බාර් එකක් නිසා දිගන ඇවිලෙයි

561

මත්පැන් අලෙවිසලක් අවශ්‍ය බවත් අනවශ්‍ය බවත් කියමින් උද්ඝෝෂණය කළ දෙපිරිසක් අතර ඇතිවූ විරෝධතාවත් සමග මහනුවර මැණික්හින්න හරහා තෙල්දෙණිය මාර්ගයේ වාහන ගමනාගමනයට ඊයේ (29 දා) දැඩි බාධා එල්ල විය.

මහනුවර දිගන නගරය ආශ්‍රිතව අලුතින් විවෘත කළ මත්පැන් අලෙවිසල වසා දමන ලෙස පිරිසක් උද්ඝෝෂණය කරද්දී එම ස්ථානයටම පැමිණි තවත් පිරිසක් එය විවෘත කර පවත්වාගෙන යන ලෙස බලකරමින් උද්ඝෝෂණය කිරීම හේතුවෙන් ප්‍රදේශයේ දැඩි උණුසුම් තත්ත්වයක් ඇති විය.

බාර් එකක් නිසා දිගන ඇවිලෙයි

පාර්ශ්ව දෙක නොසන්සුන්කාරී ලෙස හැසිරෙමින් ගැටුමක් ඇතිකර ගැනීමට පෙළඹේ යැයි සිතා පොලිස් ස්ථාන රැසක පොලිස් නිලධාරීන් කැඳවා ප්‍රදේශයේ ආරක්ෂාව දැඩි කර තිබිණි. පාතදුම්බර හා මැදදුම්බර ප්‍රධාන සංඝනායක තල්පොත ධම්මජෝති හිමියන්ගේ නායකත්වයෙන් සර්ව ආගමික සංවිධාන හා ප්‍රදේශවාසීහු විරෝධතා පුවරු රැගෙන පාගමනින් පැමිණ මත්පැන් අලෙවි සල වහා වසා දමන ලෙස බලකරමින් විරෝධතාවේ නිරත වූහ.

රජයට ස්ථීර බදු ආදායමක් ලබාදෙන ප්‍රදේශයට අත්‍යවශ්‍ය මත්පැන් අලෙවි සල වසා නොදමන ලෙස බලකරමින් තවත් පිරිසක් එම ස්ථානයටම පැමිණ උද්ඝෝෂණය කිරීම නිසා මෙහිදී දැඩි උණුසුම් තත්ත්වයක් ඇතිවිය. දෙපිරිස අතර දැඩි උණුසුම් වචන හුවමාරුවක් සිදු වුවද එය ගැටුමක් කරා නොගොස් පාලනය කිරීමට පොලසිය පියවර ගත්තේය.

සමන්තී වීරසේකර

advertistmentadvertistment
advertistmentadvertistment