අයිසීසීය තවත් ඉල්ලීමක් විසි කරයි

579

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුදැනුමකින් හෝ අයිතිය පවරා දීමකින් තොරව හෝ ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ක්‍රීඩා සම්බන්ධීකරණ කමිටුව සමග සාකච්ඡා කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සූදානම් නොමැති බව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිකට් කවුන්සිල ප්‍රධාන විධායක ජෙෆ් ඇලර්ඩිස් මහතා විසින් මෙරට ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා වෙත ලිඛිතව දැනුම් දී ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධ සියලු කටයුතු ස්වාධීනව හා බාහිර බලපෑමකින් තොරව සිදු කරගෙන යෑමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පූර්ණ බලතල තිබිය යුතු බව ද එම ලිපියේ දැක්වේ.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල ප්‍රධාන විධායක ජෙෆ් ඇලර්ඩිස් මහතා මෙම දැනුම්දීම කර ඇත්තේ ජාත්‍යන්තර ක්‍රීඩා සම්බන්ධීකරණ කමිටු නිලධාරීන් සහ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අතර සාකච්ඡාවක් සඳහා අවස්ථාවක් ඉල්ලමින් ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා විසින් සිදුකරන ලද ලිඛිත ඉල්ලීමකට පිළිතුරු සපයමිනි.

අයිසීසී ප්‍රධානී ග්‍රේග් බාක්ලේ මහතා සමග හෝ අයිසීසී ප්‍රධාන විධායක ජෙෆ් ඇලර්ඩිස් මහතා සමග එම සාකච්ඡාව ලබා දෙන ලෙස ඉල්ලීම් කර තිබුණද ග්‍රේග් බාක්ලේ හෝ ජෙෆ් ඇලර්ඩිස් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුමැතිය නොමැතිව ජාත්‍යන්තර ක්‍රීඩා සම්බන්ධීකරණ කමිටුව පිළිගැනීමට හෝ මුණගැසී සාකච්ඡා කිරීමට සූදානම් නොමැති බවද එම ලිපියේ දැක්වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නිදහසේ කටයුතු කරගෙන යෑමට අවශ්‍ය පරිසරය සකසා දිය යුතු බව පසුගිය අප්‍රේල් 11 වැනිදා ලිපිය මගින් දැනුවත් කළ අයුරු ද ඉහත ලිපිය මගින් යළි සිහි ගැන්වීමට අයිසීසී ප්‍රධාන විධායක කටයුතු කර ඇත.

ශ්‍රී ලංකාවේ දී හෝ විදේශයකදී ක්‍රීඩා ක්ෂේත්‍රය සම්බන්ධව ශ්‍රී ලංකාව නියෝජනය කරනු ලබන ඕනෑම කටයුත්තක් වෙනුවෙන්, ජාත්‍යන්තර ක්‍රීඩා සංගම් හෝ සංවිධාන සම්බන්ධීකරණ කටයුතු ඉටු කිරීම අරමුණු කරගෙන එක් එක් ක්‍රීඩාව සඳහා, ඒ ඒ ක්‍රීඩාව සම්බන්ධව දැනුම සහිත පුද්ගලයෙකුගෙන් හෝ පුද්ගලයන් කිහිප දෙනකුගෙන් සැදුම් ලත් “ශ්‍රී ලංකාවේ, ජාත්‍යන්තර ක්‍රීඩා සම්බන්ධීකරණ කමිටුව” ලෙසින් විෂය භාර ඇමැතිවරයා විසින් අදාළ කමිටුව පත් කරන ලදී.

එම කමිටුව ත්‍රිපුද්ගල කමිටුවක් වේ.

advertistmentadvertistment
advertistmentadvertistment