මාළු මුදලාලිගේ අශෝභන යෝජනාව බිරිඳට කියූ කතට තඩිබාලා

198

සැකකරු රිමාන්ඩ්

සිය සේවා ස්ථානය කරා යෑමට බස් නැවතුම්පොළේ රැඳී සිටි 43 හැවිරිදි අවිවාහක කතකගෙන් ලිංගික ඇසුර ඉල්ලා එය ප්‍රතික්ෂේප කළ කතට රෝහල් ගතවන පරිදි පහරදුන් සැකකරුවකු නොවැම්බර් මස 21 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට මීගමුව අතිරේක මහෙස්ත්‍රාත් දර්ශිමා ප්‍රේමරත්න මහත්මිය පෙරේදා (15 දා) නියෝග කළාය.

රිමාන්ඩ් භාරයට පත්කළ සැකකරු වූයේ සෙත්තපාඩුව අලුත්කුරුවේ පදිංචි 42 හැවිරිදි ධීවර ව්‍යාපාරිකයෙකි. මෙම සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කළ දුන්ගාල්පිටිය පොලිස් ස්ථානයේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උ.පො.ප. ජයරත්න ද සිල්වා මහතා, සැකකරුට එරෙහිව ඉදිරිපත් කළ පැමිණිල්ලේ පැමිණිලිකාරිය වූයේද දුන්ගාල්පිටිය අලුත්කූරුව ප්‍රදේශයේම අවිවාහක කතකි.

ඇය කටුනායක ඇඟලුම් කම්හලක සේවිකාවකි. සිද්ධිය වූ දින තම ආයතනය වෙත යෑම සඳහා උදෑසන 6.30 ට පමණ තම නිවස අසල පිහිටි බස් නැවතුමේ රැඳී සිට ඇත. ඒ වෙලාවේ එම ස්ථානය වෙත පැමිණි සැකකරු ඔහු සමග ලිංගිකව හැසිරීමට පැමිණිලිකාරියට යෝජනා කර ඇත. ඇය සැකකරුගේ යෝජනාව ප්‍රතික්ෂේප කළත් ඔහු දිගින් දිගටම එම ඇසුර ඉල්ලා පැමිණිලිකාරියට කරදර කර ඇත.

පසුව පැමිණිලිකාරිය තමන් පත්ව ඇති තත්ත්වය පිළිබඳව සැකකරුගේ විවාහක බිරිඳට දැනුම්දීම සඳහා සැකකරුගේ නිවසට ගොස් ඔහුගේ බිරිඳ හමුවී ඇත. හදිසියේම එම ස්ථානයට පැමිණි සැකකරු රීප්ප පටියක් රැගෙන පැමිණිලිකාරියට දරුණු ලෙස පහරදී ඇගේ ඇඟට මාලු සේදූ වතුර හලා ඇත. ඉන් නොනැවතුණු සැකකරු පැමිණිලිකාරියගේ හිසට මල් පෝච්චියකින් පහරදීමට තැක්කළ අවස්ථාවේ අසල්වැසියන් විසින් කාන්තාව ගළවාගෙන ඇත.

දරුණු ලෙස පහරකෑමට ලක්වූ පැමිණිලිකාරිය වහා රෝහල්ගත කර ඇත. උ.පො.ප. ජයරත්න ද සිල්වා මහතා මෙහි පැමිණිල්ල මෙහෙය විය. වැඩිදුර විභාගය නොවැම්බර් 21 දා සිට පැවැත්වේ.

මීගමුව – විමල් කීර්ති

advertistmentadvertistment
advertistmentadvertistment