දකුණේ ඝාතන හතරේ වෙඩික්කරු අත්අඩංගුවට

566

ඇල්පිටිය, පිටිගල සහ අම්බලංගොඩදී පුද්ගලයන් සිවුදෙනකු වෙඩි තබා ඝාතනය කර මුළු දකුණ පළාතම භීතියට පත්කරගෙන සිටි කල්ලියේ ප්‍රධානියා පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් පෙරේදා (24දා) අත්අඩංගුවට ගෙන ඇත.

යුද හමුදා කමාන්ඩෝ බළකායේ රාජකාරි කර ඉන් පලාගොස් ඇති මෙම පාතාල කුලී ඝාතකයා දක්ෂ වෙඩික්කරුවකු බව පොලිසිය පවසයි.

ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටින කරන්දෙණියේ සුද්දා නමැති පාතාල නායකයා ලබාදුන් මුදල් කොන්ත්‍රාත්තුවකට අනුව කපිල කුමාර නමැති මෙම කුලී ඝාතකයා පිටිගල සහ අම්බලන්ගොඩ මිනිස් ඝාතන සිදුකර ඇති බව විමර්ශනවලින් හෙළි වී ඇත. මෙම කුලී ඝාතකයා කන්දෙණියේ සුද්දා නමැති පාතාල නායකයා යුද හමුදා කමාන්ඩෝ බළකායේ රාජකාරි කර ඇත්තේ එකට බව විශේෂ කාර්ය බළකාය පවසයි.

පිටිගල ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු කරන්දෙණියේ සුද්දාට ලබාදුන් රුපියල් පනස් ලක්ෂයක මුදල් කොන්ත්‍රාත්තුවක් මත පිටිගල වෙළෙඳසලක හිමිකරුවකු ඉලක්ක කර මෙම කුලී ඝාතකයා සිය මුල්ම ප්‍රහාරය එල්ල කර තිබිණි. එහෙත් එම ප්‍රහාරයෙන් වෙළෙඳසල් හිමියා දිවි ගලවා ගත් අතර වෙළෙඳසලට භාණ්ඩ මිලදී ගැනීමට පැමිණ සිටි අහිංසක පුද්ගලයෝ දෙදෙනෙක් ඝාතනයට ලක්වූහ.

එම ප්‍රහාරයෙන් පැය කීපයකට පසු මෙම කුලී ඝාතකයා විසින් අම්බලන්ගොඩ නගරයේ තවත් වෙළෙඳසලක් වෙත ප්‍රහාරයක් එල්ල කළ අතර එහිදී තවත් තරුණයෝ දෙදෙනෙක් ඝාතනයට ලක්වූහ.

කරන්දෙණිය සුද්දාගේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ වී මුදල් වංචාවක් කළ පුද්ගලයකු ඉලක්ක කර මෙම ප්‍රහාරය එල්ල කර තිබිණි. එහිදී එම පුද්ගලයා ඝාතනයට ලක්වූ අතර කිසිම අපරාධයකට සම්බන්ධ නැති තවත් අහිංසක තරුණයෙක් ද එහිදී මියගියේය. මෙම සිවු මිනිස් ඝාතන සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්ය බළකාය පුළුල් විමර්ශනයක් ආරම්භ කළ අතර කපිල කුමාරගේ මව සහ සොහොයුරා මුලින් අත්අඩංගුවට ගෙන තිබිණි. මෙම ප්‍රහාරයට සම්බන්ධ තවත් සැකකරුවන් කිහිපදෙනකු අත්අඩංගුවට ගත් විශේෂ කාර්ය බළකාය ඔවුන් ලබාදුන් තොරතුරු මත ප්‍රධාන සැකකරු වන කපිල කුමාරගේ ඡායාරූපයක් නිර්මාණය කිරීමට කටයුතු කළහ. පසුව විශේෂ කාර්ය බළකාය සිදුකළ විමර්ශනයකදී මෙම ප්‍රධාන සැකකරු කොටුකර ගැනීමට හැකි විය.

පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි වරුණ ජයසුන්දර මහතාගේ උපදෙස් මත විමර්ශන පැවැත්වෙයි.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment