අපිට රැකියා කෝ – ආණ්ඩුකාරවරයා ඇතුළු නිලධාරීන් සිරකර ගෙන හඬ නැගූ රැකියා විරහිත උපාධිධාරීහු 22ක් අත්අඩංගුවට

554

ශරීර ඇප මත 22ම මුදාහැරෙති

මහජන දිනය පැවති ඊයේ (6දා) උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා ඇතුළු පළාත් සභා නිලධාරීන් හා කාර්ය මණ්ඩලය පළාත් සභා ගොඩනැගිලි පරිශ්‍රය තුළ සිරකර එහි පිටවීමේ හා ඇතුළුවීමේ දොරටුව අවහිර කරමින් උද්ඝෝෂණයේ නිරත වූ රැකියා විරහිත උපාධිධාරීහු 22ක් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් පිරිස අතර සමස්ත ලංකා ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමයේ හිටපු කැඳවුම්කරු ධම්මික මුණසිංහ ඇතුළු 11ක් සහ කාන්තා සාමාජිකාවන් 11 දෙනකු සිටින අතර එම පිරිස අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

අපිට රැකියා කෝ - ආණ්ඩුකාරවරයා ඇතුළු නිලධාරීන් සිරකර ගෙන හඬ නැගූ රැකියා විරහිත උපාධිධාරීහු 22ක් අත්අඩංගුවට

අත්අඩංගුවට ගැනීමට පෙර උද්ඝෝෂණයේ නිරත වූ පිරිස පැවසුවේ පොළොන්නරුව වැලිකන්ද වැනි දුෂ්කර ප්‍රදේශවල සිට කුඩා දරුවන් ද සමග කුසගින්නේ මෙම පිරිස මෙම ස්ථානයට පැමිණ සිටින බවයි. උතුරු මැද පළාතේ ඇති පුරප්පාඩුවලටත් වඩා අඩු රැකියා විරහිත උපාධිධාරීන් පිරිසක් ප්‍රදේශයේ සිටින බැවින් ඔවුන්ට රැකියා දීමට ක්‍රියා නොකරන්නේ මන්දැයි ඔවුහු මෙහිදී ප්‍රශ්න කර සිටියහ.

මෙහිදී අදහස් දැක්වූ සමස්ත ලංකා ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමයේ හිටපු කැඳවුම්කරු ධම්මික මුණසිංහ මහතා මෙසේ පැවසීය.

“මේ වන විට ලංකාවේ උපාධිධාරීන් තිස්පන්දහසක් පමණ රැකියා විරහිතව සිටිනවා. උපාධිධාරීන්ට රැකියා දෙන්න මේ ආණ්ඩුවට කිසිදු වැඩපිළිවෙළක් හෝ වුවමනාවක් නැහැ. ඒ නිසා තමයි මේ වනවිට රැකියා විරහිත උපාධිධාරීන් පළාත් මට්ටමින් අඛණ්ඩව උද්ඝෝෂණ වලට සූදානම් වෙලා තියෙන්නේ. උතුරු මැද පළාතේ 4500ක් පමණ රැකියා පුරප්පාඩු තිබෙනවා.

ආණ්ඩුකාර මහීපාල හේරත් මහතාට සීත කාමරයෙන් එළියට බැහැලා මේ අයට කතා කරන්න බැරි ඇයි? ආණ්ඩුව පොලිසිය දාලා අධිකරණ නියෝග අරන් ඇවිත් මේක නවත්තන්න කියලා. පුරප්පාඩුවලටත් අඩු උපාධිධාරීන් පිරිසක් නම් උතුරු මැද පළාතේ ඉන්නේ ඇයි ඒ අයට රැකියා දෙන්න බැරි කියලයි අපි අහන්නේ ?

මේ රටේ උසස් අධ්‍යාපනය ලබන්නේ සියයට එකක් දෙකක් වගේ සුළු පිරිසක්. ඔවුන්ට රැකියා නොදෙන පාලකයෝ මොකටද? විවිධ ක්ෂේත්‍රවල උපාධිධාරින් මෙතන ඉන්නවා. ඒ අයට රැකියාවක් දෙන්න බැරි නම් මේක ආණ්ඩුවේ නොහැකියාව. ආණ්ඩුකාරයා ගෙදර යන්න ඕනේ. මහජනතාවගේ බදු මුදලින් මේ අයව නඩත්තු කරන්නේ ඇයි ? මේ ගැටලුවට උත්තරයක් නැත්නම් අද ආපු කවුරුත් මෙතනින් නැගිටලා යන්නේ නැහැ.

ඊයේ උදෑසන දහයට පමණ පළාත් සභා ප්‍රධාන ගේට්ටුවෙන් පළාත් සභා භූමියට ඇතුළු වූ එම රැකියා විරහිත උපාධිධාරීහු උතුරු මැද පළාත් සභාවේ පිටවන හා ඇතුළුවන දොරටු සියල්ල අවහිර කරමින් බිම වාඩි වී උද්ඝෝෂණයේ නිරත වූහ.

ඒ වන විට උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහිපාල හේරත් මහතා ඇතුළු පළාත් සභා කාර්ය මණ්ඩලයද, මහජන දින පැමිණි ජනතාව ඇතුළු විශාල පිරිසක් පළාත් සභා ගොඩනැගිල්ල තුළ රැඳී සිටි අතර ඔවුන් පැය දෙකකට ආසන්න කාලයක් සිරකර උද්ඝෝෂණයේ නිරතව සිටියදී එම උද්ඝෝෂකයන් පිරිසක් මෙලෙස අත්අඩංගුවට ගනු ලැබූහ.

පළාත් සභා පරිශ්‍රය තුළ උද්ඝෝෂණය කිරීම වළකාලමින් ලබා ගත් අධිකරණ නියෝගයක් මෙහිදී අනුරාධපුර මූලස්ථාන පොලිසියේ වැඩබලන ස්ථානාධිපති ඩබ්ලිව්. ඒ. එම්. නුවන් වික්‍රමසිංහ මහතා විසින් නිවේදනය කළ අතර ඊට එරෙහි වූ උද්ඝෝෂකයෝ යළි එම උද්ඝෝෂණයේ නිරත වූහ.

අනතුරුව එම ස්ථානයට පැමිණි අනුරාධපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තිළිණ හේවාපතිරණ සහ සහකාර පොලිස් අධිකාරී (1) ජයන්ත ධර්මදාස මහත්වරුන් ඇතුළු නිලධාරීන් යළිත් වරක් එම අධිකරණ නියෝගය නිවේදනය කිරීමෙන් අනතුරුව ද එම පිරිස අඛණ්ඩව උද්ඝෝෂණයේ නිරත වීම හේතුවෙන් කාන්තා පොලිස් නිලධාරිනියන් පිරිසක්ද කැඳවා උද්ඝෝෂණයේ නිරත වූ පිරිසක් අත්අඩංගුවට ගත්හ.

උද්ඝෝෂණයේ යෙදුණු කාන්තාවන් අත්අඩංගුවට ගැනීමට පෙර දිවයෑම නිසා පළාත් සභාවේ මල් පෝච්චිවල ගැටී ඇද වැටීමෙන් කීපදෙනෙක් තුවාල ලැබූහ. අනතුරුව සෙසු පිරිස පළාත් සභා භූමියෙන් ඉවතට ගොස් ප්‍රධාන ගේට්ටුව ඉදිරිපිට බිම වාඩි වී සිටි අතර ඔවුන් පැවසුවේ සාධාරණ ඉල්ලීම් වෙනුවෙන් හඬ නැගූ අවස්ථාවේ තමන්ට බාධා කර සාමාජික සාමාජිකාවන් පිරිසක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කරන බවයි.
ුඋතුරු මැද පළාත් සභා භූමියට ඇතුළු නොවන ලෙසට අධිකරණය මගින් ලබාදී තිබූ නියෝග කඩකරමින් උතුරු මැද පළාත් සභා ගොඩනැඟිල්ලට ඇතුළුවන ප්‍රධාන දොරටු අවහිර කරමින් උද්ඝෝෂණයක නිරතව සිටියදී ඊයේ (6දා) පෙරවරුවේදී අනුරාධපුර පොලිසිය අත්අඩංගුවට ගෙන අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ රැකියා විරහිත උපාධිධාරීන් 22 දෙනකු, එක් අයකුට රුපියල් ලක්‍ෂ දෙකක් බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙස අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු නාලක සංජීව ජයසූරිය මහතා නියෝග කළේය.

මෙම සැකකරුවන්ට යළි මේ මස 25 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට ද ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.

මිහින්තලේ – රංග චතූ සහ පර්සි කුරුනේරු

advertistmentadvertistment
advertistmentadvertistment