ආසියානු රග්බි සභාපති කැලෑ නීතියකින් මාව තහනම් කළා

මහනුවර ක්‍රීඩකයන් ජාතික කර්තව්‍යයට එන්නේ අඩුවෙන්

එකල දේශපාලන අධිකාරිය රග්බි වළපල්ලට ගෙන යන්න කටයුතු කළා

ලීග් රග්බි තරගාවලියෙන් අනතුරුව ක්ලිෆර්ඩ් රග්බි තරගාවලිය දැන් ඇරැඹී ඇත. ඒ නිසා රග්බි පිටිය මෑත සති කිහිපයේ පටන්ම උණුසුම්ය. ලීග් තරගාවලියේදී වසර 26කට පසු නුවර ආධිපත්‍යය බිඳ දමා සී.ආර්.ඇන්ඩ් එෆ්.සී. කණ්ඩායම කුසලානය තම සන්තකයට ගත්තේය. මේ සියල්ල දෙස උපේක්ෂා සහගතව බලා සිටි රග්බි දැවැන්තයෙක් විය. ඔහු රිස්ලි ඉල්ලියාස් ය. ආසියානු රග්බි සම්මේලනයේ සභාපති සමග ද සිය කොන්ද කෙළින් තබාගෙන ශ්‍රී ලංකා රග්බි මහා පුටුව හෙබවූ ඔහු තවත් කල් තිබියදීම ඒ අසුනෙන් බැස ගියේය. ආසියානු රග්බි සම්මේලයෙන් ඔහුට පැනවූ තහනම සහ වර්තමානයේ ශ්‍රී ලංකා රග්බි පිටිය පිළිබඳව විමසමින් ‘දිවයින ඉරිදා සංග්‍රහය’ හිටපු රග්බි සභාපති රිස්ලි ඉල්ලියාස් මහතා සමග කළ සාකච්ඡාව පහත දැක්වේ.

ප්‍රශ්නය- ලීග් රග්බි තරගාවලියේ මෙවර පෙරළියක් සිදුවුණා. වසර 26 කට පසුව මහනුවර පරදා එම ශූරතාවය සී.ආර්. කණ්ඩායම දිනා ගත්තා. මේ තත්ත්වය ඔබ දකින්නේ කෙසේද?

පිළිතුර- මමත් හිතුවේ මහනුවර දිනයි කියලා තමයි. ඒත් සී.ආර්. දිනුවා. නුවර කණ්ඩායම සහ ක්‍රීඩකයෝ ගොඩක් හොඳයි. හැබැයි නුවර ක්‍රීඩකයන් ඔවුන්ගේ කොන්ත්‍රාත් ගිවිසුමට ගොඩක් යට වෙලා ඉන්නේ. කොටින්ම ජාතික කණ්ඩායම ක්‍රීඩා කරන්නත් නුවරින් ක්‍රීඩකයන් දෙන්නේ හරිම පරිස්සමෙන් සහ කොන්දේසි මතයි. ආබාධ මත යැයි කියමින් නුවර ක්‍රීඩකයන් සිය ජාතික කර්තව්‍යයට පස්ස ගහන අවස්ථා ඕන තරම් තිබෙනවා.

ප්‍රශ්නය- ක්ලිෆර්ඩ් කුසලාන තරගාවලියෙන් ද මහනුවර කණ්ඩායම ඉවත් වුණා.

පිළිතුර- ඔව්. ඔවුන් ඉවත් වීම තරගාවලියට පාඩුවක් තමයි. මෑත ඉතිහාසයේ වැඩිම කුසලාන සංඛ්‍යාවක් ජයග්‍රහණය කළ කණ්ඩායම ලෙස මහනුවර ඉදිරියෙන් සිටියා. ඒත් ඔවුන්ගේ ඉල්ලීම් ඉටු කරන්න පුළුවන් මට්ටමේ එකක් නොවෙයි. ක්ලිෆර්ඩ් කුසලාන තරගාවලියේදී ඔවුන් සහභාගී වන අවසන් පූර්ව තරගය සහ අවසන් මහා තරගය මහනුවරදී පවත්වන්න යැයි ඔවුන් ඉල්ලීමක් කළා. ඒ අවශ්‍යතාවයන් සපුරන්න රග්බි පරිපාලනය එකඟ නොවීම මත මහනුවර කණ්ඩායම මෙවර තරගාවලියෙන් ඉවත් වුණා.

ප්‍රශ්නය- ආසියානු රග්බි සම්මේලනයෙන් ඔබට පැනවූ තහනම සම්බන්ධයෙන් මොනවාද ගෙන තිබෙන පියවර?

සභාපති ධූරයට යළිත් එන්න බලාපොරොත්තුවක් නැහැ - ශ්‍රී ලංකා හිටපු රග්බි සභාපති රිස්ලි ඉල්ලියාස්

පිළිතුර- ඒක කැලෑ නීතියක් රජ කරපු තැනක්. එයාලගෙම නීතිඥවරු දාගෙන මාව වරදකරු කළා. ලබන දෙසැම්බර් වෙනකන් මං ඉන්න ඕනා ඊට විරුද්ධව පියවර ගැනීමට. ඇත්තටම ඒක පුද්ගලික හේතුවක් මත ඇතිවුණු තහනමක්.

ප්‍රශ්නය- වත්මන් ශ්‍රී ලංකා රග්බි පරිපාලනය ඔබගෙන් උපදෙස් ගන්නේ නැද්ද?

පිළිතුර- නැහැ. ඔවුන් සමග මගේ දැන් සෘජු සම්බන්ධයක් නැහැ.

ප්‍රශ්නය – නැවත රග්බි පරිපාලනයට සම්බන්ධ වීමට ඔබට අදහසක් තිබෙනවාද?

පිළිතුර- සභාපති ධුරයට යළි පත්වීමේ අදහසක් නැහැ. ඒත් ඉල්ලියාස් ගේ සේවය රග්බි ක්‍රීඩාව දියුණු කිරීම සඳහා අවශ්‍යයි කියා ක්‍රීඩා බලධාරීන් අපේක්ෂා කරනවා නම් උපදේශකයකු ලෙස හෝ මගේ සේවය මේ ක්‍රීඩාවට ලබා දෙන්න පුළුවන්. මොකද රග්බි කියන්නේ මගේ දෙවෙනි ආගම වගේ. මේ ක්‍රීඩාවට එදත් අදත් මං ආදරෙයි.

ප්‍රශ්නය- ඔබ සභාපති ධුරය දරන කාලයේ නොයෙක් බලපෑම් සහ පීඩනයන්ට යටත් වීමට ඔබට සිදු වුණා. තවමත් ඒ ගැන පසුතැවීමක් තිබෙනවාද?

පිළිතුර- රොෂාන් සහ නාමල් ඇමැතිවරු දෙදෙනා මට විතරක් නොවෙයි සමස්තයක් ලෙස රග්බි ක්‍රීඩාවටම විශාල වශයෙන් අනිසි බලපෑම් එල්ල කළා. ඒ වගේම රග්බිවලට විතරක් නෙවෙයි පොදුවේ හැම ක්‍රීඩාවකටම ඔවුන්ගෙන් බලපෑම් එල්ල වුණා. විශේෂයෙන් රොෂාන් ඇමැතිගේ කාලේ රටේ ප්‍රධාන ක්‍රීඩා තුනක්ම ජාත්‍යන්තරය ඉදිරියේ තහනම් වුණා. නාමල් ඇමැතිතුමා මට පල නොකියා පලා බෙදුවා. රග්බි පරිපාලනය හොඳට යද්දී රග්බි සඳහා ස්ථාවරකරණ කමිටුවක් පත් කළා. රග්බිවලට හිටපු හොඳම අනුග්‍රාහකයව අපෙන් දුරස් කළා. අන්තිමේදී ජාත්‍යන්තර තරග තහනම් වුණා විතරක් නෙවෙයි දේශීය තරගත් අපට නැතිව ගියා.

හැබැයි වත්මන් ක්‍රීඩා ඇමැති හරින් ක්‍රීඩා පරිපාලනයට ඇඟිලි ගහන්නේ නැහැ. ඔහු නිදහසේ වැඩ කරගෙන යන්න ඉඩ දීලා තියෙනවා. රග්බි කියන්නේ ඒ වගේ ක්‍රීඩාවක් තමයි. හැබැයි නාමල් ඇමැතිතුමා ස්ථාවරකරණ කමිටුවට දැම්මෙත් පරිපාලනය තහනම් වුණු කෙනෙක්. දේශීය තරගාවලි තහනම් කළ ගමන් ක්‍රීඩකයන්ගේ ආදායම් මාර්ග ඇහිරී ගියා. පුහුණුකරුවන්ට, විනිසුරුවරුන්ට සල්ලි ලැබෙන ක්‍රම අඩපණ වෙනවා. මගෙත් එක්ක තිබුණු පුද්ගලික තරහකට තමයි ඇමැති නාමල් මේ දේවල් කරේ. මේ දේවල් අපි ඔහුගෙන් බලාපොරොත්තු වුණේ නැහැ. ජනාධිපති කෙනෙක්ගේ පුතෙක් ක්‍රියාකාරී රග්බි පිටියේ සෙල්ලම් කරනවා කීවාම ඒක අපිට ලොකු ශක්තියක් වුණා. අපි හරි ආඩම්බර වුණා ඒ ගැන. එහෙම අපි ආඩම්බර වුණ පුද්ගලයා ආසියානු රග්බි එකත් එක්ක එකතු වෙලා රටේ රග්බි එකට පහර දුන්න. ඒ වගේම ජාත්‍යන්තර රග්බි එකෙන් සහ ආසියානු රග්බි එකෙන් තහනම් වුණු තිදෙනෙක්ට විරුද්ධව ක්‍රීඩා අමාත්‍යාංශයෙන් කිසිම පියවරක් ගත්තේ නැහැ. නාමල් ඇමැතිතුමා දැනුවත්ව තමයි මේ දේවල් සිද්ධ වුණේ.

ප්‍රශ්නය – ඇයි ඔබේ පරිපාලනයට විරුද්ධව මෙතරම් බාධා ආවේ?

පිළිතුර- මම රගර් එක පටන් ගත්තේ කිසිම අනුග්‍රාහකයෙක් නැතුව. ඊට පස්සේ මම අනුග්‍රාහකයන් සොයා ගත්තා. දේශීය තරගාවලි ගුණාත්මක විදිහට කරා. තරගාවලි සහ පුහුණුකරුවන්ට හොඳට ගෙවීම් කළා. ක්‍රීඩකයන් කණ්ඩායම්වලට තෝරා ගැනීමේදී ඊට අත ගැසුවේ නැහැ. පළාත් සංගම්වලට වුවමනා තරම් මුදල් ලබා දුන්නා. කොටින්ම මට අස්වෙන්න එපා කියලා ගොඩක් ඉල්ලීම් ආවා. ආසියානු රග්බි එකෙන් මට තහනමක් ආවේ පුද්ගලික ප්‍රශ්නයක් නිසා. ඇත්තටම මම සභාපතිකමින් අයින් වුණේ දේශපාලන බලපෑම් වැඩි වුණ නිසයි.

මම රගර් පරිපාලනයට ඒමට පෙර එහි පරිපාලනය හැටියට පුටු ටිකක පිරිසක් හින්දුවා ඉන් පිටින් සිටින පිරිසක් රගර් නැටවූවා. ඉන් ලැබුණු අපකීර්තිය සහ ණය බර ආදිය වෙනස් කරන්නට අපි ආරම්භයක් ගත්තා. ඒත් ඒ මෙහෙයුමේ පදනම ගලවා දමන්නට දේශපාලන අධිකාරිය කටයුතු කළා. අපි කාගේවත් අතේ නැටවෙන රූකඩයක් වෙන්න ගියේ නැහැ. කොන්ද කෙලින් තියාගෙන වැඩ කරා. ශ්‍රී ලංකා රගර් වෙත ස්වාධීනව වැඩ කළ හැකි පසුබිමක් ඇති කර එය රැක ගැනීමට අපිට ලොකු උවමනාවක් තිබුණා. දේශපාලන අධිකාරිය පහර ගැහුවේ අපේ ස්වාධීන අවංක වුවමනාවටයි.

සාකච්ඡා කළේ
කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment