රාජ්‍ය ඇමැති චානකගේ මාමණ්ඩිටත් පාතාලයෙන් වෙඩි පිට වෙඩි…

749

ඝාතනය කළේ විකාගෝ ක්‍රමයට…

කොස්ගොඩ සුජීගේ වැඩක්…

ඝාතනය වූ ව්‍යාපාරිකයා රත්ගම විදුරගේ ඥාතියෙක්ලු….

දෙපිරිස අතර තිහක් විතර ඝාතනය කරලා…

රාජ්‍ය ඇමැති චානකගේ මාමණ්ඩිටත් පාතාලයෙන් වෙඩි පිට වෙඩි…

මාස කීහිපයක සිට කොළඹ පාතාලය තරමක් දුරට නිහඬය. එහි අපරාධ ගැන වෙනදා මෙන් අසන්නට දකින්නට නොලැබේ. එලෙස කොළඹ පාතාලය තරමක් දුරට නිහඬ වුවත් පසුගිය මාස කිහිපය තුළ ගම්පහ සහ දකුණු පාතාලයේ නිහඬ බවක් දක්නට නොලැබුණි. ඔවුහු තර තරගෙට මිනී මරා ගත්හ.

“ගනේමුල්ල සංජීව” නමැති පාතාල අපරාධකරු අත්අඩංගුවට පත්වීමෙන් පසු ගම්පහ පාතාලය ද තරමක් දුරට නිහඬය. එහෙත් දකුණු පාතාලයේ නම් නිහඬ බවක් දක්නට නොලැබේ. ඔවුහු දිගින් දිගටම කිසිදු බියක් සැකක් නොමැතිව මිනී මරා ගනිති.

දකුණු පාතාලය පිළිබඳව මාස කිහිපයකට ඉහත මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් ජනතාව ඉදිරියේ සහතිකයක් දුන්නේ මෙලෙසින්ය.

“මින් ඉදිරියට කිසිම පාතාල සාමාජිකයෙකුට මිනිසුන් මැරීමට ඉඩ දෙන්නෙ නෑහැ. ඒ වගේම පාතාලයේ සහමුලින්ම තුරන් කරනවා.”

ඇමැතිවරයා එසේ ප්‍රකාශ කළත් එලෙස ප්‍රකාශ කළ දින සිට මේ දක්වා සිදුවූ මනුෂ්‍ය ඝාතන ප්‍රමාණය 15 කටත් අධිකය. ඒ ඝාතන රැල්ලට අලුතින්ම එකතු වූයේ පසුගිය 23 වැනිදා ගාල්ල නගරයේ දී සිදු වූ වෙඩි තැබීමයි. එම වෙඩි තැබීමෙන් මිය ගියේ රාජ්‍ය ඇමැති ඩී. වී. චානකගේ මාමණ්ඩියයි.

● දකුණු පාතාලය….

රාජ්‍ය ඇමැති චානකගේ මාමණ්ඩිටත් පාතාලයෙන් වෙඩි පිට වෙඩි…

වර්තමානය වන විට දකුණු පාතාලයේ සුප්‍රසිද්ධ චරිත දෙකක් සිටී. ඒ “කොස්ගොඩ සුජී” සහ “රත්ගම විදුරයි”. සංවිධානාත්මක අපරාධකරුවන් දෙදෙනකු වන මොවුන් විදෙස්ගතව සැඟවී සිට මෙම සියලු අපරාධ මෙහෙයවන්නේ නීතිය සත පහකටවත් මායිම් නොකරයි. එලෙසම මෙම දෙදෙනා නයි මුගටි මෙන් බද්ධ වෛරයකින් පසුවන්නේ දකුණු පාතාලයේ කිරුළ හිමිකරගැනීමටයි. මේ වන විට එහි ප්‍රතිඵලයක් වශයෙන් දෙපාර්ශ්වයේ මනුෂ්‍ය ඝාතන තිහකට අධික ප්‍රමාණයක් සිදුවී තිබේ.

කොළඹ පාතාලයෙන් පසු ලංකාවේ පාතාල නිජබිමක් වූයේ දකුණු පළාතයි. දකුණු පාතාලයේ ආරම්භක සාමාජිකයන් ලෙස “ස්ටැන්ලි තාබෲ”, “එස්.ටී.එෆ්. කසුන්” හැඳින්විය හැකිය. අනූව දශකයේ පමණ එලෙස ඇරඹූ ඔවුන්ගේ නිජබිම දකුණු පළාත වුවද ඔවුන්ගේන් පසු කරලියට පැමිණි සමහර පාතාල සාමාජිකයන් තම අපරාධ දකුණු පළාතට පමණක් සීමා කළේ නැත. එල්ටීටීඊ සංවිධානය සමග ද ඔවුන් සම්බන්ධ විය.

වර්ෂ 2000 – 2007 කාල සීමාව යනු දකුණු පාතාලයේ ස්වර්ණමය යුගයක් ලෙස හැඳින්විය හැකිය. එකල සමහර පාතාල නායකයන් දේශපාලන බලයද සමග කරළියට පැමිණියේය. එයට එක් උදාහරණයක් ලෙස “මනෝජ් මෙන්ඩිස්” හැඳින්විය හැකිය. එම කාල සීමාව තුළ පොලිසියට තිබූ බලතල පවා සමහර පාතාල නායකයන් අත්පත් කරගෙන තිබුණි.

තවද එම වකවානුව තුළ දකුණු පාතාලයේ ක්‍රියාකාරීන් ලෙස “ වම්බොට්ටා”, “රත්නවීර”, “පාලංකඩ හීනා”, “කඩිගමුවෙ සැරයන්”, “අල කිරියා”, “ ඕකෙවෙල ගයාන්”, “පල්ලත්තර ජගත්”, “ජූලම්පිටියෙ අමරෙ”, “බටු මහත්තයා”, “ඇට ඉන්දික”, “ආමි ජිනේ” වැනි පුද්ගලයන් නම් දරා තිබිණි. මෙපමණක් නොව තවත් බොහෝ පාතාල සාමාජිකයන් පිරිසක් සිටියහ.

තවද එම වකවානුව තුළ පාතාල ක්‍රියාකාරකම් මෑත ඉතිහාසයට වඩා බොහෝ ම්ලේච්ඡ ස්වරූපයක් ගත්තේය. “වම්බොට්ටා”, “ආමි ජිනේ” වැනි සාමාජිකයන් මුදල් සොයන කාර්යය පසෙකලා තම සතුරන් මෙන්ම ඔවුන්ගේ පවුලේ සාමාජිකයන්ද සිත්සේ මරාදමමින් කල් ගත කළේය.

එම පාතාල සාමාජිකයන්ගෙන් පසු වඩාත් කතාබහට ලක්වූ චරිතය බවට පත්වූයේ “මාකඳුරේ මධුෂ්ය”. දකුණු පාතාලයෙන් කරළියට පැමිණි ඔහු අවසානයේ මෙරට පාතාලයේ ගෝඩ්ෆාදර් ලෙසද හැඳින්විය. ඒ තරමටම ඔහු දරුණු අපරාධකාරයෙක් බවට පත්විය.

මාකඳුරේ මදුෂ්ගෙන් පසු, “කොස්ගොඩ තාරක”, “කොස්ගොඩ සුජී”, “රත්ගම විදුර” “පොඩි ලැසී” යන පුද්ගලයන් දකුණු පාතාලයේ මුදුන් මුල් ලෙස හැඳින්විය හැකිය. එයිනුත්, “කොස්ගොඩ තාරක” දැන් ජීවතුන් අතර නොමැත. එම නිසා වර්තමානය වනවිට දකුණු පාතාලේ කිරුළ දිනා ගැනීම සඳහා ප්‍රසිද්ධියේ සටන් වදින්නේ “කොස්ගොඩ සුජී” සහ “රත්ගම විදුර” යන දෙදෙනායි.

● කොස්ගොඩ සුජී….

රාජ්‍ය ඇමැති චානකගේ මාමණ්ඩිටත් පාතාලයෙන් වෙඩි පිට වෙඩි…

“කොස්ගොඩ සුජී” යන අන්වර්ථ නාමයෙන් හැඳින්වනුයේ ජගමුණි සුජීව ද සොයිසාය. මොහු දකුණු පළාතේ උපන් අයෙකි. කලක් කොස්ගොඩ, අම්බලන්ගොඩ, බළපිටිය, මීටියාගොඩ ආදී ප්‍රදේශවල පාතාල ක්‍රියාකාරකම් සිදුකරමින් එම ප්‍රදේශවල බලය සියතට ගත් “කොස්ගොඩ සුජී” පාතාලයේ චරිතයක් බවට පත් වන්නේ දැනට දශකයකට පමණ ඉහතදීය.

තම නම ඉදිරියේ ලියවෙන අපරාධ සංඛ්‍යාව වැඩි වීමත් සමඟ ඔහු ඩුබායි දේශයට පලා ගියේ ඉතා සූක්ෂමවයි. එතැන් පටන් ඔහු එරට සිට දකුණේ පාතාලය මෙහෙයවන අතර කාලයක් ඔහු පාතාල ක්‍රියාකාරකම්වලින් ඈත්වද සිටියේය. එම නිහඬතාවත් සමඟ අම්බලන්ගොඩ, කොස්ගොඩ ආදී ප්‍රදේශවල ආධිපත්‍ය ගැනීමට තවත් කණ්ඩායමක් වෙර දැරූවේය. ඒ කාලය අතරතුර “කොස්ගොඩ සුජී” ගේ ගෝලයෝ කිහිප දෙනෙක්ද මරා දැමුවේය.

“මේ ටික දවසට මුන් මගේ දෙන්නෙක් තුන්දෙනෙක් මැරුවා. මෙහෙම ගියොත් මාවත් ගණන් ගන්න එකක් නැහැ. තවත් නිහඬව බලන් ඉන්න බැහැ. ආයි වැඩ පටන් ගන්න ඕනා. මුන් දන්නේ නැහැ සුජී කියන්නේ කවුද කියලා.”

තම ගෝලයෙකුට එලෙස පැවසූ “කොස්ගොඩ සුජී” තම ආධිපත්‍ය පතුරුවාලීම සඳහා යළි පාතාල ක්‍රියාකාරකම් කිරීමට පටන් ගත්තේය. ඔහුගේ ප්‍රධාන හතුරා බවට පත්වූයේ “රත්ගම විදුරයි.”

● රත්ගම විදුර…

විදුර ලක්ෂාන්ද සොයිසා විජේසිංහ හෙවත් “රත්ගම විදුර” 1978 මාර්තු මස 26 වැනිදා උපත ලැබුවේ රත්ගම ප්‍රදේශයේදීය. කලක් ඔහු ගෙවල් 10, පොලිසිය පිටුපස, රත්ගම යන ලිපිනයේ පදිංචිව සිටියේය.

ප්‍රතිවාදී කල්ලියක් විසින් සිය බාල සහෝදරයා වෙඩි තබා ඝාතනය කරනු ලැබූ පලිය ගැනීමට “පාතාලයේ අයියා” කෙනෙකු වූ “රත්ගම විදුර” දැන් සිටින්නේ ඉතාලියේ බව මෙරට බුද්ධි අංශ වාර්තා කරයි. ඔහු ඉතාලියට පැන ගියේ 2006 වර්ෂයේදී ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් උපයෝගි කරගනිමින්ය. එලෙස පැන ගිය “රත්ගම විදුර” දකුණු පාතාලයේ කිරුළ හිමිකර ගැනීම සඳහා “කොස්ගොඩ සුජී” සමගින් කරට කර සටන් කරමින් සිටී.

විදෙස්ගත මහ පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමගින් සමීප සබඳතා ගොඩනගා ගෙන සිටින “රත්ගම විදුර” මේ වන විට තම ගෝලබාලයන් යොදවා මෙරට පාතාල ක්‍රියාකාරකම් මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්ද ජයටම කරගෙන යයි.

“කොස්ගොඩ සුජී” සහ “රත්ගම විදුර” ගේ ගැටුමේ ප්‍රතිඵලයක් ලෙස පසුගිය 23 වැනිදා තවත් මනුෂ්‍ය ඝාතනයක් සිදු විය. ඒ විදුරගේ ළඟම ඥාතියෙකු වූ ලලිත් ඒකනායක නමැති ව්‍යාපාරිකයාය.

● ලලිත් වසන්ත…

මුරුක්කුවාදුර ලලිත් වසන්ත යනු ගාල්ලේ ප්‍රසිද්ධ නිමි ඇඳුම් අලෙවිසල් හිමිකරුවෙකි. කෝටිපති ව්‍යාපාරිකයෙකි. මුල් පදිංචිය බූස්ස ප්‍රදේශයේය. පසුව ඔහු සිය පවුල සමග ගාල්ල වුඩ්වඩ් මාවතේ පදිංචියට පැමිණියේ තම ව්‍යාපාරික කටයුතුවල පහසුව තකාය. ඒ මීට දශකයකට පමණ ඉහතදීය. කෝටිපති ව්‍යාපාරික වූ නිසා දේශපාලන සම්බන්ධතාද ඔහුට තිබුණි. එයට අමතරව ඔහු “රත්ගම විදුර” ගේ ඥාතීයෙකු මෙන්ම මිතුරෙකු ද විය.

ලලිත් වසන්තගේ දුව දැනට මාස කිහිපයකට ඉහතදී විවාහ විය. ඒ දකුණු පළාත් සභා හිටපු ඇමැතිවරයෙකු වූ ඩී. වී. උපුල්ගේ පුතකු වන ඩී. වී. චානක සමඟයි. ඩී. වී. චානක යනු වර්තමාන ආණ්ඩුවේ රාජ්‍ය අමාත්‍යවරයෙකි. කෝටිපති ව්‍යාපාරිකයෙකු සහ මෙවැනි සම්බන්ධතා නිසා වසන්ත එම ප්‍රදේශයේ ජනප්‍රිය චරිතයක් බවට පත්වීය.

දිනය පසුගිය 23 වැනිදාය. සුපුරුදු පරිදි තම වෙළෙඳ සලට ගිය ලලිත් එහි වැඩ කටයුතු නිම කර යළි නිවස බලා පැමිණීමට මෝටර් රථයට ගොඩවිය. එවිට වෙලාව රාත්‍රී අට පසුවී තිබුණි. එදින ව්‍යාපාර කටයුතු ද සිතූ තරම් සාර්ථකව කර ගැනීමට නොහැකි විය. එමනිසා එදින අසුබ දිනයක් ලෙස සලකා ඔහු මෝටර් රථය කිලෝමීටරයක් පමණ දුර ධාවනය කරමින් ඉදිරියට පැමිණියේය.

රාජ්‍ය ඇමැති චානකගේ මාමණ්ඩිටත් පාතාලයෙන් වෙඩි පිට වෙඩි…
වෙඩි වැදුණු රථය

ලලිත් වසන්ත වෙළෙඳසලින් පිටත්වූ පසු යතුරු පැදියකින් පැමිණි දෙදෙනකු ඔහු පසුපස හඹා ආවේය. ලලිත් ඒ බව දැන සිටියේ නැත. ඔහු ගාල්ල ඩික්සන් හන්දිය බිංගෙය ආසන්නයට පැමිණියේය. ඒ සමගම පසුපසින් පැමිණි යතුරුපැදිය මෝටර් රථය ඉස්සර කරමින් ලලිත්ට වෙඩි ප්‍රහාරයක් එල්ල කළේය.

එක්වරම එල්ල වූ වෙඩි ප්‍රහාරය හමුවේ ලලිත් තුෂ්නිම්භූත විය. එක්වරම කරන්නේ කුමක් ද කියා සිතා ගැනීමට නොහැකි විය. ක්ෂණිකව ක්‍රියාත්මක වූ ලලිත් ජීවිතය බේරා ගැනීම සඳහා මෝටර් රථය මාර්ගයෙන් ඉවතට ගත්තේය. එහෙත් පලක් වූයේ නැත.

යතුරු පැදියේ සිටි වෙඩික්කරු නැවතත් ලලිත් ඉලක්ක කර ගනිමින් වෙඩි පිට වෙඩි එල්ල කළේය. එම වෙඩි පහරවල් ඔහුගේ හිස, ගෙල, අත ඇතුළු ශරීරයේ ස්ථාන රැසකට වැදී තිබුණි. එම වෙඩි ප්‍රහාරය හමුවේ ඔහුට කිසි දෙයක් කරගත නොහැකි විය. අවසානයේ ඔහු ඉතා අවාසනාවන්ත ලෙස තම මෝටර් රථය තුළදීම අවසන් හුස්ම පොද ද වාතලයට මුසු කළේය. පසුව තම ඉලක්කය සපුරාගත් ඝාතකයන් ඉතා නිරුපද්‍රිතව එම ස්ථානයෙන් පිටව ගියේය. ටී පනස් හය වෙඩි උණ්ඩ දාහතක් ඔහුගේ ශරීරයට වැදී තිබුණි.

වෙඩි තබා විනාඩි කිහිපයක් ගත වීමට මත්තෙන් එම සිද්ධිය ලැව් ගින්නක් සේ ගාල්ල ප්‍රදේශයේ පමණක් නොව රට පුරාම පැතිරී ගියේය. ඒ සමගම පොලිසිය ක්‍රියාත්මක විය.

දකුණු පළාත භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් මත ගාල්ල කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සතිෂ් ගමගේ ගේ මෙහෙයවීම මත මේ පිළිබඳ පොලිස් කණ්ඩායම් කිහිපයක් පරීක්ෂණ ආරම්භ කළේය. ඝාතනය වූ ව්‍යාපාරිකයාට එරෙහිව කිසිදු චෝදනාවක් නොමැති නිසා ඔහු ඝාතනය කිරීමට හේතුව කුමක්ද යන්න පිළිබඳව එම පරීක්ෂණ පැවැත්වූ නිලධාරීන්ට ද ගැටලුවක් වී තිබුණි.

“රත්ගම විදුර” ඝාතනයට ලක් වූ ව්‍යාපාරිකයාගේ ඥාතියෙකු සහ මිතුරකු වූ නිසා “කොස්ගොඩ සුජී” මෙම ඝාතනය සිදුකරන්නට ඇතැයි එම නිලධාරීහු උපකල්පනය කළහ. ඉතිහාසය දෙස ගත් කල එයට උදාහරණ ඇතිතරම් තිබේ.

කලක සිට මෙම දෙදෙනා අතර විරසකයක් පැවැතියත් එය උග්‍ර අතට හැරුණේ දැනට මාස කිහිපයකට ඉහතදීය. එහි ප්‍රතිඵලයක් ලෙස දෙපාර්ශ්වය අතර රැසක් සිදුවිය.

● ඝාතන දාමය…

රාජ්‍ය ඇමැති චානකගේ මාමණ්ඩිටත් පාතාලයෙන් වෙඩි පිට වෙඩි…

මැයි 26 වැනිදා අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ නියෝජ්‍ය විදුහල්පති මහේෂ් ද සොයිසා යතුරුපැදියකින් බළපිටිය මිගෙට්ටුවත්ත ප්‍රදේශයේ පිහිටි සිය නිවස බලා යමින් සිටියදී තවත් යතුරු පැදියකින් පැමිණි දෙදෙනකු ඔහුට වෙඩි තැබීය. ඒ අම්බලන්ගොඩ රන්දොඹේ ප්‍රදේශයේදීය. එදින එම ඝාතකයන්ට නියෝජ්‍ය විදුහල්පතිවරයා ව ඝාතනය කිරීමට නොහැකි විය. වෙඩි කාගෙනම ඔහු අම්බලන්ගොඩ පොලිසියට පැමිණියේය. ඉන්පසු පොලිස් ආරක්ෂාව යටතේ ඔහුව බළපිටිය රෝහලට ඇතුළත් කළේය. එදින එලෙස ඔහුගේ ජීවිතය බේරිණි.

වෙඩි වැදුණු නියෝජය විදුහල්පතිවරයා “කොස්ගොඩ සුජී” ගේ මස්සිනා කෙනෙකි. ඔහුගෙන් පළි ගැනීම සඳහා “රත්ගම විදුර” මෙය සිදුකළ බව පසුව සිදුකළ පොලිස් පරීක්ෂණවලදී අනාවරණය විය.

ලෙයට ලෙයින් පළිගන්නා පාතාලයේ මෙම වෙඩි තැබීම සිදු වී මාසයක් ගත වන්නට මත්තෙන් එහි පලිය ගැනීමට “කොස්ගොඩ සුජී” සමත් විය. එහිදී ඔහුගේ ඉලක්කය වී තිබුණේ රත්ගම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයකු වන දුලාජ් තරංග ගමගේය. දුලාජ් යනු “රත්ගම විදුර ” ගේ බිරිඳගේ සොහොයුරාය.

දුලාජ් ඉතා සමීප තරුණියක් සම්බන්ධ කර ඒ හරහා ඔහුව සීනිගම දේවාලය අසලට ගෙන්වා ගෙන ඝාතනය කිරීමට සැලසුම් කර තිබුණි. ජුනි දොළොස් වැනි දා එම සැලසුම ක්‍රියාත්මක කෙරිණි. තරුණිය සීනිගම දේවාලය අසලට දුලාජ්ව ගෙන්වා ගත්තාය. ඒ අනුව එම ස්ථානයට පැමිණි යතුරුපැදිකරුවන් දෙදෙනකු දුලාජ්ට වෙඩි තැබූහ. එහෙත් ඔහුව ඝාතනය කිරීමට නොහැකි විය.

වෙඩි කාගෙනම ඔහු තම කැබ් රථයෙන් අසල තිබූ පොලිස් ස්ථානයට පැමිණියේය. ඉන්පසු පොලිස් ආරක්ෂාව මත ඔහුවද රෝහල්ගත කෙරිණි. අවසානයේ ඔහුගේ ජීවිතය බේරුණේ එලෙසින්ය.

පසුව කළ පොලිස් පරීක්ෂණවල දී අනාවරණය වූයේ මෙම සිද්ධියට සම්බන්ධ හබරාදුව ප්‍රදේශයේ පදිංචි වයස අවු 22ක් වන තරුණිය එදින සවසම ඩුබායි බලා පිටත්ව ගොස් ඇති බවයි. ඒ සඳහා අවශ්‍ය සියලු වියදම් දරා ඇත්තේ කොස්ගොඩ සුජී විසින්ය.

පලිගැනීම එතනින් අවසන් වූයේ නැත. මෙම වෙඩි තැබීම සිදු වී දින දහයක් යන්නට මත්තෙන් කොස්ගොඩ හිද්දරුව ප්‍රදේශයේ දී පුද්ගලයෙකුව වෙඩි තබා ඝාතනය කළේය. එලෙස වෙඩි තබා ඝාතනය කළේ සංචාරක මගපෙන්වන්නකු වශයෙන් වැඩ කටයුතු කළ “රන් මහත්තයා” නමැති පුද්ගලයාය. එම වෙඩි තැබීම සිදුකර තිබුණේ ඔහුගේ නිවස අසලදීය. මෙලෙස වෙඩි තබා ඝාතනය කර තිබුණේ “කොස්ගොඩ සුජී” ගේ මාමා කෙනෙකි.

පසුව සිදුකළ පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වූයේ “රත්ගම විදුර” ගේ වෙඩික්කරුවන් දෙදෙනකු විසින් ඔහුගේ මෙහෙයවීම මත මෙය සිදු කළ බවයි.

එතනින් නොනැවතුණු “රත්ගම විදුර” පසුගිය 18 වැනිදා කොස්ගොඩ සුජීගේ තවත් ගෝලයෙකු මරා දමා තිබුණි. ඒ නිලංග නමැති 28 හැවිරිදි තරුණයෙකි. ඔහුගේ අත් පා ගැට ගසා රත්ගම ආදාහනාගාරය පිටුපස කලපුවේ දමා තිබුණි.

“කොස්ගොඩ සුජී” ගේ මෙහෙයවීම යටතේ පසුගිය 23 වැනිදා ව්‍යාපාරික ලලිත් වසන්තව වෙඩිතබා ඝාතනය කළේ “රත්ගම විදුර” ගෙන් පළි ගැනීම සඳහාය. පොලිසියට ද ඇත්තේ එවැනි සැකයෙකි. කෙසේවෙතත් මෙම ඝාතන දාමය මෙතනින් අවසන් වන්නේ නැත. ඒ මන්ද යත් දැනටමත් මෙම දෙපාර්ශ්වයේ තිහකට අධික ප්‍රමාණයක් ඝාතනය වී තිබේ.

ගයාන් සමරසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment