ඩුබායි සිට පොම්ප කළ කෝටි 35ක මත්කුඩු බියගම හා මහරගමින් අල්ලයි

237

බියගම සහ මහරගම ප්‍රදේශවලදී පොලිසිය සිදුකළ මෙහෙයුම්වලින් හෙරොයින්, අයිස්, කුෂ් ඇතුළු රුපියල් කෝටි 35කට අධික වටිනාකමෙන් යුත් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවන් 6 දෙනකු අත්අඩංගුවට ගෙන ඇත.

ඩුබායි රාජ්‍යයේ අධිසුඛෝපභෝගි ජීවිත ගත කරමින් සැඟවී සිටින ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් මෙම හෙරොයින් අයිස් ඇතුළු මත්ද්‍රව්‍ය මෙරටට එවා ඇති බව පොලිසිය පවසයි.

වැටලීම් 03කදී අත්අඩංගුවට ගත් අයිස් ප්‍රමාණය කිලෝග්‍රෑම් 15කි. හෙරොයින් කිලෝ 8කි. හෑෂ් කිලෝ 14ක්, කුෂ් කිලෝග්‍රෑම් එකහමාරක් බව පොලිසිය පවසයි.

පොලිස් විශේෂ කාර්යාංශයට ලැබුණු තොරතුරක් මත එම කාර්යංශයේ නිලධාරීන් සහ බියගම පොලිසියේ නිලධාරීන් විසින් කළ වැටලීමකදී මුලින්ම එක් සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇත්තේ බියගම බණ්ඩාරවත්ත බස් නැවතුම්පොළේ සිටියදීය.

එම සැකකරු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 2310ක් සොයාගෙන තිබිණි. පසුව එම සැකකරුගේ බිරිඳ බණ්ඩාරවත්තේදී අත්අඩංගුවට ගත් අතර ඇය සතුව තිබී අයිස් මිලිග්‍රෑම් 120ක් සොයාගෙන ඇත.

සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී ඔවුන් පවසා ඇත්තේ මෙම මත්ද්‍රව්‍ය බණ්ඩාරවත්ත නගරයේ නිවාඩු නිකේතනයක කළමනාකරු විසින් ලබාදෙන බවයි.

පසුව පොලිස් නිලධාරීන් එම නිවාඩු නිකේතනය වටලා එහි කළමනාකරු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී ඔහු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 5 මිලිග්‍රෑම් 510ක් සොයා ගැනීමට හැකි විය.

එම සැකකරුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමේදී ඔහු පවසා ඇත්තේ මත්ද්‍රව්‍ය සපයන පුද්ගලයා 26 වැනිදා සවස තවත් මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන පැමිණෙන බවයි.

එහිදී පොලිස් නිලධාරීන් නිවාඩු නිකේතනය වටලා එම මත්ද්‍රව්‍ය ජාවාරම්කරු පැමිණෙන තුරු රැකවල්ලාගෙන සිට ඇත. එදින සවස මත්ද්‍රව්‍ය ජාවාරම්කරු අතිසුඛෝපභෝගි වාහනයකින් පැමිණි අතර රැකවල්ලාගෙන සිටි පොලිස් නිලධාරීන් විසින් ඔහු අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අවස්ථාවේ සැකකරු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 3ක් සොයා ගැනීමට හැකි විය. පසුව එම සැකකරුට අයත් කඩුවෙල බෝමිරිය ප්‍රදේශයේ නිවසක් වටලා පරීක්ෂා කිරීමේදී එහි සඟවා තිබූ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 12ක්, හෑෂ් මත්ද්‍රව්‍ය කිලෝ 14ක් සහ හෙරොයින් ග්‍රෑම් 941ක් සොයා ගැනීමට හැකිවිය.

මෙම මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් සැකකාරියක ඇතුළු සැකකරුවන් සිව්දෙනා මහර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. මෙම මත්ද්‍රව්‍ය තොගය ඩුබායි කමල් නමැති ජාවාරම්කරු එවා ඇති බවද හෙළි වී ඇත.

කැලණිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ක්‍රිෂාන්ත සිල්වා, සහකාර පොලිස් අධිකාරි ජී. ගුණතිලක යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ බියගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අජිත් විජේසිංහ, අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක අශාන් ගමගේ, උප පොලිස් පරීක්ෂක සුනිල් ශාන්ත, සැරයන් (26942) අල්විස්, කොස්තාපල් (99918) යොහාන්, (103657) ජයසිංහ, කාන්තා කොස්තාපල් (11658) දිල්රුක්ෂි යන නිලධාරීහු මෙම වැටලීමට සහභාගි වූහ.

හේමන්ත රන්දුණු, සුදත් පුබුදු කීර්ති සහ ඩබ්ලිව්.ඩී.එම්. විතාන

advertistmentadvertistment
advertistmentadvertistment