රටක් හෙල්ලූ ක්‍රිකට් කතාව !

4528

● අපල උදා කළ ලෝක කිරුළ

2022 පන්දු වාර 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාවට හිතකර එකක් නම් නොවිණි. සුපිරි 12 වටයෙන්ම ඉවතට ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට ආපසු එන්නට සිදුවූයේ පරාජයේ කැළලටත් වඩා ලොකු ප්‍රශ්න වැලක් සහ ඒ හා සම්බන්ධ කතා ගොඩකට මැදි වූ කණ්ඩායමක් ලෙසය. ලොකුම කැළල ධනුෂ්කටය. ඔස්ට්‍රේලියානු යුවතියකට අතවර කරන ලදැයි යන චෝදනාව මත ඔහු අත්අඩංගුවට ගැනිණි. තවමත් ඒ නඩුව ඔස්ට්‍රේලියාවේ අධිකරණයේ විභාග වේ. එය නිමවන තුරු ඔහුට මෙරට දෙස බැලිය නොහැක.

කැසිනෝ ශාලාවක ඇති කරගත් යැයි කියන අඬදබරයක් හේතුවෙන් චාමික කරුණාරත්න සහ තවත් ක්‍රීඩකයන් කිහිප දෙනෙකුට විනය පරීක්ෂණ සිදු කෙරිණි. අවවාද ලබා දුනි. ඊට අමතරව හැමදාම මෙන් ආගමික මතවාද පිළිබඳ ප්‍රශ්න ද වරින් වර කරළියට ආවේය.

එසේම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලධාරීන් එම සංචාරයේදී අනිසි ලෙස මුදල් භාවිතා කළ බවට චෝදනාව ද ඒ අතර ප්‍රධාන විය. මෙසේ නොයෙක් ආකාරයෙන් ආන්දෝලනයට ලක්වූ එම ලෝක කුසලාන තරගාවලියට සහභාගි වූ ක්‍රීඩකයන්ගේ විනය, මෙන්ම නිලධාරීන්ගේ මූල්‍ය විනය පිළිබඳව ද සොයා බැලීමට ක්‍රීඩා ඇමැති ගේ නියමයෙන් සය පුද්ගල කමිටුවක් පත් කෙරිණි. විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන මහත්මිය එම කමිටුවේ ප්‍රධානත්වය දැරීය.

● වාර්තාව එයි

මාස කීපයක ඇවෑමෙන් එළිදැක්වුණු එම වාර්තාව ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා වෙත පසුගිය ජනවාරි මාසයේදී භාර දෙන ලදී. එම වාර්තාව මගින් මූලික වශයෙන් කියවුණේ මේ සම්බන්ධයෙන් එල්ල වී ඇති මූල්‍ය චෝදනා පිළිබඳව පූර්ණ විගණනයක් කරන ලෙසය. එහෙත් ඇමැති ඊට එක පයින් කැමැති වූයේ නැත. ඔහු වාර්තාව නීතිපතිවරයා වෙත යැව්වේ ය. ඒ නීතිපති මතය මේ වාර්තා පිළිබඳව විමසීමට ය. ඒ පිළිබඳව විමර්ශනය කළ නීතිපතිවරයා නියෝග කර තිබුණේද මූල්‍ය චෝදනා පිළිබඳව ස්වාධීන විගණනයක් කළයුතු බවයි.

ඒ අනුව අදාළ වාර්තාව සම්බන්ධයෙන් වෝහාරික විගණනයක් කිරීම විගණකාධිපති වෙත පැවරිණි. මේ අතර කාලය ගත වෙමින් තිබියදී ඇමැති බලතල මත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසුරුවා හැරීමට ද කටයුතු කෙරෙන බව රාවයක් නැගුණි. එහිදී වහාම නැගී සිටී සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා මහතා ලෝක ක්‍රිකට් පාලනාධිකාරියේ ප්‍රධානියා වූ ග්‍රේග් බාක්ලේ මහතා වෙත ලිපියක් ලීවේය. ඔහු ඒ මගින් සඳහන් කළේ ස්වාධීන ආයතනයක් ලෙස ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත දේශපාලන බලපෑම් එල්ලවී තිබෙන බවයි. එම ලිපිය ෂම්මි සිල්වා විසින් ග්‍රේග් බාක්ලේ වෙත යොමු කර තිබුණේ පසුගිය අගෝස්තු මස 17 වැනි දා ය.

කරුණු මෙසේ සිදුවෙමින් තිබියදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අධිකරණය වෙත ද ගියේය. ඔවුන් අධිකරණය හමුවට ගියේද මෙම දේශපාලන බලපෑම් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසිරුවීමේ අවදානමක් ඇති බව දන්වමිනි. ඒ අනුව අධිකරණය මගින් ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතාට දැනුම් දී තිබුණේ විගණකාධිපති වාර්තාව ලැබෙන තුරු ශ්‍රී ලංකා ක්‍රිකට් විසුරුවීමට කටයුතු නොකරන ලෙසයි. ක්‍රීඩා ඇමැතිවරයා ද ඊට එකඟව කටයුතු කළ අතර නැවත වාරයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණයේ දී හිටපු විධායක කමිටුවම එහි බලයට පත් වූයේ ය.

● පරිපාලනයට සහ කණ්ඩායමට දරුණු ප්‍රහාර

රටේ ක්‍රිකට් ක්‍රීඩාව සහ ක්‍රිකට් පරිපාලනය යන දෙඅංශයටම පසුගිය සතිය එතරම් හොඳ එකක් නොවුණි. දිමුත් කරුණාරත්න ප්‍රමුඛ ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම පකිස්ථානය හමුවේ අන්ත පරාජයක් ලැබීය. එම පරාජය ශ්‍රී ලංකා කණ්ඩායමක් මව්බිමේ දී ලද දරුණුම ටෙස්ට් තරග පරාජය ලෙස ද සටහන් විය. එම ඉතිහාසගත පරාජය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට අත් වන විට ක්‍රිකට් පරිපාලනය පැත්තෙන් පසුගිය ඉරිදා ම බෝම්බයක් පත්තු විණි.

ඒ බෝම්බය පත්තු වුණේ කොළඹ දීය. සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී හේෂා විතානගේ මහතා හදිසි මාධ්‍ය හමුවක් කැඳවමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පට්ට පතුරු යැව්වේය. ඔහු ඒ සඳහා යොදාගෙන තිබුණේ අප කලින් සඳහන් කළ විගණකාධිපති වාර්තාවයි. එනම් 2022 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව විසින් අනිසි ලෙස මුදල් භාවිතා කර ඇති දැයි සොයා බැලූ විශේෂ විගණකාධිපති වාර්තාවයි. ඇමැති රොෂාන් ගේ අණින් විගණකාධිපති දෙපාර්තමේන්තුව විසින් විගණනයට ලක් කරන ලද එම වාර්තාවේ කෙටුම්පත දඩමීමා කරගෙන මන්ත්‍රී හේෂා කැඳවූ මාධ්‍ය හමුව මෙරට ජනතාවගේ ඇස් ඉස් මස් කකියන්නට සුළු විය. අළු යට තිබූ ගිනි එකවර ඇවිළී ගිනි ජාලාවක් මතු විය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් ලෝක කුසලාන තරග සංචාරයේදී මිලියන ගණන් මුදල් නාස්ති කරමින්, රටේ මුදල් කාබාසිනියා කර ඇති බව මන්ත්‍රී හේෂා කීවේය. එමතුද නොව තම බලය භාවිතා කරමින් ඥාති හිතවතුන් මෙන්ම නිළියන්ට ද ලෝක කුසලාන තරග පෙන්වා ඇතැයි මන්ත්‍රී හේෂාගේ චෝදනාව විය.

රටේ ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුව සඳහා යෙදවීමට නියමිත මුදල් විධායක කමිටු සාමාජිකයන්ගේ සතුට සහ ප්‍රයෝජනය සඳහා යොදා ඇති බව හේ පැවසීය. අනතුරුව ඊට අදාළ සියලු සාක්ෂි ද තමා සතුව ඇති බව කී හෙතෙම එම ලේඛනද කැටුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙතට ද පසුගිය දා ගියේය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටු සාමාජිකයන් පසුගිය වසරේ ඔස්ට්‍රේලියාවේ පැවති පන්දු වාර 20-20 ලෝක කුසලාන තරගාවලියේදී ගුවන් ටිකට්පත් මිලදී ගැනීමට සහ දීමනා ලෙස රුපියල් මිලියන 67ක් වියදම් කර තිබීම අසාධාරණ බව ද මන්ත්‍රී හේෂා සඳහන් කරන්නේය.

● මන්ත්‍රී හේෂාගේ මාධ්‍ය හමුව

“ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වාට පමණක් ලෝක කුසලානය සඳහා රුපියල් මිලියන 11කට අධික මුදලක් වෙන්කර තිබෙනවා. ඔහු ඔස්ට්‍රේලියාවට යෑම ගැන මට ප්‍රශ්නයක් නැහැ. නමුත් මෙතරම් මුදලක් වියදම් කරන්නේ ඇයිද යන්න මගේ ප්‍රශ්නයයි. ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා සමඟ ඔහුගේ බිරිඳ සහ බිරිඳගේ පවුලේ සාමාජිකයන් ඔහු සමඟ ශ්‍රී ලංකා ක්‍රිකට් අරමුදල් මත ඔස්ට්‍රේලියාවට ගොස් තිබෙනවා. ඒක ක්‍රිකට් නෙවෙයි.” මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

“මම මේ කාරණය ගෙන එන්නේ කිසිම ද්වේශයකින් තොරව ක්‍රීඩාව නිවැරදි මාර්ගයට ගැනීමටයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා ක්‍රිකට් ක්‍රීඩාවට කිසිදු සම්බන්ධයක් නොමැති පුද්ගලයන් 17 දෙනෙකුට ඔස්ට්‍රේලියාවට වීසා ලබා ගැනීමට ලිපි නිකුත් කර තිබෙනවා. ඔවුන්ගෙන් එක් අයෙකු ආපසු පැමිණ නැහැ. මේක රටට කළු පැල්ලමක් වගේම ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවටත් කළු පැල්ලමක්.” මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.

අවසන් වශයෙන් මේ කරුණු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර පාර්ලිමේන්තුවේ දී විවාදයක් පැවැත්වීමටත් සූදානම් බව ඔහු සඳහන් කර සිටියේය. මේ අතර තවත් මාධ්‍ය හමු ක්‍රිකට් ආයතනයට විරුද්ධව පැවැත්විණි. “මගෙන් රටට” යැයි පැවත එන සංවිධානයක් ද ඒ අතර වෙයි. එසේම පසුගිය බ්‍රහස්පතින්දා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරියේ විරෝධතා පෙළපාලියක් ද පැවැත්විණි. ඊටත් අමතරව නොයෙක් දේශපාලකයෝ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ එහි නිලධාරීන්ට දැඩි දෝෂාරෝපණ එල්ල කරමින් සිටිති.

● ෂම්මි කට අරියි

මෙසේ වටෙන්ම එකතු වී තමන්ට ගසද්දී තවත් නිහඬව සිටීමෙන් සිදුවන්නේ අවැඩක්ම බව අවබෝධ කරගත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ද පසුගිය අඟහරුවාදා හදිසි මාධ්‍ය හමුවක් කැඳවීය. කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණ පරිශ්‍රයේදී පැවැති එම මාධ්‍ය හමුවේ දී ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා මහතා ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා ක්‍රිකට් එකේ සත පහක් හෝ වංචා කර ඇති බව අද ඔප්පු කළොත් හෙට තමන් මේ තනතුරුවලින් යන බවයි. එසේම චිත්‍රපටි සභාපති ජයන්ත ධර්මදාසට කලාකරුවන් සමග ඉන්නෙ නැතිව හිරකරුවන් සමග ඉන්න කියන්න දැයි ඔහු ප්‍රශ්න කර සිටියේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිළිබඳව සිදුකළ විගණන වාර්තාව සම්බන්ධයෙන් ලබන 16 වැනිදාට පෙර පිළිතුරු ලබාදීමට කටයුතු කරන බවත් ඔහු එහිදී සඳහන් කර සිටියේය. කෙසේ වෙතත් විගණකාධිපති දෙපාර්තමේන්තුව මගින් ක්‍රීඩා අමාත්‍යාංශයට යොමුකළ එම විගණන වාර්තාවේ කෙටුම්පත තමන්ට ලැබීමටත් පෙර බාහිර පාර්ශ්වයන් අතට පත්වීම ගැටලුවක් බවත් සභාපතිවරයා එහිදී කීය. තමන්ට එම කෙටුම්පත මුල් කවරයක් නොමැතිව ලැබෙද්දී ඉහත කී බාහිර පාර්ශවයන්ට එය මුල් කවරය සමඟ ද ලැබී තිබෙන්නේ කෙසේද යන්න ඔහු ප්‍රශ්න කර සිටියේය.

ඉන්දියාවේ ක්‍රිකට් ඉහළ නැංවීම සඳහා බොලිවුඩ් තාරකාවන් එම කණ්ඩායම සමග නොයෙක් සංචාරයන්ට එක්වන බවත් නළු නිළියන් ගායක ගායිකාවන් තම කණ්ඩායම දිරි ගැන්වීම සඳහා සහභාගී වීම ඉන්දියාවට නොව ලෝකයටම අලුත් දෙයක් නොවන බවත් ක්‍රිකට් සභාපතිවරයා සඳහන් කළේය.

එහෙත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ලෝක කුසලාන තරග නැරඹීම සඳහා නළු නිළියන් සහභාගීවීම ඇතැමුන්ට දරාගන්න බැරි තරම් ඊර්ෂ්‍යාවක් හට ගන්නට හේතු වී ඇති බවත් ඒ නිසා ඔවුන් නොයෙකුත් අවලාද නගමින් සිටින බවත් ක්‍රිකට් සභාපතිවරයා පැවසීය.

මාධ්‍ය හමුවක් කැඳවා තමන්ට චෝදනා නැගූ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේට විගණකාධිපති වාර්තාව සහ කෙටුම්පතෙහි වෙනස තේරුම් ගැනීමට නොහැකිවීම ගැන කනගාටුවට පත්වන බවත් ක්‍රිකට් සභාපතිවරයා සඳහන් කර සිටියේය.

“විධායක කමිටුවේ සාමාජිකයන් ලෙස අපි සතපහක පඩියක් නැතුව තමයි වැඩ කරන්නේ. අපේ සාමාජිකයන්ට මේ තනතුරු දැරීමත් එක්ක ලැබෙන එකම වාසිය තමයි මේ මැච් බලන්න යන එක. අපි බිලියන ගණන් ආදායම් උපයලා තියෙනවා. ඒ මුදලින් සියයට දසම දෙකක මුදලක් තමයි මේ ලෝක කුසලාන තරගාවලියේ වියදම් වී තිබෙන්නේ. තරගාවලියේ සමාරම්භක උත්සවය සඳහා සහභාගිවීමට මගේ වියදම් දැරුවේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මඟින්. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙනුවෙන් ඩොලර් මිලියන 35 ක් අපි මේ වනවිට ඉතුරු කර තිබෙනවා. 2024 වනවිට එය ඩොලර් මිලියන 50 ක් දක්වා ගෙන යන්න බලාපොරොත්තු වෙනවා. 2025 දී ඒ ඉලක්කය ඩොලර් මිලියන 70ක්. ශ්‍රී ලංකා ක්‍රිකට් එකේ ඉස්සර හිටපු අය මේ ආයතනය හූරගෙන කෑවා. අපි එනකොට රුපියල් බිලියන 4 ක හිඟයක් තිබුණා. එහෙම ආයතනයක් තමයි අපි මේ තරම් දැවැන්ත සංචිතයක් දක්වා ගොඩ නගා තිබෙන්නේ. කොටින්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද නවසීලන්ත ක්‍රිකට් ආයතනයටත් වඩා පොහොසත්. ඔවුන්ටත් වඩා සංචිතයක් අපට තියෙනවා. මේ මුදල් කන්දරාව දිහා මේකේ රහ දන්න අයට බලාගෙන ඉන්න බැහැ. ඒ අය කොහොම හරි හදන්නේ ආපහු මෙතැනට එන්න.”

ෂම්මි සිල්වා මහතා මාධ්‍ය හමුවක් කැඳවා එසේ ප්‍රකාශ කළේය. එහෙත් එම දිනට පසුදා යළි විගණකාධිපතිවරයාගේ ප්‍රකාශයකින් ක්‍රිකට් නිලධාරීන්ට පහර වැදුණි. අදාළ විශේෂ විගණන වාර්තාවේ කරුණු පිළිබඳව තමා දැඩිව පෙනී සිටින බව විගණකාධිපතිවරයා ප්‍රකාශ කර සිටියේය.

● අරගලය සිහි ගන්වයි

තත්ත්වය මෙසේ තිබියදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරියට පැමිණි උද්ඝෝෂකයෝ පිරිසක් ක්‍රිකට් නිලධාරීන්ට තර්ජනය කර ගියහ. 2022 මැයි 09 වැනිදා සිදු කළ අරගලය ඔවුන්ට සිහිපත් කර සිටියහ. මෙතැනදී බැරිනම් ගෙවල්වලට ගොස් හෝ ක්‍රිකට් ලොක්කන් හමුවෙන බව කී උද්ඝෝෂකයෝ එතැනින් නික්ම ගියේ යළි එතැනට එන බවට ද අනතුරු අඟවමිනි. අරගලයේ මතක තවම අප අතරින් මැකී ගොස් නැත. එදා අරගලකරුවෝ ජනපති ලේකම් කාර්යාලයට මතු නොව ජනාධිපති මැදුරට ද රිංගූහ. ජනපති පුටුවේ වාඩි වී, නාන තටාකයේ දිය බුං ගැසූ ඔවුහු රජ මැඳුරේ ඉහළටම නැග රජ ගෙදර ධජ නැංවූහ. එවැන්නක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සිදු නොවීමට ශ්‍රී ලංකා පොලිසිය මෙදා වගබලා ගත්තේය. පොලීසියට ඒ වැඩේ වඩා ලේසි වුණේ ක්‍රිකට් ආයතනය ඉදිරිපිට උද්ඝෝෂණයට පැමිණි පිරිස ඉතා ස්වල්පයක් වූ බැවිනි. එහෙත් පිරිස සුළු වුවත් ඔවුන් මෙරට ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳ ක්‍රිකට් ලෝක බලධාරීන්ට දුන් පණිවිඩය නම් සුළුපටු නොවේ. මේ උද්ඝෝෂකයන් එදා විරෝධතා දැක්වූයේ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (අයිසීසී) විසින් සංවිධානය කරනු ලබන ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවයේ ශ්‍රී ලංකාව සහ පකිස්තානය අතර තරගය පැවැත්වෙන මොහොතකය.

ඒ තරගය එස්.එස්.සී. පිටියේදී පැවැත්වෙන බව දැන දැනත් මේ උද්ඝෝෂකයෝ ඒ සමීපයටම පැමිණියහ. උද්ඝෝෂකයන් සහ තරඟය අතර දුර මීටර් 50ක් වත් නැත. ඔවුන් එතැනින් නතර වූයේ ද පොලිසියේ මැදිහත්වීම මතය. එසේ නොවුණේ නම් ඊළඟට ඔවුන් කරන්න යන්නේ කුමක්දැයි කවුරුත් නොදනිති. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ඔවුන් රිංගන්න හැදුවද එය අසාර්ථක විණි. ක්‍රිකට් ආයතනයට උද්ඝෝෂකයන් ගියා යනු එතනින් එස්. එස්. සී. පිටියට තව අඩි කිහිපයකි. පකිස්ථානයට උද්ඝෝෂණ මතු නොව වෙඩි ප්‍රහාර, කඩු පහර සහ බෝම්බ ද නුහුරු නුපුරුදු වුව ද අයිසීසී ය මේ උද්ඝෝෂණය දෙසද මහත් විමසිල්ලෙන් බලා සිටී. ශ්‍රී ලංකා ක්‍රිකට් මහගෙදරට මේ උද්ඝෝෂකයන් එම තරගය අතරතුර රිංගුවේ නම් එය විශාල කැළලක් නොව අපේ ක්‍රිකට්වලට දැවැන්ත අවදානමකි. ඔවුන් එසේ පැමිණෙනවිට ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ සිව් වන අදියරය ඇරඹීමට තිබුණේ තව දින 4කි. අද එම තරගාවලිය ඇරැඹේ. එසේම තව මාසයකින් පමණ පකිස්ථානය සහ ඇෆ්ගනිස්තානය අතර තරගාවලියක් සඳහා ශ්‍රී ලංකාව කේන්ද්‍රස්ථානය කර ගෙන තිබේ. මීට පෙර එම තරග පැවැත්වුණේ ඩුබායි රාජ්‍යයේ දී ය. ඒවා දැන් ඩුබායිවලින් මෙරටට පැමිණ තිබේ. එහෙත් අපේ රටේ කණ්ඩායමටවත් නිදහසේ ක්‍රිකට් තරඟයක් ක්‍රීඩා කරන්න බැරි රටකට මධ්‍යස්ථ රටවල් දෙකක් එවන්නේ කෙසේදැයි අයිසීසීය ට ප්‍රශ්න කරන්නට ඉඩ තැබිය යුතු නොවේ. ඒවා අවදානම් වැඩය. වයස 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සත්කාරකත්වය ද ශ්‍රී ලංකාවට හිමි වී තිබේ. එසේම නැගී එන ආසියානු ක්‍රිකට් තරඟාවලිය පවත්වා අවසන් වූවා පමණි. ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග 13 න් 9 කටම ශ්‍රී ලංකාව සත්කාරකත්වය දරයි

කාගේ උවමනාවකට උද්ඝෝෂකයන් පැමිණිය ද වැඩේ දුරදිග ගොස් පකිස්තාන- ශ්‍රී ලංකා ටෙස්ට් තරගය නතර වූයේ නම් සිදුවන පාඩුව කියා නිම කරන්නට නොහැක. ඒ නිසා කඳුළු ගෑස් හෝ වතුර ගසා උද්ඝෝෂණය විසුරුවා හරින්නට තරම් දුරදිග අරන් නොගිය උද්ඝෝෂකයන්ට රටේ ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් මල් මිටක් පුද කළ යුතුමය. එහෙත් ඔවුන් උද්ඝෝෂණය කළ ඒ තැන, ඒ දිනය, ඒ වේලාව ඊට සුදුසු නොවේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන්ගේ වරදක් වේ නම් පලිගත යුතු වන්නේ රටේ ක්‍රිකට් බිලිදීමෙන් නොව, නිසි වැඩපිළිවෙළක් හා නීති රාමුවක් යටතේය. විගණකාධිපති වාර්තාවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යළි කරුණු පැහැදිලි කිරීමට නියමිතය. ඉන්පසුව වරදක් ඔප්පු වී ඇත්නම් ඔවුන්ට දඬුවම් හිමිවනු ඇත. උද්ඝෝෂණ කළ නොකළ පමණින් දඬුවම අඩු වැඩි නොවනු ඇත. එහෙත් අරගලයට මුදල් පැමිණි අයුරු මේ වන විට මුළු ලෝකයම දනී. ඒවා මෙහෙය වූවෝ කවුරුදැයි දනිති.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment