිස් අධිකාරිවරයා කටයුතු කළේය.

සැකකරු අධිකරණය වෙත ඊයේ ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි වරුණ ජයසුන්දර මහතාගේ උපදෙස් මත විමර්ශන පැවැත්වෙයි. මේ අතර සිය පියාගේ ග්‍රහණයේ සිටි නව හැවිරිදි දියණියට කිසියම් ඖෂධයක් අඩංගු එන්නතක් ඔහු විසින් එන්නත් කර තිබූ බව විමර්ශනවලින් හෙළි වී ඇත. ඒ අනුව 9 හැවිරිදි දියණිය විශේෂ පරීක්ෂාවකට ලක්කිරීමට ද රෝහල් බලධාරීහු කටයුතු කළහ.
හේමන්ත රන්දුණු සහ කඩුවෙල සුගත් ප්‍රේමතිලක

advertistmentadvertistment
advertistmentadvertistment