ඡන්දය මාර්තු 09 – නාම යෝජනා 100කට වැඩිය අහකට

313

පොහොට්ටුවෙන් කොළඹ හා දෙහිවල ගල්කිස්සට නාම යෝජනා නෑ
කළුතර ප්‍රධාන පක්‍ෂ 10ක ස්වාධීන 3ක නාම යෝජනා ඉවතට
කොළඹට සජබ ජාජබ එජාප සටනක්
ශ්‍රීලනිප – නිජපෙ තැන් කීපයක නාම යෝජනාත් ඉවතට
යාපනයේ නාමයෝජනා 7කුත් ප්‍රතික්‍ෂේපයි

පළාත් පාලන මැතිවරණය ලබන මාර්තු මස 09 වැනිදා පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කළේය. පළාත් පාලන ආයතන 340ක් සඳහා තරඟ කරන දේශපාලන පක්‍ෂ හා ස්වාධීන කණ්ඩායම්වලින් නාමයෝජනා පත්‍ර භාර ගැනීම පෙරේදා මධ්‍යහ්න 12.00ට අවසන් වූ… අතර ඉන් පසුව පිළිගත් හා ප්‍රතික්‍ෂේප වූ… කණ්ඩායම් දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් විසින් ප්‍රකාශයට පත් කරනු ලැබීය.

මේ අනුව ඉදිරිපත් වූ නාමයෝජනා පත්‍ර දහසකට අධික ප්‍රමාණයකින් සියයකට වැඩි ප්‍රමාණයක් ප්‍රතික්‍ෂේප වීම විශේෂත්වයකි.

ප්‍රතික්‍ෂේප වූ නාමයෝජනා පත්‍ර අතර ප්‍රධාන දේශපාලන පක්‍ෂවල නාමයෝජනා පත්‍රද පවතී.

මැතිවරණයට තරග කිරීමට ඇප මුදල් තැන්පත් කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කොළඹ හා දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවලටත් කොළොන්නාව නගර සභාවටත් නාමයෝජනා පත්‍ර භාරදී නොමැත. එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයද කඩුවෙල මහ නගර සභාවට ඇප මුදල් තැන්පත් කළද නාම යෝජනා පත්‍ර භාරදී නොමැත.

කොළඹ දිස්ත්‍රික්කයට භාරදී ඇති නාම යෝජනා පත්‍ර වලින් වැඩි ප්‍රමාණයක ගැටලු පවතින බැවින් ඒවා නිරාකරණය කර ගැනීමට මැතිවරණ කොමිසමට භාරදුන් බව කොළඹ නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් මාපා බණ්ඩාර මහතා පැවැසීය.

එමෙන්ම නව ලංකා නිදහස් පක්‍ෂය කොළඹ හා මොරටුව මහ නගර සභාවලට ඉදිරිපත් කර තිබූ නාමයෝජනා පත්‍රද ප්‍රතික්‍ෂේප වී ඇත.

නිදහස් ජනතා පෙරමුණ ගල්නෑව තණමල්විල, හොරණ, මතුගම, කරන්දෙණිය ප්‍රාදේශීය සභාවලට ඉදිරිපත් කර තිබූ නාමයෝජනා ප්‍රතික්‍ෂේප වී තිබේ. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයද අක්මීමන, බෝපෙ, පෝද්දල ප්‍රාදේශීය සභාවලට ඉදිරිපත් කළ නාමයෝජනාද නව ලංකා නිදහස් පෙරමුණ, බේරුවල, බුලත්සිංහල, මදුරාවල, මිල්ලනිය, වලිකාමම් දකුණු සහ ප්‍රාදේශිය සභාවලට ඉදිරිපත් කළ නාමයෝජනා ප්‍රතික්‍ෂේප වී ඇත. පෙරටුගාමී සමාජවාදී පක්‍ෂය කුරුවිට හා කලවාන ප්‍රාදේශීය සභාවලටත් දෙමළ ජාතික සන්ධානය සේරුවිල ප්‍රාදේශීය සභාවලටත්, ලංකා කම්කරු කොංග්‍රසය හාලිඇල ප්‍රාදේශීය සභාවටත් අරුනලු ජනතා පෙරමුණ ගලෙන්බිදුණුවැව තලාව, කැකිරාව ප්‍රාදේශීය සභාවලටත් ඉදිරිපත් කළ නාම යෝජනා පත්‍ර ප්‍රතික්‍ෂේප වී ඇත.

මහනුවර දිස්ත්‍රික්කයට දේශපාලන පක්‍ෂ හා ස්වාධීන කණ්ඩායම් 233 ක් ඇප මුදල් තැන්පත් කළද නාම යෝජනා පත්‍ර භාරදී ඇත්තේ 202 ක් පමණි. ඉන් දේශපාලන පක්‍ෂ 3 ක හා ස්වාධීන කණ්ඩායම් 3 ක නාම යෝජනා ප්‍රතික්‍ෂේප වී ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය, එක්සත් ජාතික පක්‍ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය, නිදහස් ජනතා පෙරමුණ, නවලංකා නිදහස් පෙරමුණ, එක්සත් මහජන පක්‍ෂය, ජනසෙත පෙරමුණ, පෙරටුගාමී සමාජවාදී පක්‍ෂය, සමාජවාදී ජනතා සංසදය, එක්සත් සාම සන්ධානය, එක්සත් සමාජවාදී පක්‍ෂය, දේශවිමුක්ති ජනතා පක්‍ෂය, අකිල ඉලංකෙයි තමිල් කොංග්‍රස්, ඉලංකෙයි තමිල් අරසු කච්චි, ජනනායක තමිල් කේසීය කුට්ටනි, ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ ඇතුළු පක්‍ෂ රැසක් මැතිවරණය තරග වැදීමට නියමිතය.

එක්සත් ජාතික නිදහස් පෙරමුණ කෙසෙල් ඇවරියෙන් පළාත් පාලන ආයතන 12 ක් තරග කිරීමට ලබාදී තිබූ නාම යෝජනා අතරින් නාම යෝජනා පත්‍ර තුනක් ප්‍රතික්‍ෂේප වී ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරි සහ දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතා පැවැසීය.

එක්සත් ජාතික නිදහස් පෙරමුණේ මහ ලේකම් වශයෙන් ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා කටයුතු කරන අතර, එම පක්‍ෂය විසින් මස්කෙළිය, ආගරපතන සහ නෝර්වුඩ් යන ප්‍රාදේශීය සභාවට ලබාදී තිබූ නාමයෝජනා වල පක්‍ෂයේ මහ ලේකම්වරයා විසින් අත්සන් කර නොමැතිවීම නිසා එම නාම යෝජනා පත්‍ර ප්‍රතික්‍ෂේප කළ බව නුවරඑළිය දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරිවරයා කියා සිටියේය.

ගාල්ල දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 19 ක් සඳහා පිළිගත් දේශපාලන පක්‍ෂ හා ස්වාධීන කණ්ඩායම් 140 ක් නාමයෝජනා භාරදුන් අතර ඉන් නාමයෝජනා පත්‍ර 06 ක් ප්‍රතික්‍ෂේප වී ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරි ශාන්ත වීරසිංහ මහතා පැවැසීය.

ඒ අනුව නාමයෝජනා පත්‍ර 134 ක් පිළිගත් බවද හෙතෙම පවසයි. අක්මීමන හා බෝපෙ පෝද්දල යන ප්‍රාදේශීය සභා සඳහා ශ්‍රී.ල.නි. පක්‍ෂයෙන් ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍ර ප්‍රතික්‍ෂේප වී තිබුණි. එමෙන්ම කරන්දෙණිය ප්‍රාදේශීය සභාව සඳහා නිදහස් ජනතා පෙරමුණ, ඉමදුව ප්‍රාදේශීය සභාව සඳහා එක්සත් ජාතික නිදහස් පෙරමුණ, ගාල්ල මහනගර සභාව සඳහා මව්බිම ජනතා පක්‍ෂය, බද්දේගම ප්‍රාදේශීය සභාව සඳහා නිදහස් ජනතා සංවිධානය යන පක්‍ෂ විසින් ඉදිරිපත් කෙරුණු ලැබූ නාමයෝජනා පත්‍ර ප්‍රතික්‍ෂේප වූ බවද ගාල්ල දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරිවරයා සඳහන් කළේය.

මොනරාගල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සභා දහය සඳහා පිළිගත් දේශපාලන පක්‍ෂයක සහ ස්වාධීන කණ්ඩායමක නාමයෝජනා පත්‍ර ප්‍රතික්‍ෂේප වූ බව මොනරාගල දිස්ත්‍රික් ලේකම් සහ තේරීම් භාර නිලධාරී පසන් රත්නායක මහතා පැවැසීය.

තණමල්විල ප්‍රාදේශීය සභාවට නිදහස් ජනතා පෙරමුණෙන් ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍රය සහ සියඹලාණ්ඩුව ප්‍රාදේශීය සභාවට ස්වාධීන කණ්ඩායමක් විසින් ඉදිරිපත් කරන ලද නාම යෝජනා පත්‍රය ප්‍රමාණවත් අපේක්‍ෂකයන් නොමැතිවීම නිසා ප්‍රතික්‍ෂේප කළ අතර මඩුල්ල ප්‍රාදේශීය සභාව සඳහා නිදහස් ජාතික පෙරමුණේ නාමයෝජනා පත්‍රයේ එක්නමක් දිවුරුම් ප්‍රකාශයේ අත්සන සඳහන් කර නොමැතිවීම නිසා ඉවත් කර ඇත.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 19 සඳහා පිළිගත් දේශපාලන පක්‍ෂ 15 කින් නාම යෝජනා පත්‍ර 133 ක් හා ස්වාධින කණ්ඩායම්වලින් නාමයෝජනා පත්‍ර 09 ක් ඉදිරිපත් කොට තිබූ බව අනුරාධපුර දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරි දිස්ත්‍රික් ලේකම් ජනක ජයසුන්දර මහතා පැවසීය.

ඉන් අරුණළු ජනතා පෙරමුණ විසින් කැකිරාව, තලාව, ගලෙන්බිඳුණුවැව යන ප්‍රාදේශිය සභාවලට සහ නිදහස් ජනතා පෙරමුණ විසින් ගල්නාව ප්‍රාදේශීය සභාවට ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍ර පැවති දෝෂ හේතුවෙන් ප්‍රතික්‍ෂේප කළ බවත් දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරි ජනක ජයසුන්දර මහතා පැවසීය.

මේ අතර ඉදිරිපත් කරන ලද නාමයෝජනා පත්‍ර අතරින් පක්‍ෂ කිහිපයක නාමයෝජනා පත්‍රවල නම් කීපයක් ප්‍රතික්‍ෂේප වූ බවත් හෙතෙම පැවසීය.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් පමණක් පිළිගත් දේශපාලන පක්‍ෂ හා ස්වාධීන කණ්ඩායම් 198 ක් අතුරින් බියගම ප්‍රාදේශීය සභාවට ජනසෙත පෙරමුණෙන්, මීගමුව මහ නගර සභාව සඳහා අභිනව නිවහල් පෙරමුණෙන්, මිනුවන්ගොඩ නගර සභාව සඳහා ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණෙන් සහ වත්තල – මාබෝලේ නගර සභාවට, බියගම ප්‍රාදේශීය සභාවට සහ දොම්පේ ප්‍රාදේශීය සභාව සඳහා ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍ර දෙකක් වශයෙන් ස්වාධීන කණ්ඩායම් ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍ර 07 ක් මෙලෙස ප්‍රතික්‍ෂේප වූ බව ගම්පහ දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී සමන් දර්ශන පාඬිකෝරල මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා කළුතර දිස්ත්‍රික්කයෙන් තරග කිරීමට ඉදිරිපත් කළ නාම යෝජනා අයදුම්පත් 13 ක් ප්‍රතික්‍ෂේප වූ බව කළුතර දිසාපති ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර මහතා පැවසීය.

ප්‍රධාන පක්‍ෂ 10 ක සහ ස්වාධින කණ්ඩායම් 3 ක නාමයෝජනා මෙසේ ප්‍රතික්‍ෂේප වී ඇත.

ඒ අනුව පළාත් පාලන ආයතන 17 සඳහා පිළිගත් දේශපාලන පක්‍ෂවල කණ්ඩායම් 111 ක් සහ ස්වාධීන කණ්ඩායම් 18 ක් වශයෙන් කණ්ඩායම් 129 ක් ඉදිරි පළාත් පාලන මැතිවරණයට තරග කිරීම සඳහා සුදුසුකම් ලබා ඇතැයි ද ඒ මහතා සඳහන් කළේය.

ඒ අනුව නව ලංකා නිදහස් පක්‍ෂය පානදුර නගර සභාව, කළුතර, බේරුවල, බුලත්සිංහල, මදුරාවල හා මිල්ලනිය ප්‍රාදේශීය සභා සඳහා ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍ර ද, නිදහස් ජනතා පෙරමුණ හොරණ හා මතුගම ප්‍රාදේශීය සභාවලට ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍ර ද ප්‍රතික්‍ෂේප වී ඇත.

මේ අතර එජාපය මදුරාවල ප්‍රාදේශීය සභාවටත්, අභිනව නිවහල් පෙරමුණ පානදුර නගර සභාවටත් ඉදිරිපත් කළ නාමයෝජනා ප්‍රතික්‍ෂේප වී ඇත. කළුතර මහ නගර සභාවට ඉදිරිපත් වූ ස්වාධීන කණ්ඩායම් දෙකක් හා බුලත්සිංහල ප්‍රාදේශීය සභාවේ එක් ස්වාධීන කණ්ඩායමක අයැදුම්පතක් ද ප්‍රතික්‍ෂේප වී ඇත.

යාපනය දිස්ත්‍රික්කය සඳහා නාමයෝජනා පත්‍ර 157 ක් ඉදිරිපත්ව ඇති අතර ඉන් 07 ක් ප්‍රතික්‍ෂේප වී ඇති බවත් නාමයෝජනා 150 ක් පිළිගෙන ඇති බවත් යාපනය දිස්ත්‍රික් ලේකම් අම්බලවානර් ශිවබාලසුන්දරම් මහතා පවසයි.

මෙහිදී අයික්‍ය මක්කල් ශක්ති පක්‍ෂයේ වැල්වැටිතුරෙයි නගර සභාවට ඉදිරිපත් කළ නාම යෝජනා හා වඩමාරච්චි නිරිත ප්‍රාදේශීය සභාවට ඉදිරිපත් කරන ලද නාමයෝජනා ප්‍රතික්‍ෂේපව ඇති බව දිස්ත්‍රික් ලේකම්වරයා පැවසීය.

එමෙන්ම ජනනායග තමිල් දේශීය සන්ධානය වේලනෙයි ප්‍රාදේශීය සභාව සඳහා ඉදිරිපත් කළ නාමයෝජනා ප්‍රතික්‍ෂේපව ඇති අතර වඩමාරච්චි නිරිතදිග ප්‍රාදේශීය සභාව සඳහා ඉදිරිපත් කළ නමයෝජනා පත්‍රයෙන් කොටසක් ද ප්‍රතික්‍ෂේපව තිබේ.

මෙයට අමතරව තමිල්මක්කල් කුට්ටනි පක්‍ෂය වේලනෙයි ප්‍රාදේශීය සභාව සඳහා ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍රය ප්‍රතික්‍ෂේප වී තිබේ. එමෙන්ම අදාළ පක්‍ෂය විසින් වලිකාමම් නැගෙනහිර ප්‍රාදේශීය සභාව සඳහා ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍රය ද අර්ධ වශයෙන් ප්‍රතික්‍ෂේපව තිබේ.

එක්සත් ජාතික පක්‍ෂය ඌර්කාවතුරෙයි ප්‍රාදේශීය සභාව සඳහා ඉදිරිපත් කළ නාමයෝජනාව ද මෙහිදී ප්‍රතික්‍ෂේපව ඇති අතර වලිකාමම් දකුණ ප්‍රාදේශීය සභාව සඳහා නව ලංකා නිදහස් පක්‍ෂය ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍රය ප්‍රතික්‍ෂේපව තිබේ.
රනිල් ධර්මසේන

පසුබිම් වාර්තා

සමන්තී වීරසේකර, සිරිල් විමලසුරේන්‍ද්‍ර, දිනසේන රතුගමගේ, බණ්ඩාරගම – ආර්. ඒ. ඒස් ප්‍රේමතිලක, ගල්පාත – චන්දන, පානදුර – දීපිකා කාරියවසම්, මුලතිව් – ප්‍රසන්න ප්‍රදීප්, නුවරඑළිය – නාලක රත්නායක, ගාල්ල – ලලිත් චාමින්ද, එස්. කේ. කළුආරච්චි, හිනිඳුම – රවීන්‍ද්‍ර චන්‍ද්‍රලාල්, බඩල්කුඹුර – රවිඳු ගුණතිලක, තිරප්පනේ – සමන් පෙරේරා, අනුරාධපුර – පර්සි කුරුනේරු, අනුරාධපුර – තිසර නිමල්, මිහින්තලේ – රංග චතු, ගම්පහ සමූහ – සුසිල් රණමුක, ගම්පහ අතිරේක – විල්සන් පලිහවඩන, ත්‍රිකුණාමලය – සමන් මල්ලවාරච්චි, කන්තලේ ඩබ්ලිව්. එම්. වික්‍රමසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment