ඩී. වී. චානකගේ මාමා මැරූ පාතාලයෝ පැනලා!

1018

විදුලිබල හා බලශක්ති රාජ්‍ය ඇමැති ඩී. වී. චානක මහතාගේ මාමණ්ඩිය ගාල්ල නගර මධ්‍යයේදී වෙඩි තබා ඝාතනය කළ කොස්ගොඩ සුජී නමැති පාතාල නායකයාගේ ගෝලයන් දෙදෙනා හොර රහසේම විදේශගතව ඇති බවට පොලිසිය සැකපහල කරයි.

පොලිස් ආරංචි මාර්ග පවසන්නේ ඩී. වී. චානකගේ මාමණ්ඩිය ඝාතනය කිරීමෙන් පසු වෙඩික්කරු සහ යතුරුපැදිය පැදවූ පුද්ගලයා කොස්ගොඩ සුජී විසින් ඩුබායි රාජ්‍යය වෙත ගෙන්වාගෙන ඇති බවයි.

ගාල්ල නගරයේ ප්‍රකට ව්‍යාපාරිකයකු වූ 60 හැවිරිදි ලලිත් වසන්ත මහතා වෙඩි තබා ඝාතනය කෙරුණේ මීට මාස දෙකකට පමණ උඩදීය.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සහ ගාල්ල පොලිසිය මෙම ඝාතනය සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූවද මේ වනතුරු ඊට සම්බන්ධ සැකකරුවන් කිසිවකු අත්අඩංගුවට ගෙන නැත.

ඝාතනයට ලක්වූ ලලිත් වසන්ත රත්ගම විදුර නමැති පාතාල නායකයා සමඟ සමීප සම්බන්ධතා පවත්වා ඇති බවත් එම පාතාල කල්ලි අතර පවතින ආරවුලක් මෙම ඝාතනයට හේතුවී ඇති බවත් විමර්ශන වලදී අනාවරණය විය.

ගාල්ල නගරයේ පිහිටි රෙදිපිළි අලෙවි සලේ වැඩ නිමකර තම මෝටර් රථයෙන් නිවස බලා යමින් සිටියදී යතුරුපැදියකින් පැමිණි පාතාල සාමාජිකයන් දෙදෙනකු ටී 56 ගිනි අවියකින් වෙඩි තබා ලලිත් වසන්ත ඝාතනය කර පලා ගොස් තිබිණි.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment